lakbima.lk

ප්‍රතිත්‍රස්ත පනත හා ත්‍රස්තවාදයට උඩගෙඩි දීම

පසුගියදා රටේ ඇති වූ බෝම්බ ප්‍රහාර මාලාවත් සමග ඒ සම්බන්ධයෙන් සමාජයේ  විවිධ මත පළවෙන්නට විය. මේ ත්‍රස්තවාදය වැළැක්වීම නිසි ලෙස සිදු නොවූ බවට ඇතැම්හු ආණ්ඩුවට විවිධ චෝදනා එල්ල කළෝය. මේ අතර අගමැතිවරයා ප්‍රකාශ කළේ විදේශ ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධව කටයුතු කර, මෙරටට ආ පුද්ගලයකු මෙරටදී අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් නීති ප්‍රතිපාදන අප සතුව නොවූ බවයි. ප්‍රතිත්‍රස්ත පනත සම්මත කර ගැනීම සම්බන්ධයෙන් ද ඒ අතරේ විවිධ මත පළවෙන්නට විය. මෙම සියලු කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා 'ලක්බිම'ට කළ කරුණු දැක්වීම ඇසුරින් මෙම ලිපිය සැකසිණි.

ලංකාවේ සාමාන්‍ය නීතිය යටතේ, අපරාධයක් පිළිබඳ සැකපිට ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගත් පසුව ‍පොලීසිය පැය විසිහතරක කාලයක් ඇතුළත පරීක්ෂණ කටයුතු පවත්වලා, ඒ කටයුතුවලින් අනතුරුව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීම සාමාන්‍ය සංසිද්ධියයි. එවැනි අවස්ථාවකදී අත්අඩංගුවට ගන්නා පුද්ගලයා අදාළ චෝදනාවලින් වැරදිකරුවෙක් වන තුරු ඔහු නිවැරදිකරුවකු ලෙස සැලකෙයි. යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් පසුව ඔහුට විරුද්ධව චෝදනා නැඟීමට තරම් කරුණු ඇත්නම් ඔහුට විරුද්ධව චෝදනා පත්‍රයක් ගොඩනංවන අතර මහාධිකරණයකදී නම් අධි චෝදනා පත්‍රයක් ගොනු කරනු ලැබේ.

සාමාන්‍ය නීතිය යටතේ පැවැති මෙම තත්ත්වය පසුගිය කාලයේදී යම් යම් සංශෝධනවලට ලක් වූයේ, වර්තමානයේ පවතින වැරදිවල සංකීර්ණ ස්වභාවය අනුවය. ඒ අනුව එතෙක් පැය විසිහතරක් රඳවා තබා ගැනීමේ කාලසීමාව පැය හතළිස් අටක් දක්වා දීර්ඝ කරන ලදී. නමුත් පැය විසිහතරක් ගත වූ පසුව අදාළ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර, පරීක්ෂණ කටයුතු සඳහා තවත් පැය විසිහහතරක කාලයක් අවශ්‍ය බව ‍පොලීසිය විසින් දන්වා සිටිය යුතුය. එහෙත් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලදී අදාළ සැකකරු පැය හැත්තෑ දෙකක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයකුගෙන් අවසර ඉල්ලීමට ‍පොලීසියට අවස්ථාව හිමි වී ඇත. මේ සාමාන්‍ය තත්ත්වයක් තුළ රටේ පවතින නීතියයි.

එහෙත් රටක යම් ආකාරයක ත්‍රස්තවාදී ක්‍රියාවන් සිදුවන පරිසරයක් ගොඩනැගුණහොත් එවැනි අවස්ථාවලදී, සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කිරීම අපහසු වන බැවින්, ඊට අදාළව හදිසි අවස්ථා රෙගුලාසි යටතේ තීරණ ගැනීමට පාලකයන් කටයුතු කළ යුතුය. එවැනි තත්ත්වයන් තුළ හදිසි අවස්ථා රෙගුලාසි යටතේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඇත. අපේ රටේ එලෙස හදිසි අවස්ථා රෙගුලාසි අනුව කටයුතු කරන ලද පළමු අවස්ථාව ද මෙය නොවේ. ඊට පෙර අවස්ථා ගණනාවකදී හදිසි අවස්ථා රෙගුලාසි යටතේ හදිසි නීතිය ක්‍රියාත්මක විණි. ඊට අමතරව විවිධ අවස්ථා ගණනාවකදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ද ක්‍රියා කර ඇත.

පාස්කු ඉරිදා ඇති වූ තත්ත්වයත් සමග රටේ සාමය ආරක්ෂා කර ගැනීම, ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කර ගැනීම සහ විශේෂයෙන් ම එම ත්‍රස්ත ක්‍රියාවල නිරත වූ හා නිරත වෙමින් සිටින පුද්ගලයන් සහ අවිආයුධ අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන ලද්දේ, මෙම නීතියට අනුකූලවය. මන්ද යත් එවැනි අවස්ථාවකදී එතෙක් රටේ පැවැති සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක වීමේදී විවිධ බාධාකාරී තත්ත්වයන් මතුවේ. මෙවැනි ත්‍රස්ත ක්‍රියාවලදී ක්‍රියාත්මක වීම සඳහා විශේෂ නීති අණපනත් ලෝකය පුරාම හඳුන්වා දෙන්නේ එමනිසාය. නමුත් එම පනත් වුවද ක්‍රියාත්මක වන්නේ යම් යම් සීමාවන්ට අනුකූලවය.

මෙහිදී හදිසි අවස්ථා තත්ත්වයක් ඇතිවුවහොත් ජනාධිපතිවරයාට ආරක්ෂක ප්‍රධානියා ලෙස කටයුතු කරමින්, හදිසි අවස්ථා රෙගුලාසි ගැසට් පත්‍රයක් මගින් රට තුළ ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව උදාවේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ද රට තුළ හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාශයට පත් කෙරුණේ ඒ අනුවයි. මේ සඳහා මූලික වශයෙන් වෙනත් කෙනකුගේ හෝ කණ්ඩායමකගේ අනුමැතියක් ජනාධිපතිවරයාට අවශ්‍ය නොවේ. සාමාන්‍ය ජනජීවිතය පවතින අවස්ථාවකදී නීතිය ක්‍රියාත්මක කරන්නේ ‍පොලීසියයි. ත්‍රිවිධ හමුදාව  ආරක්ෂක කටයුතුවල පමණක් නියැළෙයි. එහෙත් හදිසි අවස්ථා රෙගුලාසි යටතේ, ත්‍රිවිධ හමුදාවට නීතිය ක්‍රියාත්මක කිරීමේ බලතල ද හිමිවේ. ත්‍රස්ත ප්‍රහාර වැනි අවස්ථාවකදී හදිසි නීතිය අවශ්‍ය වන්නේ ද ත්‍රිවිධ හමුදාවට ඊට අදාළ කටයුතු කිරීම සඳහා අවශ්‍ය බලතල ලබා දීමටය. ඒ අනුව අවශ්‍ය අවස්ථාවලදී පුද්ගලයන් හෝ අවි ආයුධ අත්අඩංගුවට ගැනීම්, පරීක්ෂා කිරීම් ආදිය සඳහා ත්‍රිවිධ හමුදාවට ද බලය පැවරෙයි.

එමෙන් ම දිවයින පුරා බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට ද හදිසි නීතිය අවශ්‍ය වේ. හදිසි නීතිය ක්‍රියාත්මක නොවන අවස්ථාවකදී පැනවිය හැකි වෙන්නේ ‍පොලිස් ඇඳිරි නීතිය පමණි. එහෙත් ‍පොලිස් ඇඳිරි නීතිය යනු ඒ ඒ අදාළ ප්‍රදේශයට පමණක් බලපාන තත්ත්වයකි. එසේම සාමාන්‍ය නීතිය යටතේ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා සිතාසියක්, හෝ වරෙන්තුවක් අවශ්‍ය වුව ද, හදිසි අවස්ථා රෙගුලාසි යටතේ එවැන්නක් අවශ්‍ය නොවේ. ඕනෑම අවස්ථාවක, ඕනෑම පුද්ගලයකු සැකසහිත බව හැඟී ගියහොත් ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තබා ප්‍රශ්න කිරීමේ අවස්ථාව ‍පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට ඇත. සාමාන්‍ය නීතිය යටතේ යම් ස්ථානයක් පරීක්ෂා කිරීම සඳහා ද අධිකරණයක් මගින් නිකුත් කරන සෝදිසි වරෙන්තුවක් අවශ්‍ය වුවද, හදිසි තත්ත්වයක් තුළ කරුණු කාරණා පැහැදිලි කරදීම තුළින් සෝදිසි වරෙන්තුවක් නොමැතිවද පරීක්ෂා කිරීම් සඳහා අවස්ථාව හිමිවේ. හදිසි අවස්ථා රෙගුලාසි ක්‍රියාත්මක වන තත්ත්වයක් තුළ එවැනි සෝදිසි වරෙන්තුවක් හෝ කරුණු පැහැදිලි කිරීමක් නොමැතිව ද ඕනෑම ස්ථානයක්, ඕනෑම අවස්ථාවක පරීක්ෂා කිරීමටත්, එහි ඇති භාණ්ඩ හෝ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන්ට හැකියාව ඇත.

එමෙන් ම එවැනි අවස්ථාවකදී කෙරෙන පරීක්ෂා කිරීම් හෝ අත්අඩංගුවට ගැනීම් අභියෝගයට ලක් කිරීමට අවස්ථාවක් නැත. ඒ, එය රටේ  උද්ගත වෙන හදිසි තත්ත්වයක් තුළ ක්‍රියාත්මක වීමක් වන නිසාය. මෙවැනි අවස්ථාවලදී අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්  මාස තුනක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ අවස්ථාවද හදිසි අවස්ථා රෙගුලාසි යටතේ හිමි වේ. මාස තුන අවසාන වූ විට අවශ්‍ය නම් තවත් මාස තුනක් ආදී වශයෙන් උපරිමයෙන් මාස දහඅටක් දක්වා රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ හැකියාව පවතී. ත්‍රස්ත ක්‍රියා සිදුකරන සංවිධාන ඇත්නම් කිසිදු වගවිභාගයකින් තොරව ඒ සියල්ලක් තහනම් කිරීමට, ඒවායේ කටයුතුවල නිරත වූ අය සහ ඒ සඳහා උදව් උපකාර කළ සියලු දෙනාද ‍පොලීසිය හෝ ආරක්ෂක හමුදා භාරයට ගෙන ප්‍රශ්න කිරීමේ අවස්ථාව ද ඇත. එවැනි දෙයකට සම්බන්ධ පුද්ගලයකු විදේශගතව සිටිත් නම්, ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට ද මෙම නීති යටතේ ප්‍රතිපාදන සලසා තිබේ. එවැනි අවස්ථාවකදී අධිකරණය ක්‍රියා කරන්නේ රටේ යහපත වෙනුවෙන් වන බැවින් එවැනි අවස්ථාවලදී දෙනු ලබන තීන්දු අභියෝගයට ලක්වීම වැනි ගැටලු පැන නගින්නේ ද නැත. හදිසි අවස්ථා යටතේ අත්අඩංගුවට ගැණුනු පුද්ගලයකුට කඩිනමින් ඇප ලබා දිය නොහැකි අතර ඒ සඳහා නීතිපති උපදෙස් ගැනීම අනිවාර්ය කාරණාවක් වේ. මහේස්ත්‍රාත්වරයකුට එහිදී තනි බලයක් හිමි වෙන්නේ එවැනි පුද්ගලයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පමණි. ඒ හැර ඔහුට ඇප ලබා දිමේදී නීතිපති උපදෙස් නොගෙන කටයුතු කිරීමට මහේස්ත්‍රාත්වරයාට ඉඩක් නැත.

ඊට අමතරව ජනාධිපතිවරයා විසින් ක්ෂණිකව පනවන ලද හදිසි අවස්ථා රෙගුලාසි මාසයක කාලයක් පමණ රඳා පවතින්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය වේ. අදාළ මාසය අවසන් වන විට නැවත වතාවක් ජනාධිපතිවරයා විසින් ඒ සඳහා පාර්ලිමේන්තුව කැඳවා ඉල්ලීමක් ඉදිරිපත් නොකළහොත්, පනවන ලද හදිසි අවස්ථා රෙගුලාසි ඉබේම අහෝසි වේ. එසේ ඉල්ලීමක් කරන්නේ නම්, ඒ යටතේ කරන ලද ක්‍රියාවන්හි තත්ත්වය මෙන්ම තවදුරටත් හදිසි අවස්ථා රෙගුලාසි තබා ගත යුත්තේ ඇයි ද යන්න සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. මෙවර රටේ අවශ්‍යතාව මත කිසිදු ඡන්ද විමසීමකින් තොරව හදිසි නීතිය පාර්ලිමේන්තුවේ සම්මත වුවද, ඊට අදාළ මූලික කටයුතු අවසන් වූ පසුවද එය තබා ගන්නේ ද නැද්ද තීරණය කරනු ලබන්නේ පාර්ලිමේන්තුව විසිනි.

හදිසි අවස්ථා රෙගුලාසි යටතේ එවැනි ක්‍රියාපටිපාටියක් අනුගමනය කෙරුණද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එවැන්නක් අනුගමනය නොකෙරෙයි. එය පනතක් වන බැවින් එය දිගට පවත්වා ගැනීම සඳහා අනුමැතියක් අවශ්‍ය නොවේ. රටේ තත්ත්වය සාමාන්‍ය වූ පසුව එය තවදුරටත් තබා ගන්නවාද නැද්ද යන්න තීරණය කළ යුත්තේ බලධාරීන් විසිනි. එමනිසා මේ ආකාරයෙන් ත්‍රස්ත ක්‍රියාවන් සහ එවැනි ක්‍රියාවල නිරත වෙන්නන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා රටේ ප්‍රමාණවත් තරම් නීති ප්‍රතිපාදන පවතින බව පැහැදිලි ය. එය අලුත් තත්ත්වයක් නොවන අතර  රටේ හදිසි තත්ත්වයන් උද්ගත වූ පසුගිය අවස්ථා ගණනාවකදී මෙම පනත ක්‍රියාවට නැංවිණි.

මෙහිදී ඊළඟට අවධානය යොමු කළ යුත්තේ, යෝජිත ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳවයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත රටේ සාමාන්‍ය ජනජීවිතය පවතින අවස්ථාවකදී අවශ්‍ය නොවේ. එවැනි තත්ත්වයක් තුළ මෙම පනත ක්‍රියාත්මක කළහොත් එමගින් සාමාන්‍ය ජනජීවිතයට අනවශ්‍ය බාධා එල්ල වීමට ඉඩ ඇත. රට තුළ සාමකාමී තත්ත්වයක් හට ගත් පසු එය අහෝසි කරන ලෙස ඉල්ලා සිටියේ එබැවිනි. එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ඉදිරිපත් කෙරෙන මෙම ප්‍රතිත්‍රස්ත පනත ඊට වඩා වෙනස් වේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට සාමාන්‍ය නීතිය යටතේ වන නීතිය අහෝසි වන බව අපි ඉහතදී පැහැදිලිව කීවෙමු. එහෙත් මෙම නව පනත මගින් ඒ පුද්ගලයන්ට පුදුමාකාර නිදහසක් හා සහනයක් අත්වෙන බවක් පෙනෙන්නට ඇත. ත්‍රස්තවාදී ක්‍රියාවන්ට අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පාලනය කිරීමකට වඩා, ඔවුන්ට නිදහසේ කටයුතු කළ හැකි වාතාවරණයක් ඇති කිරීමට මෙම පනත ඉදිරිපත් වී ඇති බවක් පෙනෙන්නට ඇත. මෙම පනත ඉදිරිපත් වී ඇත්තේ විවිධ මානව හිමිකම් සංවිධානවල බලවත් ඉල්ලීම පරිදි බව ද පැහැදිලිය. අනෙක් අතට එමගින් ඇති විය හැකි තවත් භයානක තත්ත්වයක් වන්නේ, ඕනෑම අවස්ථාවක වෘත්තීය සමිති ක්‍රියා, වැඩවර්ජන, උද්ඝෝෂණ පෙළපාළි ආදී දේවලුත් මෙම පනත යටතට ගැනීමට කටයුතු කර තිබිමයි. එහිදී සිදුවෙන්නේ ජනතාවගේ

මානුෂීය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. ප්‍රතිත්‍රස්ත පනත මේ වන විට රට තුළ ක්‍රියාත්මක වූවා නම්, ‍පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට මේ ආකාරයෙන් ඇතැම් විට ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදා නොවෙන්නට ද ඉඩ තිබිණි. එමනිසා රටේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත රටට අවශ්‍ය නොවේ නම් එය වෙනම සාකච්ඡා කළ යුතු කාරණාවක් වන අතර ඒ වෙනුවට මෙවැනි සිද්ධි හරහා ප්‍රතිත්‍රස්ත පනත සම්මත කරගැනීමට උත්සාහ දරනවා නම් එය භයානක තත්ත්වයක් වේ. එමෙන් ම ඉදිරියේදී ද රටේ  ඇති වන ඕනෑම ත්‍රස්තවාදී ක්‍රියාවකදී පවතින නීති අනුව කටයුතු කිරීමේ හැකියාව ‍පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට ඇත. එහිදී වැදගත් වෙන්නේ ඒ සඳහා අවශ්‍ය නිවැරිදි නායකත්වයක් ලබාදීමය.

 ගයාත්‍රි ගීගනආරච්චි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.