lakbima.lk

දෙපැත්තකින් අර්බුදයකට මුහුණ පා ඇති තේ කර්මාන්තය

 

 

ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තය දෙපැත්තකින් අර්බුදයකට ලක්ව තිබේ. ජාත්‍යන්තර වෙළෙ`දපොළ අහිමිවීම ඉන් ප‍්‍රධානය. තේ කම්කරු වැටුප් ප‍්‍රශ්නය කර්මාන්තයේ පැවැත්ම අවිනිශ්චිත කර ඇත. වැඩි වැටුප් සහිතව වතු නඩත්තුව පහසු නැති බව වැවිලි සමාගම් පෙන්වා දී තිබේ. ජාත්‍යන්තර වෙළෙඳපොළ අහිමිවීම වළකනු සඳහා රුපියල් බිලියන 4.5 ක ජාත්‍යන්තර ප‍්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමට යයි. වතු කම්කරු වැටුප් ප‍්‍රශ්නය නිරාකරණය කරනු අරමුණු කරගෙන තවත් රුපියල් බිලියන 1.5ක මුදලක් කම්කරු වැටුප් ගෙවීමට රජයෙන් වෙන් කරන්නට තීරණය කර තිබේ.

පසුගිය මාස දෙක තුළ තේ වතු කම්කරුවන් වර්ජනය කළ අතර කොළඹට පැමිණ විරෝධතා දැක්වූහ. තේ කම්කරු වැටුප වැඩි කළ යුතු බව එකහෙලා කියා සිටි අතර රුපියල් දහසක දෛනික වැටුප හැර අනෙක් යෝජනාවක් පිළිගැනීම එකහෙලා ප‍්‍රතික්ෂේප කළෝය. රජයේ වතු බදු ගෙන පාලනය කරන වැවිලි සමාගම් වලට මෙම දෛනික වැටුප ගෙවන්නට පුළුවන්කමක් නැති බව සාකච්ඡුාවල දී අනාවරණය වූ කරුණකි. අවසාන වශයෙන් දිනකට රු. 700 ක් දක්වා නංවන්නට එකඟ වූ අතර අමතර වශයෙන් දිරි ගැන්වීමේ දීමනා ද නංවන්නට එකග වී තිබේ. එම යෝජනාව ප‍්‍රතික්ෂේප කරන වතු වෘත්තීය සමිති ඉදිරියේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ආණ්ඩුවේ වියදමින් වැටුප් වර්ධකයක් යෝජනා කර ඇත. එය දිනකට රුපියල් පනහක දීමනාවක් වන අතර අවුරුද්දක කාලයකට සීමා කර තිබේ.

මෙම වියදම් සමග ආණ්ඩුව 2019 මුදල් වර්ෂයේ දී අලූතින් රුපියල් බිලියන හයක් තේ කර්මාන්තය වෙනුවෙන් වැය කරනු ඇත. විශාල මුදල් අර්බුදයක සිටින රටට මෙය පහසු අවස්ථාවක් නොවේ. මෙම මුදල් වලින් කොටසක් අයවැය ලේඛනයෙන් වෙන්කිරීමට   කැබිනට් අනුමැතිය අපේක්ෂා කෙරේ. ප‍්‍රචාරක වියදම් සෙස් අරමුදලෙන් විය හැකිය. 2019 අය වැය මාර්තු 05 වැනි දින ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අය වැය පසුගිය අවුරුද්දට වැඩි විශාල හිඟයක් එනම් දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 4.8ක ප‍්‍රමාණයක් සහිතව ඉදිරිපත් කරනු ඇතැයි සැලකේ. අය වැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු තේ කර්මාන්තයේ වියදම් ඇතුළු වන හෙයින් මෙම පිරිවැය අතිරේක එකකි. අය වැය ඉදිරිපත් කරන්නටත්  කලින් ඇස්තමේන්තු වෙනස් වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අය වැය හිඟය පාලනය කරගෙන රාජ්‍ය ආදායම තර කරගන්නා ලෙස කෙළින්ම අනතුරු අඟවා ඇති වකවානුවක රජයේ වියදම් පාලනය කරගත නොහැකිවීම ගැටලූවකි. ආණ්ඩුව මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අත්‍යවශ්‍ය වී තිබේ. එහි ප‍්‍රධානීහු මෙරටට පැමිණ ආර්ථිකයේ කළ හැකි වෙනස්කම් ගැන සාකච්ඡා කරන්නට නියමිතව ඇත. එසේ තිබිය දී තේ කර්මාන්තය තුළ ඇති කළ වැටුප් ප‍්‍රශ්නය මෙරට ව්‍යුහය ගැන ව්‍යාකූල තත්ත්වයක් ඇති කරනු නොඅනුමානය.

ලෝකයේ හොඳම තේ යන සන්නාමය කලක් මෙරටට හිමි වී තිබුණි. ලෝක වෙළෙඳ පොළට වැඩිම තේ ප‍්‍රමාණයක් අපනයනය කළ පළමු රට බවට පත්ව සිටියේ ශ‍්‍රී ලංකාවයි. එම අභිමානය වේගයෙන් පිරිහෙමින් තිබේ. 1995 දී ලෝකයට වැඩිම තේ සැපයූ ශ‍්‍රී ලංකාව අද හතරවැනි සැපයුම්කරුවා බවට පත්ව සිටී. කෙන්යාව ලෝකයේ වැඩිම තේ අපනයනය කරන රට බවට පත්ව ඇත. ලෝකයේ තේ ගැනුම් කරුවෝ ගණනාවක් ශ‍්‍රී ලංකාව අත් හැර ගොස් තිබේ. කප්රා බීටල් නමැති කෘමි විශේෂයක් ශ‍්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද තේ තොග වලින් හමුවීම ප‍්‍රශ්නයක් මත රුසියාව බලවත් තර්ජනයක් එල්ල කළේය. එය විසඳා ගැනීමට ඇස්බැස්ටෝස් තහනම ඉවත්කර ජාත්‍යන්තර සහතිකයක් ඉදිරිපත් කළ බව මතක් කළ යුතුය. යුරෝපා රටවල වෙළෙඳපොළ ඩයස්පෝරාවේ බලපෑම්වලට ලක්ව තිබේ. ඉරාන තේ වෙළෙඳපොළ අවිනිශ්විත තත්ත්වයකය. ඇමෙරිකාව පනවන ලද සම්බාධක ඉරානය සමග තේ වෙළෙඳාම සීමා කර ඇත. ඉන්දියාව හෝ චීනය වැනි බලවත් රටවල් ඉරානය සමග නොනවත්වා ගනුදෙනු කරමින් සිටී. ශ‍්‍රී ලංකාවේ බැංකුවලට ඉරානයේ මුදල් ගෙන්වා ගැනීමට බාධා ඇත. මෙරට කිසිම බැංකුවක් ඉරානයෙන් එන විනිමය මුදල් භාර ගන්නේ නැත. ඒ සඳහා වෙනත් රටක වාණිජ බැංකුවක් හරහා සංකීර්ණ ක්‍රියාදාමයකට අවතීර්ණ විය යුතුය. නොඑසේනම් අපට සිදු වනුයේ තේ ආදායමට තෙල් හුවමාරු කර ගැනීමය. මේ ගැටලුව රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් එය නිරාකරණය කරගත නොහැකි වී ඇති හෙයින් සෘජු වෙළෙඳාමට බාධාවක් වී තිබේ. නොබෝදා සිට කොළඹ වරායට ඉරානයේ නෞකා ඇතුළු කිරීමට සීමා පනවා ඇත. ශ‍්‍රී ලංකා ආණ්ඩුව මෙම තීරණවලට නැඹුරුවීමට හේතුව කුමක් දැයි පැහැදිලි නැත. ඇමෙරිකාව එකක් නියම කරන විට ශ‍්‍රී ලංකාවේ තීරණ දෙකක් ගැනීමට හුරු වී තිබේ. නැව් ගමන් වාරණය කරන විට ශ‍්‍රී ලංකාවෙන් තේ තොග මිල දී ගැනීමට ඉරාන ගැනුම්කරුවෝ සූදානම් ද? රටට ඇති ගැටලූව එයයි. එක පැත්තකින් තේ කම්කරුවෝ වැටුප් ඉල්ලා පාරට බහින අතර ආණ්ඩුව තේ වෙළෙඳපොළ ආරක්ෂා කරගැනීම සඳහා බලවත් අරගලයක සිටින අවස්ථාවක් බව තේරුම්ගත යුතුව ඇත.

ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තයට සියවස් එකහමාරක් ගත වී තිබේ. මෙම කාලය තුළ මෙරට තේ වගාවට සිදුවුයේ කුමක්ද? අලූත් ශ‍්‍රමය එකතු වූයේ නැත. වැවිලි සමාගම් කර්මාන්තය තාක්ෂණික වශයෙන් දියුණු කරන්නට පියවර ගැනීමට අසමත් විය. තේ කම්හල් නවීකරණයට ලෝක බැංකු ආධාර ලැබුණි. උසස් තේ නිපදවීම ගැන පර්යේෂණ කරන්නට සෙස් අරමුදලෙන් පවා පිටිවහලක් නොලැබුණි. මෙරටින් අපනයනය කරන තේ වල වටිනාකමෙන් සියයට එකක් සෙස් අරමුදලට එකතු වෙයි. එම මුදල් ක්ෂේත‍්‍රයේ දියුණුවට යොදා ගත යුතුය. එම මුදල් වලින් ලෝකයේ වෙනත් රටවලට වඩා ඉදිරියෙන් ශ‍්‍රී ලංකාවේ තේ නම පවත්වාගෙන යන්නට වියදම් කරන්නට අවශ්‍යය.  ලෝක තේ වෙළෙඳාම සම්බන්ධ තොරතුරු වලට අනුව 2016 වසරේ දී ලෝකයේ ඇතැම් රටවල් අලූතින් තේ මිල දී ගැනීම වැඩි කර ඇත. තේ වෙළෙඳාම වෙනස් වූ ආකාරය ගැන අධ්‍යයනය කර තිබේද? සම්ප‍්‍රදායික කළු තේ අපනයනය කරන ශ‍්‍රී ලංකාව අගය එකතුවන අලූත් පැති ගැන සොයා බලා තිබේද? ශීත රටවල් වැඩි කහට ප‍්‍රමාණයකට කැමැතිය. තේ රහට හෝ ශරීර සෞඛ්‍යයට ගැළපෙන පානයක් වශයෙන් ජනප‍්‍රිය කළ හැකිව තිබුණි. අපට මගහැරුන තැන් අනෙක් රටවල් උපයා ගනිමින් තිබේ. 2016 වසරේ දී වියට්නාමය සිය තේ ආනයනය සියයට 17.98 කින් වැඩි කර ගෙන ඇති අතර මොරොක්කෝව සියයට 19.2 කින් ආනයන වැඩි කරගෙන ඇති බව ලෝක තේ වාර්තාව දක්වයි. නෙදර්ලන්තය සියයට 13 කින් හා ඇමෙරිකාව සියයට 10 කින් එම රටවලට ගෙන්වන තේ ප‍්‍රමාණය වැඩි කර ගෙන තිබේ. අප මෙම වෙළෙඳපොළ දිනා ගැනීමට සමත් වූයේ නම් තේ කර්මාන්තයේ නියැලි කම්කරුවන්ට වැටුප් වැඩි කිරීම අමුතුවෙන් මුහුණ දිය යුතු ප‍්‍රශ්නයක් නොවේ.

තේ වතු කර්මාන්තයේ වැටුප් ප‍්‍රශ්නය සුළු කාරණයක් නොවේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඒ. එස්. චන්ද්‍රබෝස් කරන පර්යේෂණ පත‍්‍රිකාවකට අනුව 1988 සිට 2011 දක්වා කාලය තුළ මහා පරිමාණ වතු සමාගමම්වල සේවය කළ ශ‍්‍රමිකයන්ගෙන් සියයට 58ක් එයින් ඉවත්ව තිබේ. වතු කම්කරුවන්ගේ දරුවන් තවදුරටත් තේ වතුවල දලූ නෙළන්නේ නැත.  උසස් අධ්‍යාපනයට යොමු වන  ඔවුහු වෙනත් ක්ෂේත‍්‍රවල රැකියා සොයා යති. ඉතිරිවන සුළු පිරිස තේ වගාව කරගෙන යා නොහැකි තැනකය. නිෂ්පාදන ඵලදායීතාවය අවම කරන තරමට ඉතිරි ශ‍්‍රමිකයන්ගෙන් දලූ නෙළා ගන්නා විට තේ වල ගුණාත්මක භාවයක් හැදෙන්නේ නැත. ඉතිරිව සිටින ශ‍්‍රමිකයන්ට හොඳ වතු නිවාස, විදුලිය හා ජල පහසුකම්, වතු රෝහල් හා වතු පාසල් ඉදිකර විශාල සහයෝගයක් දෙන නමුත් ඒවායේ ආයෝජන වටිනාකම නොසලකන වෘත්තීය සමිති තවතවත් වැඩි වැටුප් වලට පොළඹවන  බව නිරීක්ෂණය කළ හැකිය.

තේ කර්මාන්තයේ අලූත් යුගයක් වෙනුවෙන් ප‍්‍රතිපත්ති තීරණ ගැනීමට කාලය එළැඹ ඇත. වෘත්තීය දක්ෂතාවය සහිත මානව සම්පත් ක්ෂේත‍්‍රයට එකතු කරගත යුතුය. තේ නිපදවීම යම් ප‍්‍රමාණයකින් රොබෝ තාක්ෂණයට යොමු කළ යුතුය. ලෝකයේ සෑම කර්මාන්තයක්ම අඩු මානව සම්පතක් භාවිතා කරන තැනට පත්වෙමින් තිබේ. වියදම අවම කරගන්නට එය බලපා ඇත. තේ දලූ නෙළීමට යන්ත‍්‍ර හදුන්වා දියහැකිය. දැනටමත් එම මෙවලම් භාවිතා වෙයි. ඉතිරි වී සිටින ශ‍්‍රම බලකාය වැඩි වැටුප් සහිතව තාක්ෂණික අවබෝධයක් ඇති කොටසක් බවට හරවා ගතහොත් අනාගතයේ දී ඇතිවන නරක තත්ත්වයන්ගෙන් ගැලවිය හැකිය. ක්ෂේත‍්‍රයේ අත්දැකීම් සහිත පුද්ගලයන් එකතු කරන අතර නවීන තාක්ෂණික යෙදවුම් ගැන අවබෝධයක් ඇති විශේෂඥයන් සමග අනාගතය ගැන සාකච්ඡා කරන සංවාදයක් අවශ්‍යය. තේ කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමේ අවශ්‍යතාවය ක්ෂේත‍්‍රයේ ඇති සැබෑ ප‍්‍රශ්නය නොව. අභ්‍යන්තරයේ වෙනම සාකච්ඡා කළ යුතු ගැඹුරු අංශ පවතී. ඒවා විමර්ශනය කිරීම කාලීන අවශතාවකි.

ජී.කේ.ජී. සරත්

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.