lakbima.lk

 
මහාචාර්ය රොහාන් ගුණරත්න කලාපීය ත්‍රස්තවාදය පිළිබද විශේෂඥයෙකි. එමෙන්ම සිංගප්පූරුවේ නංයං තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරයෙකි. අල්කයිඩා සංවිධානය ගැන පළමු පර්යේෂණ ග්‍රන්ථය ලියා පළකළේද ඔහුය. අල්කයිඩා සංවිධානයේ අභ්‍යන්තරය නම් වූ එම ග්‍රන්ථයෙන් ඔහු අයි.එස්. ක්‍රියාකාරකම් පිළිබද වැදගත් තොරතුරු හෙළි කර ඇත්තේය. දේශපාලන ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය පිළිබද  පර්යේෂණය පිළිබද ජාත්‍යන්තර ආයතනයේ ආදිකර්තෘවරයා වන්නේද මහාචාර්ය රොහාන් ගුණරත්නය.
 
පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ සංචාරක හෝටල් සහ කතෝලික දේවස්ථානවලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ අයි.එස්. සංවිධානයේ ශ්‍රී ලංකා පාර්ශ්වය වන දවුලා ඉස්ලාමියා ෙසෙලාන් සංවිධානය බවත්, එය තව්හීද් ජමාල් සංවිධානයේ ක්‍රියාවක් නොවන බවත් සිංගප්පූරුවේ නංයං තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය රොහාන් ගුණරත්න පවසයි.
 

2014දී අයි.එස්. සංවිධානය ඉරාකයේ හා සිරියාවේ කොටසක ඉස්ලාමීය නීතියට අනුව පාලනය වන රාජ්‍යයක් බිහිකළ අතර එය ඉස්ලාමික් ස්ටේට් යනුවෙන් හඳුන්වයි. ලෝකයේ මුස්ලිම් ජනයා ජීවත්වන සෑම ප්‍රදේශයක්ම එම ඉස්ලාමික් ස්ටේට් රජයට අයිති බව ඔවුන් ප්‍රකාශ කළ අතර මුස්ලිම් තරුණ පිරිස් ගෙන්වා සන්නද්ධ කටයුතු පුහුණු කිරීමද එහිදී සිදුවිය. ශ්‍රී ලංකාවේ 41 දෙනකුද මේ  පුහුණුවට එක්විය. අනතුරුව රටවල් එකසිය විසිඑකකින් පැමිණි තරුණයන් හතළිස් දහසක් අයි.එස්. සංවිධානයට බැඳී පුහුණුව ලබා ඇත. එලෙස පුහුණුව ලද ශ්‍රී ලාංකික තරුණයන් පිරිසක් එක්ව අයි.එස්. ශ්‍රී ලාංකික සංවිධානය ලෙස දවුලා ඉස්ලාමීයා ෙසෙලානි සංවිධානය පිහිටුවාගෙන තිබේ.
 
මෙම ප්‍රහාරක කණ්ඩායම් නායකයා ලෙස සැක කරන සහරාන්, ජාතික තව්හීද් ජමාද් සංවිධානයේ නායකයා නොව මාධ්‍ය ප්‍රකාශකයා පමණක් බවත්, කලකට පෙර ඔහු මතවාදි ගැටුමක් මුල්කොට ගුරබා නමින් වෙනමම සංවිධානයක් බිහිකරගත් බවත් මහාචාර්ය රොහාන් ගුණරත්න පවසයි. පසුව ඔහුගේ ගුරබා සංවිධානයද අයි.එස්.හි සාමාජිකත්වය ලබාගෙන තිබේ.
 
 
 බුද්ධි අංශවලට බලය දුන්නොත් එක මාසයකින් මේ ප්‍රශ්නය විසඳිය හැකියි
 
 - ත්‍රස්ත කටයුතු පිළිබඳ  විශේෂඥ විශ්‍ලේෂක මහාචාර්ය රොහාන් ගුණරත්න
 
පාස්කු ඉරිදා දිනයේදී එල්ලවූ ප්‍රහාරයට මේ වන විට සතියක් ගතවී තිබේ. මෙම ප්‍රහාරය එල්වූ විට එහි පළමු වගකීම පැටවුණේ ජාතික තවුහීද් ජමාත් සංවිධානය වෙතයි. එහෙත් සැබෑ ලෙසම එම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ අයි.එස්. සංවිධානයේ ශ්‍රී ලංකා පාර්ශ්වය වන දවුල ඉස්ලමියා ෙසෙලාන් සංවිධානයයි.
 
අයි.එස්. සංවිධානය නිර්මාණය වූ හදවත් භූමිය වන්නේ සිරියාව හා ඉරාකයයි. ඇමෙරිකාව හා රුසියාව එක්ව සිරියාවේ හා ඉරාකයේ අයි.එස්. ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමග ඔවුන් වෙනත් රටවල ක්‍රියාත්මක වන්නට ගත්තේය. මැද පෙරදිග සිට අප්‍රිකානු රටවල් දක්වා ඔවුන් සිය මෙහෙයුම් ව්‍යාප්ත කරන්නට  පටන් ගත්හ. ආසියාවේද ඔවුහු ක්‍රියාත්මක වෙති. ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය, ඉන්දියාව, මාලදිවයින, හරහා ලංකාව කරාද එය පැමිණියේය. ඉන්දුනීසියාව, පිලිපීනය හා මැ‍ලේසියාව දක්වාද එය ව්‍යාප්තව ඇත.
 
අයි.එස්. සංවිධානය බිහිවූ ආකාරය ගැනද අපගේ අවධානය යොමු කළ යුතුය. අබු මුසාබ් අල් සර්කාවි නම් ජෝර්දාන ත්‍රස්තවාදියෙක් ඇෆ්ගනිස්ථානයට ගොස් ඔසාමා බින් ලාඩන් හමුවිය. ඔහු අල් කයිඩා සංවධානයේ නායකයා විය. අබු මුසාබ් අල් සර්කාවි ලෙවාර්න්ට් නම් ප්‍රදේශයේ ත්‍රස්ත කටයුතු ආරම්භ කළේය. ලෙවාර්න්ට් යනු ජෝර්දාන, සිරියා, ලෙබනන්, ඉරාක, පලස්තීන හා තුර්කිය රටවල්ය.  ඔහු මෙම රටවල සාමාජිකයින් එක් කරමින් ජුන් උල් ශාන් නමින් සංවිධානයක් ඇති කළේය. ජුන් උල් ශාන් සංවිධානයේ සාමාජිකයන්ට ඇෆ්ගනිස්ථානයේ පුහුණුව ලබාදුන්නේය.
 
සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව ඔක්තෝබර් මාසයේ ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයට පහර දුන්නේය. ඒ අවස්ථාවේදී අබු මුසාබ් අල් සර්කාවි ඉරාකයට ගොස් තමන්ගේ කණ්ඩායමක් තවුහීද් අල් ජිහාඩ් නමින් ඇති කළේය. තවුහීද් අල් ජීහාඩ් සංවිධානය පසු කාලීනව ඉරාකයේ අල් කයිඩා සංවිධානය ලෙස නම වෙනස් කළේය. 
 
පසුව මෙම සංවිධානයේ නම නැවත වරක් වෙනස් විය. ඒ මුජහිඩීඩ් ශූරා කවුන්සිලය ලෙසිනි. නැවත වරක් එය ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ලෙස නම් කෙරිණි. පසුව එය ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා නමින් නම් විය. මෙය 2014 ජුනි 29 වැනිදා ඉස්ලාමික් ස්ටේට් නමින් නම් විය. මෙතැන්   සිට මෙය ලෝකය පුරා ව්‍යාප්ත විය. මේ වන විට අබු මුසාබ් අල් කර්කාවි මිය ගොස් තිබුණි.
 
එහි නායකත්වය ඉන් පසුව පැවරුණේ අබු බකර් අල් බක්දාවිටය. ලංකාවේ ප්‍රහාරයට සම්බන්ධ අය වීඩියෝවක් නිකුත් කරමින් දිවුරුමක් ලබාදෙන්නේ අබු බකර් අල් බක්දාවිටය. මේ සංවිධානයට සම්බන්ධ ලංකාවේ අය  තමන්ගේ නායකයා ලෙස සලකන්නේ මෛත්‍රීපාල සිරිසේන නොවේ. ඔවුන්ගේ නායකයා වන්නේ අබු බකර් අල් බක්දාවිය. ඔවුන් ලංකාවේ ජාතික ගීය පිළිගන්නේ නැත. ජාතික ධජය පිළිගන්නේ නැත.
 
2014 දී අයි එස් සංවිධානය ඉස්ලාම් නීතිය අනුව පාලනය කරන රජයක් බිහි කළේය. ඉස්ලාමික් ස්ටේට් යනු එයයි. එයට නිශ්චිත භූමි භාගයක් ඉරාකයේ  හා සිරියාවේ තිබේ. ලෝකයේ මුස්ලිම් ජනතාව ජීවත්වන සෑම ප්‍රදේශයක්ම එම ඉස්ලාමික් ස්ටේට් රාජ්‍යයේ කොටසක් යැයි නම් කෙරිණි. ඉන් පසුව සිරියාවට හා ඉරාකයට ගෙන්වාගත් මුස්ලිම් කණ්ඩායම් පුහුණු කෙරිණි. ලංකාවේද හතළිස් එක් දෙනෙක් ගියේ මේ පුහුණුව සඳහාය. 
 

ඉරාකය හා සිරියාව යන  හදවත් භූමියට ලෝකයේ රටවල් එකසිය විසි එකකින් 
හතළිස් දහසක් දෙනා පැමිණියේ අයි.එස්. සංවිධානයට බැඳීම සඳහාය. එයින් බොහෝ දෙනා සිරියාවේදී හා ඉරාකයේදී පුහුණුව ලැබිමෙන් පසුව නැවත තමන්ගේ මව් රට බලා පිටත්ව ගියහ. ඔවුන් නැවත තමන්ගේ මව් රටට ගියේ අයි.එස්. සංවිධානයේ මතවාදයන් හා හැකියාවක් ලබාගෙනය. පුහුණුව ලබාගෙනය. අයි.එස්. පුහුණුව ලැබූවන් ඒ ඒ රටවල තමන්ගේ රටවල ශාඛාවන් පිහිටුවා ගත්හ.
 
ලංකාවේ ක්‍රියාත්මක වන අයි.එස්. සංවිධානයේ ශාඛාවේ නම වන්නේ දවුලා ඉස්ලාමියා ෙසෙලානි යන්නයි. ලංකාව අතීතයේදී සිලෝන්, සෙරන්ඩිබ් ලෙසින් හැඳින්විය. එය ආරබි බසට ගෙන ෙසෙලානි යන්න යොදා ගත්තේ ලංකාව යන අර්ථයෙනි.
 
දවුල ඉස්ලාමියා ෙසෙලානි හෙවත් අයි.එස්. සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවට රැඩිකල්භාවයට පත්වූ කණ්ඩායම් එක්වූහ. සමාජ මාධ්‍ය හරහා, විශේෂයෙන්ම ෆේස් බුක් හරහා රැඩිකල් වූ පිරිස් මේ වටා එක්වන්න වූහ.
ලංකාවේ ඉස්ලාම් භක්තිකයින් සාම්ප්‍රදායික හා දේශීය ඉස්ලාම් භක්තිකයින් ලෙස පැවත ආවෝය. තමන්ගේ දෙමාපියන්ගෙන් ලැබෙන ආගම අදහමින් ඔවුන් කටයුතු කළෝය. එය ඉතාමත් සුන්දර ලෙස පැවැති ආගමකි. මෙසේ සාම්ප්‍රදායික මුස්ලිම් ආගම වෙත අයි.එස්. මතවාදයන් කිදා බැස්සවීමේ උත්සාහයන් ඇතිවිය.
 
ඔවුන් ඇසුරු කරන්නේ මුස්ලිම් කණ්ඩායම් පමණි. අඩුම තරමේ මුස්ලිම් නොවන කණ්ඩායම් සමග ව්‍යාපාර කටයුතු කිරීමටවත් ඔවුන් කැමැත්තක් දක්වන්නේ ද නැත. සම්පූර්ණ කළු ඇඳුම් ඇඳීමට ඇති කළ පෙළඹවීම්ද මේ අතර විය. වෙනම සංස්කෘතියක්  ලෙස මොවුහු හැසිරීමට උත්සාහ ගන්නෝය.
 
මොවුන් සීමා කරන ලද තත්ත්වයේ සිට අන්තවාදය කරා ගමන් කළෝය. අන්තවාදී ස්ථාවරයේ සිට ත්‍රස්තවාදය වෙත ගමන් කළෝය. මෙය පිරමීඩාකාර ස්වභාවයක් ගන්නේය. එම පිරමීඩයේ ඉහළින්ම සිටින්නේ ත්‍රස්තවාදීන්ය. එම පිරිස සියයට දෙකක් පමණ වෙති. සියයට හතළිහක් පමණ ඔවුන්ට සහාය ලබාදෙන කණ්ඩායම් ලෙස ස්ථානගතව සිටිති. පිරමීඩයේ පහළින්ම සිටින කණ්ඩායම් මොවුන්ට අනුකම්පාසහගත ස්වභාවයෙන් සලකන කණ්ඩායමයි. 
 

මේ කණ්ඩායම් ක්‍රමයෙන් තමන්ගේ මතවාදයන් අයි.එස්. මතවාදයන් වෙත යොමු කරගත්හ. මෙම අදහස්වලින් රැඩිකල්භාවයට පත්වූ අය අතරින් ත්‍රස්තවාදය වෙත යොමුවී ඇත්තේ සියයට දෙකක් වැනි පිරිසක් පමණි. තවුහීද් ජමාත් වැනි රැඩිකල් සංවිධාන හඳුන්වාදීමට හැකියාව ලැබෙන්නේ රැඩිකල් සංවිධාන ලෙසය.මේ ආකාරයේ රැඩිකල් සංවිධාන කිහිපයක්ම ලංකාව තුළ ක්‍රියාත්මක වෙයි. මෙම සංවිධානවල සිටින වඩාත්ම රැඩිකල්වූ කොටස් දවුල ඉස්ලාමියා ෙසෙලාන් සංවිධානයට එක්වේ. 
 
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ජාතික තවුහීද් ජමාත් සංවිධානය භාර ගත යුතු යැයි මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා කළේය. ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායකයා මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ බවද එම මාධ්‍ය වාර්තාවන්හි පළවිය. එය වැරදි වාර්තාවකි. මෙම ප්‍රහාරය එල්ල කළේ දවුල ඉස්ලාමියා ෙසෙලාන් සංවිධානයයි. මා විසින් ඒ බව අනාවරණය කර පැය හතළිස් අටක් ගතවීමට මත්තෙන් අයි.එස්. සංවිධානය එහි වගකීම භාරගනිමින් නිවේදනයක් නිකුත් කළේය. මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් පවසන්නේද තමන් දවුල ඉස්ලාමියා සංවිධානයේ සාමාජිකයින් බවය.
 
අයි.එස්. ලංකාවේ ක්‍රියාත්මක වෙතැයි මේ ප්‍රහාරය එල්ල වන තෙක් කිසිවෙක් විශ්වාස කළේ නැත. එහෙත් මේ ප්‍රහාරයත් සමග මේ තත්ත්වය වෙනස් විය. 
 
නමුත් මෙම ප්‍රහාරක කණ්ඩායමේ මතවාදී නායකයා (එනම් මෙහෙයුම් නායකයා නොවේ) වන්නේ සහරාන්ය. ඔහු ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළේය. ඔහු ඉන් පසුව එම සංවිධානයේ අනෙක් නායකයින් සමග මතභේදයක් ඇතිකරගෙන ඔහුගේම සංවිධානයක් නිර්මාණය කරගත්තේය. 
 
සහරාන් විසින් ඇතිකරගත් සංවිධානයේ නම වන්නේ ගුරබාය. එම සංවිධානය නිර්මාණය කර එය අයි.එස්. සංවිධානය සමග සම්බන්ධ කරගත්තේය. ගුරබා සංවිධානය අයි.එස්. සංවිධානයේ සාමාජිකත්වය ලබාගත්තේය. සහරාන් අන්තර්ජාලය ඔස්සේ කටයුතු කිරීමේ විශේෂඥයෙකි. ඔහු අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයින් වෙත රැඩිකල් අදහස් රැගෙන යමින් මුස්ලිම් ආගමිකයින් අතර රැඩිකල් පුද්ගලයින් බිහි කිරීමට කටයුතු කළේය. එය ඔහු ඉතාම දක්ෂ ලෙස ඉටු කළේය. පුද්ගලයින් රැඩිකල්භාවයට පත් කර තමන්ගේ සංවිධානයට ඔවුන් බඳවා ගත්තේය. ඉන් පසුව එම පිරිස් දවුලා ඉස්ලාමියා ෙසෙලානි සංවිධානයට බදවා ගත්තේය. 
 
මෙම කණ්ඩායම්වලින් නිර්මාණය කරගත් එක් කොටසක් පාස්කු ඉරිදා දින ප්‍රහාර එල්ල කළෝය. මේ මතවාද සියල්ලම පැමිණියේ සිරියාවෙන් හා ඉරාකයෙන්ය. මේ මතවාදයන් කිසික් ලංකාව තුළ බිහිවූ මතවාදයන් නොවේ. ඒවා විදේශ මතවාදයන් ලංකාවට ආනයනය කරගැනීමෙන් ඇතිකරගත් අන්තවාදී මතාවදයකි. එය ලංකාවට ආවේනික න්‍යායක් නොවේ. 
 
ලංකාවේ මුස්ලිම් සමාජය ආනයනික මෙම මතවාදයට කැමැත්තක් දක්වන්නේ නැත. ඒ නිසා මෙම සංවිධානයට සාමාජිකයින් බඳවාගැනීම එතරම් ලෙසෙහි පහසු කරුණක් නොවීය. එහෙත් සහරාන් 2005 වසරේ සිට ක්‍රමයෙන් මෙම සංවිධානය වර්ධනය කළේය. ඉන් පසුව දවුලා ඉස්ලාමියා ෙසෙලානි නැමති සංවිධානයට බඳවාගන්නා කණ්ඩායම් සිරියාවට හා ඉරාකයට රැගෙන ගියේය. අනාවරණය වන ආකාරයට දවුලා ඉස්ලාමියා ෙසෙලානි සංවිධානයට බැඳීම සඳහා ලංකාවෙන් පිටත්ව ගිය සංඛ්‍යාව හතළිස් එකකි. ඔවුන් කෙලින්ම සිරියාවට හා ඉරාකයට ගියේ නැත. පළමුව තුර්කියට ගිය ඔවුන් ඒ හරහා සිරියාවට හා ඉරාකයට ගොස් පුහුණුව ලබාගත්හ.  එසේ පුහුණුවට ගිය ශ්‍රී ලාංකිකයින් අතරින් බොහෝ දෙනෙක් ඇමෙරිකානු හා රුසියානු ප්‍රහාරවලින් මිය ගියහ. තවත් පිරිසක් අයි.එස්. 
 
මතවාදයට කැමැත්තක් දැක්වූයේ නැත. එයට හේතුවූයේ අයි.එස්. මධ්‍යම සංවිධානය කියූ දේට වඩා පරස්පර දෙයක් සිරියාවේදී හා ඉරාකයේදී දුටු නිසාය. ඒ නිසා තමන් අත්දුටු දෙයින් පිරිසක් කළකිරීමට පත්වූහ. එහෙත් තවත් කිහිප දෙනෙක් අයි.එස්. මතවාදයන් හිස මුදුනින් පිළිගත් අතර ඔවුන් නැවත ලංකාවට පැමිණ අයි.එස්.මතවාදයන් ව්‍යාප්ත කිරීමට කටයුතු කළහ.
 

ලංකාවේ අයි.එස්. මතවාදයන් ව්‍යාප්ත කළ ජාලය කළාපයේ අනෙක් රටවල් සමග ජාලගතව කටයුතු කළේය. දකුණු ඉන්දියාව, මාලදිවයින තුළ ක්‍රියාත්මක දවුල ඉස්ලාමියා සංවිධාන සමගද ඔවුහු සමීපව කටයුතු කළහ. ජාලගතව සිටියහ. 
 
මේ සංවිධානයේ පිරිස් 2015 සිට ලංකාවේ ජිහාඩ් සංවිධානයක් ඇති කිරීමට අදහස් කරගෙන සිටියහ. එහෙත් ඔවුන් ජිහාඩ් ඇති කිරීම කඩිනමින් කරනවාද නැතිනම් පසුව එය බිහිකරනවාද යන්න ගැන මතවාදයක් ඇතිව තිබුණි. එක් කණ්ඩායමක අදහස වූයේ ඕනෑම අවස්ථාවකදී ජිහාඩ් සංවිධානයක් ලංකාවේ ඇති කළ හැකි බවය. ඒ ගැන විශාල විවාදයක් ඇතිවිය. මේ තත්ත්වය හමුවේ කඩිනමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ අවශ්‍යතාවය සහරාන්ට තිබුණේය.
 
මේ ප්‍රහාරය නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් පල්ලියට එල්ලවූ ප්‍රහාරයෙන් පසුව සැලසුම් කළ ප්‍රහාරයක් යැයි අදහස් පළවන නමුත් එය වැරදි අදහසකි. සහරාන්ට අවශ්‍ය වූයේ මෙම ප්‍රහාරය කඩිනමින් එල්ල කිරීමටය. සහරාන් ඇතුළු කණ්ඩායම මෙම ප්‍රහාරය සැලසුම් කළේ නවසීලන්ත ප්‍රහාරය එල්ල කිරීමට බොහෝ කලකට පෙරය. ඔවුන් පල්ලිවල, හෝටල්වල ඔත්තු බැලීමෙන් පසුව අදාළ ප්‍රහාරය සැලසුම් කර තිබුණි. 
 
නවසීලන්තයේ ප්‍රහාරයට පෙර දවුල ඉස්ලාමියා සෙන්ට්‍රල් (අයි.එස්. මව් සංවිධානය) ඉන්දුනීසියාවේ සුරබා හි ප්‍රහාරයක් එල්ල කළේය. ඒ ඒ අවසථාවේදී ප්‍රහාරය එල්ල කළේ එක් පවුලක් විසින්ය. ජනවාරි 29 වැනිදා දවුල ඉස්ලාමියා සංවිධානයේ පිලිපීන් සංවිධානය එනම් දවුල ඉස්ලාමියා පිලිපීන් සංවිධානය පිලිපීනයේ සුබු හි ප්‍රහාරයක් එල්ල කළේය. එය එල්ල කළේ යුවළක් විසිණි. ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට දෙමටගොඩ නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී එම නිවෙසේ සිටි මරාගෙන මැරෙන බෝම්බකරුගේ බිරිඳ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරගෙන මිය ගියේ තම දරුවන් දෙදෙනා සමගය.
 
එසේ මිය ගියේ ගැබිනි කාන්තාවකි. එයට හේතුව වූයේ මෙම පවුලම රැඩිකල්භාවයට පත්ව සිටීම නිසාය. කලින් ත්‍රස්තවාදී සංවිධානවලට පවු‍ලේ එක් අයෙක් බැඳුනත් මේ වන විට පවුල් පිටින්ම ත්‍රස්ත සංවිධානවලට බැඳීමේ ප්‍රවනතාවයක් ඇතිව තිබේ. 
 
දවුල ඉස්ලාමියා සංවිධාන මෙසේ පවුල් පිටින්ම ත්‍රස්ත සංවිධානවලට බැඳෙන්නේ කරුණු පහක් නිසාය. ඉස්ලාම් මතවාදයක් නොවන, ත්‍රස්තවාදී මතවාදයක් වන මේ මතවාද අනුව මොවුන් තමන්ගේ සතුරා, එනම් ක්‍රිස්තියානි හා අනෙක් ආගමික කොටස් මරාගෙන මැරුණහොත් ප්‍රතිලාභ පහක් අත්වේ. එකක් නම් දිව්‍යලෝකයට යාමට අවස්ථාව උදාවීමය. අනෙක නම් එහිදී දෙවියන් හමුවීමට අවස්ථාවක් ලැබිමය. එනම් අල්ලා හමුවීමට හැකිවීමය. තෙවැන්න නම් තමන් කළ පව් වලට සමාව ලැබිමය. ඒ අතරම තමන්ගේ ඥාතීන් හැත්තෑවක් දිව්‍යලෝකයට රැගෙන යාමට අවස්ථාව ලැබේ. ඒ අතරම කන්‍යාවන් හැත්තෑ දෙදෙනෙක් ලබාගැනීමට අවස්ථාව උදාවේ. 
 
මෙම මතවාදය සහිතව සහරාන්ගේ ගුරබා සංවිධානය මීට වසර දෙකකට පමණ පෙරදී මෙම සංවිධානය මෙහෙයුම් ආරම්භ කළේ රැඩිකල් අදහස් දරන ආගමික සංවිධානයක් ලෙසය. එහෙත් කඩිනමින්ම එම සංවිධානය මිලිටරි සංවිධානයක් බවට පරිවර්තනය විය. එම සංවිධානයේ සාමාජිකයින්ට පුහුණුව ලබාදීම ආරම්භ කළේ ඒ අනුවය. එපමණක් නොව දකුණු ඉන්දියාවේ හා මාලදිවයිනේ කණ්ඩායම් ලංකාවට පැමිණියහ. ඔවුන් අතර ශක්තිමත් ජාලයක් නිර්මාණය කරගත්තේය. ඒ ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් ඇතිවය. 

මොවුන් ලංකාවේ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළේ රටේ ආරක්ෂක ව්‍යුහය දුර්වලවීම නිසාය. 2015 න් පසුව රටට මාධ්‍ය නිදහස ලබාදුන්නේය. එහෙත් වගකීමකින් අදහස් පළ කිරීම යන්න යට ගියේය. එහි වාසිය ලබාගත්තේ අන්තවාදී සංවිධානයි. රටක් දියුණු කරනවා නම් දක්ෂ ලෙස මාධ්‍ය සමග එක්ව කටයුතු කළ යුතුය. මාධ්‍ය රටේ දියුණුවට යොදාගත යුතුය. රැඩිකල්, අන්තවාදී මතවාදී දේශකයින් මැදපෙරදිග හා පාකිස්තානයෙන් පැමිණ ලංකාවේ ජීවත්වූහ.
 
ඔවුන් සරණාගතයින් ලෙස, ගුරුවරු ලෙස ව්‍යාපාරිකයින් ලෙස ලංකාවට පැමිණ සිය මතවාදයන් ව්‍යාප්ත කිරීමට කටයුතු කළහ. මොවුන් ලංකාවට ගෙන්වා ගැනීමේදී ඔවුන් පිළිබඳ ආරක්ෂක තක්සේරුවක් කළ යුතුව තිබුණි. ඔවුන්ට වීසා ලබාදීමේදී ඔත්තු සේවා හරහා වාර්තා ලබාගත යුතුය. ඔවුන් අනෙක් ආගම්වලට අපහාස කර තිබේද යන්න ගැන අවධානය යොමුකර වීසා ප්‍රතික්ෂේප කළ යුතුය. කරදරකාරයින් අපේ රට තුළට ගෙන්වාගත යුතු නැත. මෙසේ ආගම පිළිබද අදහස් දක්වන පිරිස් ලංකාවට පැමිණ දේශන පවත්වන්නේ නම් ඔවුන් තමන්ගේ දේශනාවේ සාරාංශයක් සඳහා පූර්ව අනුමැතිය ලබාගත යුතු තත්ත්වයක් ඇති කළ යුතුය. 
 
සිරියාවේ ගොස් පුහුණුව ලැබූ පුද්ගලයින් පිළිබද රජය තොරතුරු නිවැරදිව ලබාගෙන තිබුණේ නැත. එපමණක් නොව ලංකාවේ දේශපාලනඥයින් මේ ප්‍රශ්නය ගැන කතා කිරීමට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. මේ පිළිබඳ කතා කළහොත් ඔවුන්ගේ ඡන්ද පදනමට බාධාවක් විය හැකි නිසාය. 
 
ලංකාවේ ත්‍රිවිධ හමුදාව, ‍පොලීසිය, ඔත්තු සේවාවන්ට මෙම සංවිධානය විනාශ කළ හැකිය. ප්‍රහාර එල්ල කළ ත්‍රස්ත සංවිධානය විනාශ කිරීමට ආරක්ෂක අංශවලට හැකියාවක් තිබේ. ඒ සඳහා වන හැකියාව ආරක්ෂක අංශ සතුය. ලංකා රජයට හැකියාවක් නොමැත්තේ මෙවැනි ත්‍රස්තවාදී කටයුතු සඳහා වන දුරදිග උපායමාර්ගයන් ක්‍රියාත්මක කිරීමටය. ඒ සඳහා මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ලංකාවේ මේ වන විට ඉතාමත් දක්ෂ බුද්ධි අංශයක් ක්‍රියාත්මක වේ. ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය වු එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කළේය. ඒ අනුව බලන කල දවුල ඉස්ලාමියා සංවිධානය විනාශ කිරීම අපහසු නොවේ.
 
එහිදී දේශපාලනඥයින් මෙම හමුදා මෙහෙයුම් සඳහා පූර්ණ සහාය ලබාදිය යුතු අතර ඒ සඳහා කිසිදු මැදිහත්වීමක් නොකළ යුතුය. ජාතික බුද්ධි අංශය, ‍පොලිස් බුද්ධි අංශ, ත්‍රස්ත විමර්ශන ඒකකය, අපරාධ                    පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම හමුදා බුද්ධි අංශද ක්‍රියාත්මක වේ. 2009 වසරේ යුද්ධය අවසන් වන විට ලංකාවේ හොඳ ශක්තිමත් බුද්ධි අංශයක් ක්‍රියාත්මක විය.
 
එහෙත් 2015 වසරේදී මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ජාත්‍යන්තරයෙන් ඇතිවූ බලපෑම් හමුවේ හමුදාව කඳවුරුවලට සීමා කළේය. බලවත් ඔත්තු සේවාවක් වූ හමුදා බුද්ධි අංශයේ මෙහෙයුම් නතර කර එම මෙහෙයුම් ජාතික බුද්ධි සේවයට හා ‍පොලිස් බුද්ධි අංශ වෙත භාරදුන්නේය. නමුත් මේ අවස්ථාවේදී රටට අත්‍යවශ්‍ය වන්නේ ‍පොලීසියේ බුද්ධි අංශ හැර හමුදා ඔත්තු සේවය සඳහාද මෙහෙයුම්වලට අවසර ලබාදිය යුතුය.
 
ඒ සඳහා හමුදා බුද්ධි අංශවලට බලය දිය යුතුය. ජාතික තවුහීද් ජමාත් සංවිධානය කෙරෙහි ගැඹුරුම අධ්‍යයනය කර ඇත්තේ හමුදා බුද්ධි අංශයයි. ත්‍රස්ත විමර්ශන ඒකකය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විශේෂ ඒකකය, යුද හමුදා බුද්ධි අංශ, හා රාජ්‍ය බුද්ධි සේවයට මෙම සංවිධානය විනාශ කිරීමේ බලය ලබාදුන්නහොත් මාසයක් ඇතුළත මෙම සංවිධානය විනාශ කළ හැකිය.
 
ඉන් පසුව මධ්‍යම කාලීන හා දිගු කාලීන සැලසුම් ක්‍රියාත්මක කළ යුතුය. පළමුවැන්න වන්නේ සංවිධාන විනාශ කිරීමට නායකයින් අත්අඩංගුවට ගැනීම හෝ ඝාතනය කිරීමය. මෙම සංවිධානවල ඇති ජාලයන් විනාශ කිරීමය. ඉන් පසුව දිගු කාලීන හා මධ්‍ය කාලීන සැලසුම් ලෙස පනතක් ගෙනවිත් ජාතිවාදය උසිගැන්වීම් වැළැක්වීමට කටයුතු කළ යුතුය. අනෙක් ආගම්වලට එරෙහිව හිරිහැර කිරීම් වැළැක්වීමට නීතිමගින් පියවර ගත යුතුය. සමගි සන්ධාන පනතක් (හාර්මනි ඇක්ට්) ගෙන ආ යුතුය. සියලු ජනකොටස් හා ආගමික කොටස් සාමයෙන් ජීවත් විය යුතුය. එක් ආගමක කොටසක් අනෙක් ආගමක කොටසකට හිරිහැර කිරීම වැරදිය.
 

මේ අතරම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඇති කළ යුතුය. මේ වන විට බෞද්ධ පාසල්, කතෝලික පාසල්, මුස්ලිම් පාසල් ලෙස පාසල් වර්ග කර තිබේ. ඒ වෙනුවට සෑම ආගමික කොටසක්ම අධ්‍යාපනය ලබන පාසල් ඇති කළ යුතුය. බහු ජාතික පාසල් ඇති කළ යුතුය. සැප්තැම්බර් 11 ප්‍රහාරයට පසුව ලෝකයේ දෙවැනිම දරුණු ජාත්‍යන්තර ත්‍රස්ත ප්‍රහාරය වන්නේ ලංකාවේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයයි. මේ ප්‍රහාරයේ ප්‍රහාරකයින් විනාශ කළත් තවත් එවැනිම සංවිධානයන් ඇතිවීම වැලැක්වීමට මේ ක්‍රමවේදය වෙනස් කළ යුතුය. බහු ජාතික පාසල් ඇති නොකළහොත් මේ 
ළමුන් හැදෙන්නේ වැඩෙන්නේ අනෙක් ආගම් පිළිබඳ සැකයක් ඇතිකරගෙනය. එය වැළැක්වීමට හැකියාව ලැබෙන්නේ බහුජාතික පාසල් ඇති කිරීම මගින්ය. 
 
අන්තර්ජාලය අද ලෝකයේ ජනතාව වැඩි ප්‍රමාණයක් භාවිතා කරයි. අද තරුණයින් වැඩියෙන්ම ජීවත්වන්නේ සයිබර් අවකාශයේ මිස භෞතික ලෝකයේ නොවේ. සයිබර් අවකාශය නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයන් ඇති කළ යුතුය. වෙනත් ජාතියකට හෝ ආගමකට පහර දෙන්නේ නම් ආගමකට අපහාස කරන්නේ නම් ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට හැකි අපරාධ නීතියක් ඇති කළ යුතුය. ඔවුන් නීතියට යටත් කළ යුතුය.
 
එසේ කරන පුද්ගලයින්ට සිර දඩුවම් ලබාදීමට, දඩ පැනවිය හැකි නීති ගෙන ආ යුතුය. ඒ අතරම අන්තර්ජාල සේවා සපයන ආයතන සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ගෙන ආ යුතුය. දවුල ඉස්ලාමියා සංවිධානය ලෝකයේ ප්‍රබල ත්‍රස්ත සංවිධානයක් බවට පත්වූයේ අන්තර්ජාලය නිසාය. ඔවුන් රටවල් එකසිය විසි එකකින් හතළිස් දහසක් බඳවා ගත්තේ අන්තර්ජාලය හරහා කටයුතු කරමිනි.
 
ලංකාවේ දීර්ඝකාලීන සාමයක් රඳාපවතින්නේ ලංකා රජය මුස්ලිම් ජනතාව සමග කටයුතු කිරීම මගින්ය. මුස්ලිම් ජනතාව අවුරුදු තිහක් උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩා වින්ඳේය. අන්තවාදී ත්‍රස්ත කටයුතු සඳහා යොමුවී ඇත්තේ සියයට දෙකක් වැනි කොටසකි. මුස්ලිම් ජනතාවට පීඩා නොකර ඔවුන් දිනාගෙන ත්‍රස්තවාදයට විරුද්ධව කටයුතු කළ යුතුය. 
 
 

සංජය නල්ලපෙරුම

  1. සමෘද්ධි බැංකු අර්බුදය
  2. නැකත් වේලාව මග හැරුණාට අසුබ නැහැ
  3. “හොඳ රටක් හොඳ හෙටක්“ වෙනුවෙන් බිහි වුණ BEYOND 2020 SRI LANKA වෙතින් රට හදන්න යෝජනා 20ක්
  4. විදුලි අර්බුදයට මුල ඉංජිනේරුවන්ට වඩා තමන් දන්නා බව සිතන දේශපාලනඥයන්
  5. රටම අඳුරේ තැබූ විදුලියේ මාෆියාව
  6. පෞද්ගලික අංශය වහල්ලූ කරන නව කම්කරු පනත් කෙටුම්පත
  7. ආර්ථිකය නැංවීමේ වගකීම බැංකුවලට භාරදී තිබේ
  8. ජිනීවා දැලි පිහියෙන් කිරි කෑම
  9. ජිනීවා මර උගුල
  10. රජයේ සේවක වැටුප් ගෙවන්නට වත්කමක් නැති ආර්ථිකය
  11. දෙපැත්තකින් අර්බුදයකට මුහුණ පා ඇති තේ කර්මාන්තය
  12. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරන්න පුළුවන්ද?
  13. නිදහස් දවසේවත් ඥානසාර හාමුදුරුවන්ට නිදහස ලැබෙයිද?
  14. අලුත්ම කෙල්ලෝ කොල්ලො ලක්ෂ 14ක් මෙදා සැරේ ඡන්ද ‍පොළේ
  15. රට බෙදෙන බව කියන ඔරුමිත්තනාඩුව සොයා ගියෙමු
  16. කොටුගොඩ මහනාහිමි ඉල්ලන සෙනට් සභාව
  17. නුදුටු ව්‍යවස්ථාවකට චෝදනා එල්ල කිරීම සාධාරණද? - මහාචාර්ය කේ.එන්. ඕ. සොයිසා
  18. ලෝක උරුම සිංහරාජය වනසමින් මාර්ග 02ක් ඉදිකෙරේ
  19. අපනයන නැංවීමෙන් රුපියල ශක්තිමත් කළ හැකිය
  20. සේනා මඩින්න ඩ්‍රෝන
  21. අයවැයෙන් වාර්තාගත සහන ලබාදිය නොහැක
  22. ඉතිහාසයෙන් අත්දැකීම් නැති ආර්ථිකයක් සමග නව වසරකට පා තැබීම
  23. රට කියන තරම් අගාධයකට වැටී නැත
  24. විදේශ මුදල් අලූතින් සොයා ගැනීමේ වගකීම
  25. විශ්වාසභංග යෝජනා නීතියට අනුව සම්මත වී නැහැ - නිතිඥ කණිෂ්ක විතාරණ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.