lakbima.lk

ජිනීවා දැලි පිහියෙන් කිරි කෑම

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති යුද අපරාධ චෝදනා පිළිබඳව සාකච්ඡා කෙරෙන ජිනීවා සමුළුවට සම අනුග්‍රහ දැක්වීමෙන් ඉවත් වීමට ඇති ඉඩකඩ පිළිබඳව සොයා බලන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා සිය නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි පසුගිය දිනවල ප්‍රකාශ විණි. එමෙන්ම ලබන 22 හා 23 දිනවල ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ජනාධිපතිවරයාගේ නියෝජිතයන් තිදෙනෙකු යැවීමට සූදානම් කර ඇති බවත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ගැටය ලිහා ගැනීම පිළිබඳව ඔවුන් එහිදී සාකච්ඡා කරනු ඇති බවත්, ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. එහෙත් බොහෝ දෙනා පවසන්නේ එය ඉතා බැරෑරුම් කටයුත්තක් වනු ඇති අතර, ඒ නිසා ශ්‍රී ලංකාවට අනාගතයේදී විවිධ සම්බාධකවලට ලක්වීමේ අවදානමක් ද මතුවනු ඇති බවයි.  මේ පිළිබඳව අප කළ විමසුමකදී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, නීතිඥ මේනක හරන්කහ මහතා ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස් ඇසුරෙන් මෙම ලිපිය සැකසිණි.

එක්සත්  ජාතීන්ගේ  මානව  හිමිකම්  කවුන්සිල  සැසිවාරය වාර්ෂිකව පැවැත්වීම සාමාන්‍ය තත්ත්වයකි. මේ කවුන්සිලයේ කාර්යභාරය  වන්නේ, ශ්‍රී ලංකාව පිළිබඳව පමණක් නොව ලොව තවත් බොහෝ රටවල්  සම්බන්ධයෙන් වාර්තා වී  ඇති  මානව  හිමිකම්  උල්ලංඝනය වීම්, අන්තර්ජාතික මානවවාදී නීතිය,  යහපාලනය වැනි අංග ලක්ෂණ උල්ලංඝනය වීම් සහ ඒවා උල්ලංඝනය වීම සම්බන්ධයෙන් ඔවුන් දැනටමත් දක්වා තිබෙන වගකීම් සම්පූර්ණ කර ඇති ආකාරය පිළිබඳව කරුණු සොයා බලා, ඒවායේ ප්‍රගතිය මෙන්ම තවදුරටත් ඉටුකළ යුතු කාරණා පිළිබඳව සාකච්ඡා කිරීමයි. එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය යටතේ ස්ථාපනය කර ඇති එක් ආයතනයක් වන්නේ මානව හිමිකම් කවුන්සිලයයි.

මේ මොහොතේ මෙහි මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වැදගත්කම කුමක්ද යන්න ගැන ඊළඟට අවධානය යොමු කළ යුතුය. එහිදී වැදගත් කාරණා දෙකක් පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. එනම් එකක් වන්නේ, මේ අවස්ථාව වන විට ශ්‍රී ලංකාව යම්කිසි ආකාරයකට වගකීමකට හා වගවීමකට භාජනය වී ඇත්තේ, පසුගිය 2009 දී අවසන් කෙරුණු යුද්ධයෙන් පසුව ලංකාව අන්තර් ජාතික මානවවාදී නීතිය උල්ලංඝනය කර තිබෙනවා යන්න සම්බන්ධයෙනි. එමෙන්ම මෙරට රජය විසින් මානව හිමිකම් උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කර තිබෙනවා  යනුවෙන්ද චෝදනා එල්ල වී ඇත. මේ චෝදනා සම්බන්ධයෙන් ලංකාව මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳවද අවධානය යොමු කිරීමද මෙහිදී වැදගත් වේ.

එහිදී වැදගත් වෙන කාරණා  දෙකක්  ඇත. එනම්  දෙදහස්  පහළොවේ සැප්තැම්බර්වලදී, විශේෂයෙන් එතෙක් පැවැති රජය වෙනස් වී නව රජයක් පත්වී, එහි නියෝජිතයන් මානව හිමිකම් කවුන්සිලයට ගිය අවස්ථාවේදී ඇති කර ගත් විශේෂ එකඟතාවක් වන්නේ, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවලියට ශ්‍රී ලංකාව සම අනුග්‍රහ දැක්වීමට  කැමැත්ත ප්‍රකාශ කිරීමයි. ඒ මගින් හෙළිදරව් වන්නේ, ඇමෙරිකාව ඉදිරිපත් කළ එම යෝජනාව මගින් ඉදිරිපත් කර ඇති කරුණු අනුගමනය කිරීමට සහ පිළිපැදීමට එකඟතාව  පළ කරන බවයි. එම යෝජනාවලියෙන් ඉදිරිපත් වූ එක් කාරණාවක් වන්නේ, ඉකුත් යුද සමයේදී මෙරට සිදුවූවා යැයි පැවැසෙන යුද අපරාධ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අන්තර්ජාතික මට්ටමේ විශේෂ අධිකරණයක් ලංකාවේ  ස්ථාපිත කළ යුතු බවයි. එනම් මෙරට නීතිඥයන් හෝ මෙරට විනිසුරුවරුන්ගෙන් සමන්විත අධිකරණ පද්ධතියක් හරහා නොව, ජාත්‍යන්තර මට්ටමෙන් පිළිගත් විශේෂඥවරුන්ගෙන් සමන්විත අධිකරණ පද්ධතියක් මෙරට ස්ථාපිත කර, මේ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා, වැරදිකරුවන් වෙතොත් ඔවුන්ට දඬුවම් පැමිණ යුතු බවයි.

එමෙන්ම මෙම යෝජනාවලියෙන් පසු දෙදහස් පහළොවේ ඔක්තෝබර් මස පළමුවැනිදා, මානව හිමිකම් කවුන්සිලය මගින් සම්මත කරන යෝජනාවලියක් ද ඇත. 30/1 යෝජනාවලිය ලෙස සැලකෙන්නේ එම යෝජනාවලියයි. ශ්‍රී ලංකාව මේතාක් දුරට සාධනීය ලෙස අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රශංසාව පළ කරන අතරම තවදුරටත් වගවිය යුතු කාරණා පිළිබඳව එම යෝජනාවලියෙන් දක්වා තිබේ. එහිදී ඉහත කී අධිකරණ පද්ධතිය ස්ථාපිත කිරීමට අමතරව, යුද ගැටුම්වලට මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් රජයක් ලෙස ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂයෙන් සඳහන් කර ඇත. එනම් ඔවුන් නිසි පරිදි නැවත පදිංචි කිරීම, ඔවුන්ගේ ඉඩම් නැවත මුල් අයිතිකරුවන්ට ලබාදීම, තවදුරටත් මෙරට හමුදාව විසින් පරිපාලන කටයුතු මෙහෙය වන ප්‍රදේශවල පරිපාලන කටයුතු ප්‍රාදේශීය කාර්යාලවලට භාරදීම, යටිතල පහසුකම් වර්ධනය කිරීම යනාදී කාරණා පිළිබඳව එහිදී වැඩි අවධානයක් යොමු කර ඇත. එමෙන්ම වරදකරුවන් ලෙස හඳුනාගත් පුද්ගලයන්ට දඬුවම් නියම කිරීම, පුද්ගලයන් අතුරුදන් කිරීම, ජාතීන්ට හා ආගම්වලට විවිධ අවස්ථාවලදී එල්ල වූ තර්ජන පිළිබඳව පරීක්ෂණ පවත්වා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද එහි සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත්, දෙදහස්  දහහතේ මෙම කවුන්සිලය රැස්වූ අවස්ථාවේ, ලංකාව සම්බන්ධයෙන් එක්තරා ආකාරයක අනතුරු ඇඟවීමක් කළ බව ද අපි මෙහිදී සිහියට නඟා ගත යුතු වේ. එනම් යෝජනාවලින්  ඉදිරිපත්  කරන  ලද  කාරණා  සම්බන්ධයෙන්  අප ගත් ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ප්‍රමාණවත් නොවන බව දක්වමිනි. විශේෂයෙන්ම යුද අපරාධ චෝදනා පිළිබඳව සහ ඊට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම යන කාරණාවලදී ලංකාව කටයුතු කළ ආකාරය ගැන සෑහීමකට පත්විය නොහැකි බව එහිදී ප්‍රකාශයට පත්විය. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ අපේ රට මේ සම්බන්ධයෙන් නිසි පරිදි  කටයුතු  නොකළහොත්, අන්තර් ජාතික මට්ටමේ අධිකරණ ක්‍රියාවලියක් හරහා ඊට මැදිහත් වීමේ හැකියාව තිබෙන බවයි.

ඕනෑම මානව හිමිකම් කඩවීමකදී මුල්තැන ලබා දෙන්නේ දේශීය යාන්ත්‍රණයටයි. දේශීය වශයෙන් මේ සඳහා ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගන්නා අතරේ ඒ සඳහා ආධාරයක් හෝ උපකාරයක් අවශ්‍ය වේ නම්, එය පමණක් ලබා දීම මෙවැනි අවස්ථාවක සාමාන්‍ය තත්ත්වයයි. එහෙත් දේශීය වශයෙන් ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවේ නම් හෝ ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාද වෙන්නේ නම්, එවැනි අවස්ථාවක අන්තර්ජාතික මට්ටමින් ඒ සඳහා මැදිහත් වීමට ඇති ඉඩකඩ අපට වළක්වා ගැනීමටද හැකියාවක් නැත. දෙදහස් දහහතේදී ඔවුන් අපට අනතුරු ඇඟවීම් කරන ලද්දේ එම පදනමේ පිහිටමිනි. එහිදී ලංකාව ප්‍රකාශ කරන ලද්දේ, මේ තාක් දුරට  ගෙන ඇති  ක්‍රියාමාර්ග  සියල්ල  ගෙන ඇත්තේ සහ ඉටු කරමින් සිටින්නේ, අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවයි. එහි සඳහන් ප්‍රතිපාදනවලට අනුව බවයි. ඒ අනුව උදාහරණයක් ලෙස මේ පිළිබඳව වගවිභාග කිරීම අන්තර් ජාතික මට්ටමේ අධිකරණ පද්ධතියක් පිහිටුවිය යුතු නම් එයද මෙරට පාර්ලිමේන්තු පනතක් හරහා සම්මත කරගත යුතු බව මෙහිදී පෙන්වා දෙන ලදී.

කෙසේ වෙතත් මේ වන විට අපට සිදු වී තිබෙන්නේ  මෙම ගැටලුව සම්බන්ධයෙන් අලුත් තත්ත්වයකට මුහුණ දීමටයි. එනම් ජනාධිපතිවරයා පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණේ පසුගිය  යුද සමයේ අපේ හමුදා නිලධාරීන් අතින් යුද අපරාධ සිදු වී නැතැයි යන නිගමනයට එළඹී, ඒ අනුව  ඇමෙරිකාව  විසින්  ඉදිරිපත් කරනු ලැබූ ලංකාව සම අනුග්‍රහ දක්වන ලද යෝජනාවලියට තවදුරටත් පාර්ශ්වකරුවෙක් ලෙස සිටීමේ අවශ්‍යතාවක් ලංකාවට නැතැයි යනුවෙනි. දැන් ලංකාව සූදානම් වෙන්නේ, එම සම අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වීමට හැකියාවක් ඇත්දැයි සොයා බලා ඒ අනුව කටයුතු කිරීමටය. මෙය එක්තරා ආකාරයකින් යම් තිගැස්මක් ඇති කරවන කාරණයක් බවට පත්වීමට ඉඩ ඇත.  එබැවින්  අපි  ඇත්ත  වශයෙන්ම  එවැනි පියවරකට එළැඹෙන්නේ නම් එය ඉතා ප්‍රඥාගෝචරව මෙන්ම අන්තර්ජාතික මට්ටම්වලට අනුකූලව ගත යුතු ක්‍රියාමාර්ගයක් වේ. එනම් අපි මෙහිදී වඩාත් අවධාරණයෙන් කියා සිටිය යුතුවෙන්නේ දේශීය යාන්ත්‍රණයක්  තුළ මේ සම්බන්ධයෙන් ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.  නමුත් ඇමෙරිකානු යෝජනාවලියට සම අනුග්‍රහ දැක්වීමෙන් අප ඉවත් වන බව සෘජුව ප්‍රකාශ කිරීම මේ අවස්ථාවේ එතරම් ප්‍රඥාගෝචර නොවේ. අන්තර්ජාතික නීතිය අනුව බලන කල එය එතරම් ප්‍රඥාගෝචර නොවන බව අපට පැහැදිලි වේ. අනෙක් අතට අපි මෙම කාරණාව අමතක කොට ඉන් ඉවත් වීමට සූදානම් වුවත් ඔවුන් මෙම යෝජනාව ඉවත් කිරීමට කිසිදු සූදානමක් තිබෙන බවක් හෝ පෙනෙන්නට නැත. ඔවුන් දෙදහස් දහහතේ ලංකාවට යළි අනතුරු ඇඟවීමේ සිට, එංගලන්තය විසින් තවදුරටත් ලංකාවේ කටයුතු දෙස බලා සිටිනවා යනුවෙන් ප්‍රකාශ කිරීම ආදියෙන් අපට පැහැදිලි වෙන්නේ, ඔවුන් එම යෝජනාව ඉවත් කර  ගැනීමට සූදානමක් නැති බවයි.

එමනිසා මෙම ගැටලුවට විසඳුම් සෙවිය යුත්තේ ඉතාම ප්‍රවේශමෙනි. එනම් නීතිමය වශයෙන් මෙන්ම අප සතු අන්තර්ජාතික බැඳියාව යන කාරණා දෙකම මෙහිදී සැලකිල්ලට ගත යුතුය. මන්දයත් අන්තර්ජාතික සබැඳියාවේදී මෙය දේශීය වශයෙන්ම විසඳා ගත හැකි ගැටලුවක් බව එකහෙළා ප්‍රකාශ කරමින් ඔවුන් සමඟ තරහ වීමෙන් විසඳා ගත හැකි කාරණාවක් නොවන නිසාය. විශේෂයෙන්ම මානව හිමිකම් උල්ලංඝනය වීම යන කාරණාවේදී රටක ස්වෛරීභාවයට පවා සීමා එල්ල විය හැකියි. එවන් අවස්ථාවලදී අන්තර්ජාතික මානව හිමිකම් සංවිධානවලට මේ ආකාරයෙන් දේශීය යාන්ත්‍රණයට මැදිහත් වීමේ හැකියාව පවතින බැවිනි. ඒ අනුව මෙය දැලි පිහියෙන් කිරිකනවා වැනි කාරණාවක් වන බැවින්, මෙරට ප්‍රශ්න විසඳනවා මෙන් කටයුතු නොකර ඔවුන් ඉදිරිපත් කර ඇති නිර්දේශවලට දේශීය වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග බොහොමයක් ගෙන ඇති බව පෙන්වා දීම මෙහිදී හොඳම විසඳුම වන බව මාගේ හැඟීමයි.

සටහන - ගයාත්‍රි ගීගනආරච්චි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.