lakbima.lk

 

 

මේ වසරේ, අලුත් අවුරුද්ද උදාවූ දිනයේ සවස තුන පසුවී මිනිත්තු පනස් හතරක් ගෙවුණු තැන, රතු හා කහ මිශ්‍ර (තඹ පැහැ) වස්ත්‍රාභරණයෙන් සැරසී, නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම සුබ බව නැකැත් සීට්ටුවේ දක්වා ඇත. එහෙත් පසුගිය අවුරුද්දේ දී ආහාර අනුභව කරන ලද්දේ වෙනත් දිශාවක් බලා, වෙනත් පැහැයක ඇඳුමකින් සැරසීගෙනය. මෙලෙස වසරින් වසර අවුරුදු නැකැත් වේලාවන්, පැහැය හා දිශාව ආදිය වෙනස් කෙරෙන්නේ ‍ජ්‍යොතිර්වේදී උපදෙස් අනුවය. අවුරුදු උදාවීමට දින කිහිපයකට පෙර කලඑළි බසින අලුත් අවුරුදු නැකැත් සීට්ටුව හැදෙන්නේ, ඊට වෙන්වී සිටින විශේෂඥ පිරිසක් විසිනි. රටේ නමගිය ‍ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන් රැසක්ද, පංචාංග ලිත් කර්තෘවරුන්ද, මෙකී අලුත් අවුරුදු නැකැත් කමිටුව නියෝජනය කරති. ඔවුන්ගේ එකතුවෙන් කලඑළි බසින අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ගැන අප සමඟ කතාබහ කරන්නට එකතු වූයේ ඈපා පංචාංග ලිතේ කර්තෘ, ඉන්දික ඈපා සෙනෙවිරත්න මහතාය.

ජාතික නැකැත් කමිටුවෙන් අවුරුදු නැකැත් සකස් කෙරෙන ක්‍රමවේදය කුමක්ද?

ජාතික නැකැත් කමිටුවෙ ‍ජ්‍යොතිර්වේදීන්, ලිත් කර්තෘවරු, ආදීන් තමතමන්ගෙ ගණනය කිරීම්වලට අනුව සකස් කරන ලද නැකැත් ජාතික නැකැත් කමිටුවට ඉදිරිපත් කරනවා. සාමාන්‍යයෙන් නැකැත් හදන්නේ, ‍ජ්‍යොතිෂයේ වන සිද්ධාන්ත ක්‍රමය පදනම් කරගනිමිනුයි. සිද්ධාන්ත ක්‍රමයට හදන මේ සියලු නැකැත් වේලාවන් සාකච්ඡා කරල, එක මතයකට පැමිණෙනවා. ඇතැම් අවස්ථාවල එක් එක් අය හදන නැකැත් වේලාවන්හි සුළු වෙනස්කම් තියෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී ඇතැම් ‍ජ්‍යොතිර්වේදීන් ඇතැම් වේලාවන්ට විරුද්ධ වෙන අවස්ථාත් තියෙනවා. නමුත් ඒ පිළිබඳව හොඳින් සාකච්ඡා කරල බහුතරයේ කැමැත්ත මත එක මතයකට ආවාට පසුව තමයි, නැකැත් සීට්ටුව කලඑළි බසින්නෙ.

සාමාජිකයන් ගණනාවකගෙන් යුතු නැකැත් කමිටුවේ, බහුතර කැමැත්ත හරිම නැකැත වශයෙන් ඉදිරිපත් කෙරෙන්නේ කුමක් පදනම් කරගනිමින්ද?

සූර්ය ගමනත්, චන්ද්‍ර ගමනත් පදනම් කරගෙන තමයි අපි මේ නැකැත් හදන්නෙ. සාමාන්‍යයෙන් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙන්න පැය දොළහයි මිනිත්තු හතළිස් අටක් ගතවෙනවා. මේ සංක්‍රාන්ති සමය අපි හඳුන්වන්නේ නොනගතය හෝ පුණ්‍ය කාලය වශයෙන්. ඇතැම් අය නොනගතය කියන්නෙ නැකැත් නැති වෙලාව යැයි අර්ථ දක්වනවා. නමුත් එය වැරදියි. කොහොම නමුත් ඒ පැය දොළහයි මිනිත්තු හතළිස් අට පූර්ව කොටස හා අපර කොටස වශයෙන් කොටස් දෙකකට බෙදනවා. පූර්ව කොටස ආගමික වතාවත් වෙනුවෙනුත්, අපර කොටසට ප්‍රධාන නැකැත් දෙකක් වන ආහාර පිසීම සහ ආහාර අනුභවය යන නැකැත් දෙක යොදා ගන්නවා. එතනදී ඒ දවස තුළ තියෙන හොඳම වේලාවල් දෙක තමයි මේ නැකැත් සඳහා යොදාගන්නෙ.

වසරින් වසර අවුරුදු නැකැත් වෙලාවල් වෙනස් වෙන්නෙ කොහොමද?

සූර්යයාගේ ගමනයි, චන්ද්‍රයාගෙ ගමනයි, අනුව තමයි මේ වෙලාවල් වෙනස් වෙන්නෙ. දැනට අවුරුදු කිහිපයකට පමණ කලින් අවුරුදු යෙදුනෙ අප්‍රේල් දොළහ දහතුන කියන දවස් දෙකට. දැන් ඒක දහතුන දහහතර කියන දවස් දෙකට යෙදිලා. පසුකාලීනව දහහතර පහළොව කියන දවස්වල අවුරුදු යෙදෙන්න පුළුවන්. සෑම අවුරුදු සියයටම වතාවක් එක් දිනයක් පිටුපසට ගමන් කරනවා. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන වේලාව වසරින් වසර වෙනස් වෙනවා. ඒත් එක්කම අවුරුදු නැකැත් යෙදෙන වෙලාවලුත් වෙනස් වෙනවා. දැනට ශතවර්ෂ ගණනාවකට කලින් මාර්තු මාසයෙදිත් අලුත් අවුරුදු නැකැත් යෙදිලා තියෙනවා.

අපේ සමාජය තුළ සතියේ ඇතැම් දින අසුබ දවස් ලෙස සැලකෙනවා. ඒ අසුබ දවසක අවුරුදු චාරිත්‍රයක් යෙදුණහොත් එදාට ඒ චාරිත්‍රත් නොසලකා හරිනවාද?

නැහැ එහෙම කරන්න බැහැ. ඒ දවස් මේ නැකැත්වලට බලපාන්නෙ නැහැ. එවැනි දවසක සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වුණොත් ඒ දවසකදි වුණත්, අවුරුදු නැකැත් යොදා ගන්න සිදුවෙනවා. රාහු කාලයේදී වුණත් අවුරුදු නැකැත් යෙදෙනවා. මීට කලිනුත් අඟහරුවාදා, සිකුරාදා, සෙනසුරාදා වගේ දිනවල නැකැත් යෙදිලා තියෙනවා.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන බව, ‍ජ්‍යොතිෂයේ සඳහන් වුණත්, තාරකා විද්‍යාව අනුව එවැනි දෙයක් සිදුවෙන්නෙ නැහැ නේද?

ඒ විදිහටම පිළිගැනෙනවා. තාරකා විද්‍යාවෙ ඇති ගණනය කිරීම් තමයි ‍ජ්‍යොතිෂයේදී උපයෝගී කරගන්නෙ. ‍ජ්‍යොතිෂ විද්‍යාව සම්පූර්ණයෙන් පදනම් වෙලා තියෙන්නෙ තාරකා විද්‍යාව මත.

සෞරග්‍රහ මණ්ඩලයට කාලයෙන් කාලයට අලුතින් එකතු කරගන්නා ග්‍රහයන් සියලු දෙනාත්, මේ නැකැත්වලට සම්බන්ධ කරගන්නවාද?

එහෙමම නැහැ. ප්‍රධාන ග්‍රහයො නවදෙනෙක් තමයි මේ සඳහා යොදාගන්නෙ. පෘථිවියට ගොඩක් ඈතින් පිහිටි ග්‍රහයෝ මේ සඳහා යොදා ගන්නෙ නැහැ. යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ, යනුවෙන් අලුතින් හොයා ගත්ත ග්‍රහයන් තුන්දෙනා කාලයක් ‍ජ්‍යොතිෂයට ඇතුළත් කරල තිබුණත් දැන් ඒ ග්‍රහයන් ගණන් ගැනෙන්නෙ නැහැ. ඒ ඔවුන් පෘථිවියට ගොඩක් ඈතින් පිහිටා තියෙන නිසා, ඔවුන්ගෙන් පෘථිවියට වන බලපෑම අඩු නිසයි.

අවුරුදු නැකැත්වලට අදාළව ඇඳුම්වල පැහැය වසරින් වසර වෙනස් වෙන්නෙ කොහොමද?

සතියෙ දින හත ‍ජ්‍යොතිර්වේදයට අනුව එක් එක් ග්‍රහයට හිමියි.

එමෙන් ම ඒ ඒ ග්‍රහයන්ට වෙන්වූ එක් එක් පැහැයන් ද එහි සඳහන් වෙනවා. අවුරුදු නැකැත්වලට අදාළව ඇඳුම්වල පැහැයන් වෙනස් වෙන්නෙ ඒ අනුවයි. උදාහරණයක් ලෙස මෙවර අවුරුදු චාරිත්‍ර යෙදෙන්නෙ ඉරිදා දිනයටයි. ඒ දිනය අයිති සුර්යයාට. ඒ අනුව ඒ දිනයට නියමිත වෙන්නෙ රතු හා කහ මිශ්‍ර වූ තඹ පැහැයයි. අපි ඒ පැහැය අරුණලු පැහැය ලෙස හඳුන්වනවා. සඳුදාට සුදු පැහැය, අඟහරුවාදා දිනයට රතුපැහැය, බදාදාට කොළ පැහැය, බ්‍රහස්පතින්දාට රන්වන් පැහැය, සිකුරාදා දිනයට මිශ්‍ර පැහැය, සෙනසුරාදාට නීල වර්ණ කළුපැහැය ආදී වශයෙන් පැහැයන් වෙනස් වෙනවා.  ඒ වගේම ඒ ඒ දිනවලට නියමිත ආහාර වර්ගත් ‍ජ්‍යොතිෂයේදී අපට හමුවෙනවා. ඒ අනුව ඉරිදාට නියමිත වෙන්නෙ හකුරු හා තිකුළු (කුළුබඩු) මිශ්‍ර ආහාර. ඒ නිසා හකුරු මිශ්‍ර කිරිබතක්  සහ තිකුළු මිශ්‍ර කැවිලි හදන ලෙස මෙවර නියම වෙලා තිබෙනවා.

ස්නානය, හිසතෙල් ගෑම ආදී චාරිත්‍රයන්ට යොදා ගන්නෙ ඖෂධීය ශාක පත්‍රයන් ද මේ ආකාරයටම වෙනස් වෙනවා නේද?

ඔව්. හිසතෙල් ගෑම සඳහා හිසට තැබිමට ගන්නා ශාක පත්‍රය තීරණය වෙන්නෙ අදාළ දිනය හිමි ග්‍රහයාට අයිති ශාක වර්ගය අනුවයි. මෙවර හිස තෙල් ගෑමට නියමිතව ඇත්තේ, 17 වෙනි බදාදාටයි. එදාට අයිති වෙන්නෙ කොහොඹ ශාකය. ඒ නිසා හිසට තැබිම සඳහා කොහොඹ පත් යොදා ගන්නවා. පයට තැබිමට ගන්නා ශාකය තීරණය වෙන්නෙ අදාළ දිනයට පෙර දිනයට හිමි ශාකයට අනුවයි. ඒ අනුව මෙවර අඟහරුවාදා කුජ ග්‍රහයාට හිමි කොළොන් පත්‍රය පයට තැබිම සඳහා යොදා ගන්නවා. ස්නානය සඳහා නානු සකසා ගන්නේද මේ ආකාරයෙන්මයි. ස්නානය කිරීමට නියමිත දවස හිමි ග්‍රහයාට අයත් ශාකයේ පත්‍රවලින් මේ නානු සකසා ගැනීම තමයි ‍ජ්‍යොතිර්වේදයට අනුව සිදුවෙන්නෙ.

මෙවර අවුරුදු නැකැත සවසට යෙදීම හොඳ නැහැ කියලා සමහර පුද්ගලයන් මතයක් පතුරුවනවා නේද? ඒ ඇයි?

මේ අවුරුද්දට අදාළ නැකැත් හදන්න රාජ්‍ය නැකැත් කමිටුව සාමාන්‍යයෙන් රැස් වෙන්නේ පසුගිය වසරේ ජූලි මාසයෙදියි. මේ නැකැත් කමිටුවෙ තිස්එක් දෙනෙක් ඉන්නවා. ඔවුන් සියලු දෙනා කතාබහ කරල තමයි නැකැත් හැදෙන්නෙ. ඒ වෙලාවෙ අපිට ඕනම මතයක් ඉදිරිපත් කරල නිවැරදි කරගන්න පුළුවන්. අපි ප්‍රධාන නැකැත් හදන්නෙ ඒ දිනයට අදාළ හොඳම වෙලාව බලලයි. නමුත් ඕනම කෙනෙකුට දෝෂ දර්ශන දැකලා ඒ අවස්ථාවෙදි නිරාකරණය කරගන්න පුළුවන්. ඒ සඳහා පැය දෙකතුනක්  විවිධ වාද විවාද කරනවා. නමුත් බොහෝ දෙනෙක් එතන කතා නොකර, නැකැත් සීට්ටුව එළිදැක්වුවට පසුව ඒ ගැන වැරදි කියනවා. නමුත් හැකිතරම් ගණනය කිරීම් කරලා, හොඳම නැකැත තමයි හදලා තියෙන්නෙ. මේ නැකැත්වලින් යම් පුද්ගලයකුට අසුබක් විය හැකියි. නමුත් මේ නැකැත් හදන්නෙ මුළු රටටම සුබදායක වන ආකාරයටයි.

යම් පුද්ගලයකුට කුමක් හෝ හේතුවක් මත මේ කියන වේලාවට අනුව සියලු වැඩ අත්හැරීමට හෝ ලිප ගිනි මෙලවීමට නොහැකි වුණොත් ඒ පුද්ගලයාට අසුබ දෙයක් සිදුවෙයිද?

නැහැ එහෙම හිතන්න හොඳ නැහැ. මේ චාරිත්‍ර වාරිත්‍ර. ඒ දේවල් නොකළ කියලා අයහපත් දෙයක් සිදු වෙන්නෙ නැහැ. නමුත් අපි යමක් අලුතින් ආරම්භ කරද්දි සුබ වෙලාවල් තීරණය කරගන්නවා. ඒ වගේම තමයි, සූර්යයා මෙතනදිත් අලුත් ගමනක් ආරම්භ කරන්නෙ. ඒ නිසා අපිත් අපේ ගමන අලුත් කරගන්නවා. ඒ ගමන සුබ වේලාවකට ආරම්භ කරන්නයි මේ නැකැත් හැදෙන්නෙ. එය අපේ මානසික සුවයට වගේම අපේ සාමූහිකත්වයටත් වැදගත් වෙනවා. අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම වැදගත් වෙන්නෙ ඒ නිසයි. නමුත් යම් හේතුවක් මත කෙනෙකුට ඒ චාරිත්‍ර මඟහැරුණොත් එයින් අයහපතක් වෙන්නෙ නැහැ.

 ගයාත්‍රි ගීගනආරච්චි

 

 

  1. “හොඳ රටක් හොඳ හෙටක්“ වෙනුවෙන් බිහි වුණ BEYOND 2020 SRI LANKA වෙතින් රට හදන්න යෝජනා 20ක්
  2. විදුලි අර්බුදයට මුල ඉංජිනේරුවන්ට වඩා තමන් දන්නා බව සිතන දේශපාලනඥයන්
  3. රටම අඳුරේ තැබූ විදුලියේ මාෆියාව
  4. පෞද්ගලික අංශය වහල්ලූ කරන නව කම්කරු පනත් කෙටුම්පත
  5. ආර්ථිකය නැංවීමේ වගකීම බැංකුවලට භාරදී තිබේ
  6. ජිනීවා දැලි පිහියෙන් කිරි කෑම
  7. ජිනීවා මර උගුල
  8. රජයේ සේවක වැටුප් ගෙවන්නට වත්කමක් නැති ආර්ථිකය
  9. දෙපැත්තකින් අර්බුදයකට මුහුණ පා ඇති තේ කර්මාන්තය
  10. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරන්න පුළුවන්ද?
  11. නිදහස් දවසේවත් ඥානසාර හාමුදුරුවන්ට නිදහස ලැබෙයිද?
  12. අලුත්ම කෙල්ලෝ කොල්ලො ලක්ෂ 14ක් මෙදා සැරේ ඡන්ද ‍පොළේ
  13. රට බෙදෙන බව කියන ඔරුමිත්තනාඩුව සොයා ගියෙමු
  14. කොටුගොඩ මහනාහිමි ඉල්ලන සෙනට් සභාව
  15. නුදුටු ව්‍යවස්ථාවකට චෝදනා එල්ල කිරීම සාධාරණද? - මහාචාර්ය කේ.එන්. ඕ. සොයිසා
  16. ලෝක උරුම සිංහරාජය වනසමින් මාර්ග 02ක් ඉදිකෙරේ
  17. අපනයන නැංවීමෙන් රුපියල ශක්තිමත් කළ හැකිය
  18. සේනා මඩින්න ඩ්‍රෝන
  19. අයවැයෙන් වාර්තාගත සහන ලබාදිය නොහැක
  20. ඉතිහාසයෙන් අත්දැකීම් නැති ආර්ථිකයක් සමග නව වසරකට පා තැබීම
  21. රට කියන තරම් අගාධයකට වැටී නැත
  22. විදේශ මුදල් අලූතින් සොයා ගැනීමේ වගකීම
  23. විශ්වාසභංග යෝජනා නීතියට අනුව සම්මත වී නැහැ - නිතිඥ කණිෂ්ක විතාරණ
  24. දේශපාලන වියවුලෙන් ආර්ථිකයත් අවුලෙන් අවුලට
  25. දේශපාලන අර්බුදයක් වී පුපුරා ගියේ ආර්ථිකයේ දූෂණ සහ අක්‍රමිකතා

Page 1 of 30

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.