lakbima.lk

දේශපාලන පරිවර්තනයේ පහළොස්වැනි දිනය උදා වී තිබේ. උණුසුම් පුවත් හැර අන් යමක් රටට ලැබී නැත. සසල වී ඇති ආර්ථික සහ සමාජ පද්ධතිය ස්ථාවර බවක් පෙන්වන්නට ගත විය හැකි දිනය ස්ථිරව ප‍්‍රකාශ කරන්නට හැකියාවක් නැත. දේශපාලන ස්ථාවර භාවය වැදගත්ය. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට පත් කළ යුතු අතර ඒවා ස්ථිර බවට සහතිකයක් අවශ්‍යය. ආයෝජන විශ්වාසය තහවුරු කළ යුතුය. මෙම පසුබිම නිර්මාණය වී සන්සුන් භාවයක් ලැබෙන්නේ කවදාදැයි ජනතාව තුළ ප‍්‍රශ්නයක් තිබේ. දේශපාලන බලය අයිතිකර ගැනීම අරබයා කරන සටන ආර්ථිකය බෙලහීන කරනු ඇත. එය අවැඩදායකය. විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් තැනෙක නැත. ණය බර වැඩි වෙමින් තිබේ. උද්ධමනය හා පොලී අනුපාත දිනෙන් දින ඉහළ යන බව නිරීක්ෂණය කළ හැකිය. ආයෝජන සීමා වන අතර විදේශ වෙළෙඳාම ද දුර්වලය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් විනිමය අනුපාත වෙනස්වීම රටට අවාසිදායකය.

ජාත්‍යන්තර ශේ‍්‍රණිගත කිරීමේ ආයතන ශ‍්‍රී ලංකාවේ ණය අවදානම ගැන අනතුරු අඟවා තිබේ. මූඩි ශ්‍රේණිගත කිරීමේ ආයතනයට අනුව ශ‍්‍රී ලංකාවේ මුල්‍ය හිඟය ගෙවුම් ශේෂ පරතරය ඉහළ යන්නට ඉඩ තිබේ. මූල්‍ය හිඟයට හේතුව රාජ්‍ය ආදායම හා වියදම අතර පරතරය පුළුල් වීමය. ආදායම නොසලකා කරන වියදම අය වැය හිඟය වැඩි කරණු ඇත. විදේශ වෙළෙඳාම ගෙවුම් ශේෂයට බලපාන්නේය. අපනයන ආදායම පහත වැටී ආයෝජන අඩු වීම විදේශ සම්පත් පිරිහීමට බලපායි. මූඩි පර්යේෂකයන්ට අනුව අස්ථාවර දේශපාලන ස්වභාවය ණය හා ප‍්‍රාග්ධන යෙදවුම් කෙරෙහි ආයෝජක උනන්දුව හීන කරනු ඇති අතර එයින් විනිමය අනුපාතිකය මත ඇතිකරන පීඩනය බලවත් එකක් වීමට ඉඩ තිබේ.  මෙම ප‍්‍රකාශ වලින් කියැවෙන දේ සාමාන්‍ය ජනතාවට තේරුම් ගැනීම පහසු නැත. නමුත් ඒවායෙන් ඇතිවන වක‍්‍ර අනිටු ප‍්‍රතිවිපාකවලට මුහුණ දීම වැළැක්විය නොහැකිය.

සරලව සඳහන් කළහොත් මෙම වසරේ අප‍්‍රියෙල් මාසය වන විට ශ‍්‍රී ලංකාවේ විදේශ සම්පත් ඇමෙරිකානු ඩොලර් බිලියන 9 ක සීමාවේ පැවැතිණ. ඉකුත් සැප්තැම්බර් වන විට එය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4 තෙක් අඩු වී ගියේය. දේශපාලන වාතාවරණය වෙනස් වීමෙන් පසු ගෙවුම් ශේෂය මුහුණ දී ඇති ඉරණම ගැන අවධානයක් නැත. පසුගිය මාස අට තුළ පැවැති ආර්ථිකයේ ස්වභාවය පෙන්වන්නේ හොඳ පසුබිමක් නොවේ. ශ‍්‍රී ලංකාවේ දේශීය හා විදේශීය ණය බර රුපියල් බිලියන 511 කින් ඉහළ නැග ඇත. දේශීය ණය ප‍්‍රමාණය රු. බිලියන 239.5 ක් වන අතර එය කලින් වසරේ සමාන කාලයට වඩා සියයට 12 කින් අඩු වී තිබේ. එය රට තුළ උද්ධමනය පාලනයට හේතුවකි. විදේශීය ණය ගැනීම රුපියල් 271.5 තෙක් වැඩි දියුණූ වී ඇත. මෙම ණය ගැනීම තවත් වර්ධනය වීමට ඉඩකඩ තිබේ.

එයට හේතුව කුමක්ද? මෑත කාලය තුළ වියදම හැර නිෂ්පාදනයක් සිදුවූයේ නැත. අපනයන වේගයෙන් පහත වැටිණ. ආනයන වියදම ඉහළ ගියේය. ඒවා පාලනය කිරීමට ගත් තැත ව්‍යවර්ථ වූ අතර අලූත් ප‍්‍රවේශය අනුව නිසි තීරණයක් රහිතය. පැවැති ප‍්‍රතිපත්ති අනුගමනය කළේ නම් වසර 2020 වන විට ශ‍්‍රී ලංකාවේ ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 70 ක් වන අතර රාජ්‍ය ආදායමෙන් සියයට 40 ක් ණය පොලිය හා වාරික ගෙවීමට වෙන් කිරීමට සිදුවන බව අනතුරු අඟවා තිබුණි. ආදායමෙන් සියයට හතළිහක් කලින් ගත් ණය වලට ගෙවා ජීවත් වෙන්නේ කෙසේද? ණය ගෙවීමට පමණක් නොව රටේ අවශ්‍යතා වලට ද අලූතින් තව තවත් ණය ගැනීම හැර අනෙක් පිළිවෙතක් ඉතිරිවී තිබුණේ නැත.

අඛණ්ඩ ණය ගැනීමට සිදුවන පසුබිම සහ එම ණය අපේක්ෂා කරන රට තුළ පවතින දේශපාලක අස්ථාවර භාවය ණය අයැදුම් කිරීමට බාධාවකි. ගෙදර ගැටුම් ඇති පවුලකට ණයක් දෙන්නට අසල්වැසියෝ කැමැති නැත. අඬ දබර දියුණු වී ගෙදර ආර්ථිකය අඩාල වුවහොත් එම ණය අය කරගන්නේ කෙසේද? ශ‍්‍රී ලංකාව කොපමණ දුෂ්කරතා මධ්‍යයේ නමුත් නිසි වෙලාවට ණය හා පොලී වාරික ගෙවන රටක් වශයෙන් ජාත්‍යන්තරය තුළ අදහසක් දිනා සිටියේය. දේශපාලනය අස්ථාවර වන අවස්ථාවක ඇතිවන අවිනිශ්චිත භාවය ණය වෙනුවෙන් පොලී හා කොන්දේසි ඉහළ යාමට ඉඩ තිබේ. අවදානමක් ඇති රටකට ණය දෙන  ඕනෑම මූළ්‍ය ආයතනයක් හෝ රාජ්‍යයක් ඒ වෙනුවෙන් වැඩි පොලියක් අපේක්ෂා කිරීම සාමාන්‍යයෙන් සිදුවෙයි. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන නිකුත් කරන සහතික එම පොලිය තීරණය කිරීමට බලපාන සාධකයකි. අලූත් ආණ්ඩුව මෙම ප‍්‍රවණතා ගැන අවධානය යොමු කළ යුතුය.

පසුගිය සැප්තැම්බර් මාසයේ දී ශ‍්‍රී ලංකා මහ බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක සංවර්ධන බැඳුම්කර වෙන්දේසි කළේය. එයට ලැබුණ ඉල්ලූම එතරම් අධික වූයේ නැත. ඩොලර් මිලියන 100 සපුරන ඉල්ලූමක් නොතිබුණ අතර බර තබන ලද පොලිය සියයට 5-5.75 අතර ප‍්‍රමාණයෙන් එකතු කරගත හැකි වුයේ ඩොලර් මිලියන 80.6 කි. එය පූර්ව අනතුරු ඇඟවීමක් බවිය. වාණිජ මුහුණුවරකින් ගන්නා ණය පොලිය ඉදිරියේදී තවත් ඉහළ යන්නට සෑහෙන අවකාශයක් ඇත.

ශ‍්‍රී ලංකාවේ සංවර්ධන වේගය අපේක්ෂිත ඉලක්ක වෙත ළඟා නොවන ස්වභාවය මෙම ණය අවදානම තවත් නංවන්නට ඇති ඉඩකඩ බැහැර කළ නොහැකිය. 2018 දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 3.7 කි. එය ඉකුත් දස වසර තුළ පැවැති සාමාන්‍ය වූ සියයට 5.6 ට වඩා අඩු තත්ත්වයකි. ආර්ථිකය දුර්වල, විදේශ සම්පත් හිඟ, දේශපාලන වශයෙන් ස්ථාවරත්වයක් නොපෙන්වන රටකට ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් හදිසි අවශ්‍යතා වෙනුවෙන් මුදලක් ඉල්ලන්නට පුළුවන්කමක් තිබේද?

පැවැති පාලනය විදේශ සම්පත් ස්ථාවරව පවත්වාගෙන යාම අරමුණ ඇතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාවකාලික ණය සංචිතය භාවිත කළ අතර එයට සමාන්තරව මෙරට ව්‍යවසාය ගණනාවක් පුද්ගලීකකරණය කිරීමෙන් ආදායමක් උපයන්නට සැලසුම් කර තිබුණි. ශී‍්‍ර ලන්කන් ගුවන් සේවාව එහි පෙරමුණේ සිටියේය. එහි මෙතෙක් පැවැති ණය මහා භාණ්ඩාගාරයට පවරන ලද අතර එම ණය රහිතව වටිනාකම තක්සේරු කර පැවැරීම ඉලක්කය වී තිබුණි. හිල්ටන් හෝටලය ඇතුළු රජයට අයත් ව්‍යාපාර ගණනාවක් විකුණා දැමීමේ අදහසක් ද විය. එයින් විනිමය ආදායම ශක්තිමත් කරගෙන ආර්ථිකය සංවිධානගත කිරීමේ අරමුණක සිටියේය. අද එය ව්‍යවර්ථ වී තිබේ.

ඉදිරි කාලය තුළ ශ‍්‍රී ලංකාවේ විදේශ විනිමය අවශ්‍යතා වෙනුවෙන් ඩොලර් අවශ්‍ය කෙරේ. මෙරට අපනයන ආදායම මෙන් දෙගුණයක් ආනයන වෙනුවෙන් වැය කෙරෙන හෙයින් අන් විකල්පයක් නැත. අපනයන ආදායම වේගයෙන් නංවා ගැනීම අපහසුය. ශ‍්‍රී ලංකාවේ අපනයනය බටහිර කේන්ද්‍ර කරගෙන තිබේ. ඇමෙරිකාව හා යුරෝපය එයින් ප‍්‍රධානය. කොපමණ මිත‍්‍රශීලී නමුත් ඉන්දියාව හෝ චීනය මෙරට අපනයන අංශයේ විශාල ගැනුම් කරුවෝ නොවෙති. ඇමෙරිකාව හා යුරෝපා රටවල් දැනටමත් මෙරට දේශපාලනය ගැන කතා කරන්නට පටන්ගෙන ඇත. වහා පාර්ලිමේන්තුව කැඳවන මෙන් යෝජනා කරති. එම ඉල්ලීම පසෙක තැබුව හොත් මෙරටට වාසි සහගත ජී.එස්.ටී සහ ජී.එස්.පී වැනි යෝජනාවලට බාධා එන්නට බැරි නැත. ඇඟලූම් කර්මාන්තය, මාළු හා තේ වෙළෙඳපොළ වෙනුවෙන් යම් බලපෑමක් සිදුවුවහොත් එය ගැටලූව සංකීර්ණ කරනු නිසැකය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහය වැදගත් නමුත් ආර්ථිකයෙහි හැසිරීම ගැන නිසි තක්සේරුව ඉතා වැදගත්ය.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි ආයතනික අංශ සමග පවත්වන සම්බන්ධතා වැදගත්ය. ඒවායෙන් ශ‍්‍රී ලංකාවේ මූලික ණය හා සංවර්ධන යෝජනා ක‍්‍රම කෙරෙහි ආධාර උපයා ගන්නා අතර වාණිජ ණය කෙරෙහි යොමුවන සැලසුමකට ගමන් කළ යුතුව තිබේ. එවැනි ප‍්‍රවේශයකින් තොරව පොලී අනුපාත පාලනය කර ගත නොහැකි වනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාවකාලික ණය සංචිතය වසර 2019 වන විට අවසන් වන අතර එය නැවත සාකච්ඡුා කළ හැකිය. එයින් ලැබෙන පිටිවහල සමස්ත රාජ්‍යයේ ණය ගැනීමේ කි‍්‍රයාවලිය හසුරුවනු ඇත. අඩු පොලිය ඉතාම වැදගත්ය. කොන්දේසි ගැන සාකච්ඡුා කිරීම නිලධාරීන්ගේ වගකීමකි. එයට කලින් ශ‍්‍රී ලංකාව සිය පාලන ව්‍යුහය සකස්කරගත යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයට පාර්ලිමේන්තුව  රැස්වී අය වැය ප‍්‍රකාශයට පත් කිරීම සුදුසුය. එය අලූත් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය බවට පත්වීම වැළැක්විය නොහැකිය. නිසි ආර්ථික ප‍්‍රතිපත්ති, නිසි වැඩපිළිවෙළ සහ ඒවා සාක්ෂාත් කර ගැනීමට කැපවන නිලධාරී මණ්ඩයකින් තොර වුවහොත් පවතින තත්ත්වය වේගයෙන් අවදානම් තැනකට තල්ලූවීම වැළැක්විය නොහැකිය. ජනතාව ආර්ථික සහන ඉල්ලයි. හැමදාමත් හොඳ හිත පවතින්නේ නැත. ආර්ථික වැඩපිළිවෙළ අසාර්ථක වුවහොත් පැවැත්ම අනතුරකි.

ජී.කේ.ජී. සරත්  

Page 2 of 9

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.