lakbima.lk

කොටුගොඩ මහනාහිමි ඉල්ලන සෙනට් සභාව

අගමැති ධුරයේ අලුතෙන් වැඩ භාරගත් රනිල් වික්‍රමසිංහ දෙසතියකට ඉහතදී දිනක ගල්කිස්ස ධර්මපාලාරාමයට ගියේය. ඒ එහි විහාරාධිපති ධුරය හොබවන අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස මාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමටය. එම අවස්ථාවේදී මහනාහිමියන් අගමැතිවරයාට වදාළේ  රටේ දියුණුවට යළිදු වරක් සෙනට් සභාවක් පිහිටුවන ලෙසය.

“සෙනට් සභාව” යන වදන දැන් ලංකාවේ ඇත්තේ දේශපාලන විද්‍යාව උගන්වන ‍පොත්වල පිටු අතරේ පමණි. ඒ මීට වසර හතළිස් හතකට ඉහතදී එනම් 1972 දී සෙනට් සභාවේ දොරවල් වැසූ බැවිණි. එතැන් සිට සෙනට් සභාව යන වචනය ඉගැන්නුවේ දේශපාලන විද්‍යාව පාඩම්වලදී පමණි. වසර හතළිස් හතට ඉහතදී අහෝසි කළ සෙනට් සභාව යළි පිහිටුවන්නට යෝජනා කරන්නේ ඇයිදැයි අපි කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගෙන් විමසුවෙමු.

සෙනට් සභාවට පත් කළේ උගතුන්, බුද්ධිමතුන්. ඔවුන් විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් වුණා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අණ පනත්වල අඩුපාඩු හදලා නැවත ඉදිරිපත් කරන්න කියලා උපදෙස් දෙන්න සෙනට් සභාවට බලයක් තිබුණා. රට දියුණු කරන්න එවැනි ප්‍රවීණයන් පිරිසක් සිටිය යුතුයි. නමුත් මේ තියෙන ජන්ද ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවට යන්න පුළුවන් බොරුකාරයන්ට, මැරයන්ට, සල්ලිකාරයන්ට විතරයි. එවැනි අය පාර්ලිමේන්තු ගිහින් කරපුවා කියපුවා අප දැක තිබෙනවා. පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමැතිවරු රැසක් සාමාන්‍ය පෙළවත් සමත් නෑ කියන තොරතුරු අප මාධ්‍ය මගින් දුටුවා. ඉතින් එවැනි අයද හොඳට විභාග පාස් කරලා පරිපාලන ක්ෂේත්‍රයෙන් පත්වන අමාත්‍යාංශ ‍ලේකම්වරුන්ට උපදෙස් දෙන්නේ. එවැනි අයගෙන් උපදෙස් ගෙන රට හදන්නේ කොහොමදැයි මහානාහිමියෝ වදාළෝය.  මහනාහිමියන් වදාළ මේ කාරණා අගමැතිවරයා පිළිගත්තාදැයි අපි උන්වහන්සේගෙන්ම ඇහුවෙමු.  අගමැතිවරයා මේ කාරණා සාවධානව අසාගෙන සිටියා. මම මගේ අදහස කීවා අගමැතිතුමා පමණක් නොවේ මම හැමදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ මේ යෝජනාව  ක්‍රියාත්මක කරන්න කියලා” මහනාහිමියෝ පවසති.

කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් නැවත යෝජනා කරන සෙනට් සභාව ලංකාවේ මුලින්ම ක්‍රියාත්මක කෙළේ  සෝල්බරි ව්‍යවස්ථාව යටතේය. ඒ එක්දාස් නවසිය හතළිස් හතේදීය. ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට සෝල්බරි සාමි ගේ සභාපතිත්වයෙන් යුත් ජේ. ඇන්. රීස් හා එෆ්. ජේ. බරෝස්  යන සාමාජිකයන්ගෙන් සැඳුම් ලත් කොමිසමක් යටත් විජිත ‍ලේකම්  කාර්යාලයෙන් පත් කෙරුණි. එම කොමිසමේ වාර්තාව එළි දැක්කේ එක්දහස් නවසිය හතළිස්  පහේ ජූලි එකොළොස් වැනිදාය. සෝල්බරි කොමිසමේ යෝජනාව වූයේ පාර්ලිමේන්තුව දෙකොටසක් බවට පත් කිරීමටය. ඒ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා උත්තර මන්ත්‍රී මණ්ඩලය යනුවෙනි. උත්තර මන්ත්‍රී මණ්ඩලය යනුවෙන් හැඳින්වූයේ සෙනට් සභාවය.

සෙනට් සභාවේ සාමාජිකයන් ගණන තිහකි. ඉන් පහළොවක් පත් කෙරෙන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙනි. ඉතිරි පහළොස් දෙනා පත් කරන්නේ අග්‍රාණ්ඩුකාරවරයාය.

මෙසේ උත්තර මන්ත්‍රී මණ්ඩලයට නම් කරන මන්ත්‍රීවරු ආවාට ගියාට පත් කළ නොහැකිය. ඔවුන්ගේ සුදුසුකම් සෝල්බරි ව්‍යස්ථාවේ සඳහන්ව තිබුණේ මෙසේය.

“සෙනට් සභාවට ඇතුළත්වීමට සපුරා තිබිය යුතු අවම වයස අවුරුදු තිස් පහකි. තවද විශිෂ්ට රාජ්‍යත්වයත් කළා වූ අයගේ අධ්‍යාපනය. නීතිය, වෛද්‍ය කර්මය, විද්‍යාව, ඉංජිනේරු කර්මාන්තය, බැංකු පැවැත්ම, වෙළෙඳාම, කර්මාන්ත හෝ කෘෂිකර්මය යන මේ කිසිවක් පිළිබඳ කීර්තියක් උහුලතියි. ඒ ඒ කාර්යය හෝ වෘත්තීය පිළිබඳ නියෝජිතයන් තම අභිමතය පරිදි තෝරා ගත් අය හෝ විය යුතුය.

සෙනට් සභාවේ මන්ත්‍රීවරුන්ටද කැබිනට් මණ්ඩලය නියෝජනය කිරීමේ වරම් හිමි වී තිබුණි. කැබිනට් මණ්ඩලය සඳහා පත් කරන අයගෙන් ඇමැතිවරුන් දෙදෙනකුට නොඅඩු ගණනක් සෙනෙට් සභිකයන් විය යුතු බවට සෝල්බරී ව්‍යවස්ථාවේ සඳහන්වී තිබුණි. අධිකරණ ඇමැතිවරයා අනිවාර්යයෙන්ම  සෙනෙට් මණ්ඩලයෙන් පත්කිරීමේ සම්ප්‍රදායක් තිබුණි. ඒ මහජන ඡන්දයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට පත්වන දේශපාලනඥයන්ට ඡන්ද දායකයන් සමග ඇති බැඳීම් නිසා අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් විය හැකි යැයි එකල සිටි රාජ්‍ය නායකයන් සිතු බැවිනි.

එකල මුදල් ඇමැතිවරයා සෙනෙට් සභාවෙන් පත්කරන සම්ප්‍රදායක් නොවීය. ඔහු හැමදාමත් පත්වූයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙනි. නමුත් පනස් දෙකේ ජෝන් කොතලාවලගේ ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා ලෙස මුලින් පත්කෙරුණේ සෙනෙට් මන්ත්‍රී ඔලිවර් ගුණතිලකය. නමුත් ඔහුට අයවැයක් ඉදිරිපත් කිරීමට ඉඩ නොලැබුණි.

සෝල්බරි ව්‍යවස්ථාව යටතේ මෙසේ ස්ථාපිත කරන ලද සෙනෙට් සභාව හෙවත් උත්තර මන්ත්‍රී මණ්ඩලය සඳහා මන්ත්‍රීවරුන් පත්කර ගැනීමේ මුල්ම ඡන්දය පැවැත්වූයේ එක්දහස්  නවසිය හතළිස් හතේ ඔක්තෝබර් දාසය වැනිදාය. මේ සඳහා තිස් දෙනෙකුගේ  නම් යෝජනා විය. ඉන් පහළොස් දෙනෙකු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ  මන්ත්‍රීවරුන්ගේ  අභිමතය පරිදි තෝරා ගැනුණි. ඉතිරි පහළොස් දෙනා පත්ක‍ලේ අග්‍රාණ්ඩුකාරවරයාගේ අභිමතය පරිදිය. මුල්ම සෙනෙට් මණ්ඩලයේ හුන් ප්‍රකට අය අතරින් ආචාර්ය  එල්. ඒ. රාජපක්ෂ, සර් මොහමඩ් මාකන් මාකර්, චිත්තම්පලම් ඒ. ගාඩිනර්, සර් ඔලිවර් ගුණතිලක (පසුව මුල්ම සිංහල අග්‍රාණ්ඩුකාරවරයා) සර් සිරිල් ද සොයිසා, ජස්ටින් කොතලාවල, ආර්. නඩේසන්, බාන්ස් රත්වත්ත දිසාව (සිරිමාවෝ බණ්ඩාරනායකගේ පියා) ඇඩ්ලින් මොලමුරේ (මුල්ම මන්ත්‍රීවරිය) යන අය කැපී පෙනුණහ.

උත්තර මන්ත්‍රී මණ්ඩලය රැස් වූයේ ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට අනුව කොළඹ කොටුවේ ගොඩනැගුණු දෙමහල් අලංකාර ගොඩනැගිල්ලකය. එය පිහිටා තිබුණේ අග්‍රාණ්ඩුකාරවරයාගේ නිල නිවසත් (දැන් ජනාධිපති මන්දිරය හෙවත් රජ ගෙදර) කොළඹ වරායත් අතරය. වර්තමානයේ ජනරජ ගොඩනැගිල්ල ලෙස හඳුන්වන මේ අලංකාර මැදුරේ පවත්වාගෙන  යන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයයි. එකල මේ ගොඩනැගිල්‍ලේ මත්පැන්හලක්ද තිබුණි. සෙනෙට් මන්ත්‍රීවරු තම හිතමිතුරන්  සමග මධුපානයට මේ බිම නිතර තෝරා ගත්හ.

උත්තර මන්ත්‍රී මණ්ඩලයේ මුල්ම රැස්වීම පැවැත්වූයේ එක්දහස් නවසිය හතළිස් හතේ නොවැම්බර්  දොළොස්වැනිදාය. එහි මුල්ම සභාපති සර් ජෙරාඩ් විජේකෝන්ය. එම සභාපති ධුරය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක පදවියට සමානය. උත්තර මන්ත්‍රී මණ්ඩලයේ මුල්ම උප සභාපති පෙරී සුන්දරම්ය.

උත්තර මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන්ගේ නිල කාලය අවසන් වූයේ අමුතු ක්‍රමයකටය. ඔවුන්ගේ නිලකාලය තීරණය කෙරුණේ කුසපත් ඇදීමෙනි.  ඒ අනුව මන්ත්‍රීවරුන් දහ දෙනෙකු අවුරුදු හයකටද තවත් දහදෙනෙකු අවුරුදු හතරක් සඳහාද ඉතිරි දහදෙනාට අවුරුදු දෙක බැගින්ද නිලකාල තීරණය කෙරුණි.

ලොව මුල්ම අගමැතිනිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක එක්දාස් නවසිය හැටේ පත්වූයේද ජන්දය ඉල්ලා නොව සෙනෙට් සභාවෙනි. ඒ පත්වීම අසාමාන්‍ය සිද්ධියකි. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ එතෙක්  පත්වූ අගමැතිවරුන් පස්දෙනාම  නියෝජනය කළේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයය.

උත්තර මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් සභාව අහෝසි කෙරුණේ එක්දහස් නවසිය හැත්තෑ එකේ ඔක්තෝබර් දෙවැනිදා ඉදිරිපත් කරන ලද අංක තිස්හය දරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන  පනත මගිනි. ඉක්බිතිව එක්දහස් නවසිය හැත්තෑ දෙකේ මැයි විසිදෙවැනිදා සිට ලංකාවේ ක්‍රියාත්මක  වූවේ ජනරජ ව්‍යවස්ථාවය. ඒ ව්‍යවස්ථාව  යටතේ පාර්ලිමේන්තුවට සියලු මන්ත්‍රීවරුන් පත්කර ගත්තේ සර්වජන ජන්දයෙනි.

කෙසේ නමුත් හැත්තෑ හතේදී බලයට පත් ජේ. ආර්. ජයවර්ධන විධායක ජනාධිපතිධුරය  සමග නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නේය. එම ව්‍යවස්ථාව යටතේ සමානුපාතික ජන්ද ක්‍රමයෙන් මන්ත්‍රීවරුන් එකසිය අනූ හයක් ජන්දයෙන්ද විසිනව දෙනෙකු ජාතික ලැයිස්තුවෙන්ද පත්කිරීමට යෝජනා විය. ජාතික ලැයිස්තුවේ පූර්වාදර්ශය වූයේ හතළිස් හතේදී හඳුන්වාදුන් සෙනෙට් සභාවය.

උගතුන් හා බුද්ධිමතුන්ට මැති සබයේ නියෝජනය දීමට හඳුන්වා දුන් ජාතික ලැයිස්තුව මුලින්ම ක්‍රියාත්මක වූයේ අසූනවයේ මහා මැතිවරණයේදීය.

එහෙත් ජාතික ලැයිස්තුවේ අරමුණු  අන්තිමේදී  වතුරේ ගියේ මර්වින් සිල්වලාත් චන්ද්‍රිකා යුගයේදී  ජාතික ලැයිස්තුවෙන් පත් වූ නිසාය.

කෙසේ නමුදු මේ නැවත වරක් සෙනට් මණ්ඩලය පත් කළ යුතු බවට යෝජනා වූ මුල්ම අවස්ථාව නොවන්නේය. මහින්ද රාජපක්ෂ  ජනපතිකම් කළ කාලයේ  කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා වරක් කීවේ උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුම් දීමට සුළු ජාතීන් නියෝජනය වන පරිදි සෙනට් මණ්ඩලයක් පිහිටුවීමට රජය තීරණය කර ඇති බවය. නමුත් මහින්ද රාජපක්ෂ යුගයේදී එම යෝජනාව ක්‍රියාත්මක වූයේ නැත. හැරත් එවැනි යෝජනාවන් ක්‍රියාත්මක කිරීමට  නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුය. ඒ අතරේ සමහරු ප්‍රශ්න කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසිය විසිපහක් මෙකල රටට බරක් වී තිබියදි තවත් මන්ත්‍රීවරුන් කුමටද යනුවෙනි.

ඔය කතාවම කියලා මගෙනුත් ප්‍රශ්න කරලා ලිපියක් මටත් එවලා තිබුණා. නමුත් ඔවුන්ට සෙනට් සභාවේ අගය තේරෙන්නේ නෑ. අනෙක මේකට මහ පිරිසක් පත්කරන්නේ නෑ. මගේ යෝජනාව වන්නේ අවුරුදු තිස් පහක් නොවේ. අවුරුදු හතළිහත් හැටත් අතරේ සිටින උගතුන් බුද්ධිමතුන් සෙනට් සභාවට පත් කළ යුතුයි කියලා. රජ දවසේත් අවුරුදු පනහ, හැට අතරට කීවේ ප්‍රඥා දශකය කියලා මහනාහිමියන් වැඩිදුරටත් වදාළෝය.

මිහිරි ෆොන්සේකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.