lakbima.lk

ජිනීවා මර උගුල

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති යුද අපරාධ චෝදනා පිළිබඳව සාකච්ඡා කෙරෙන ජිනීවා සමුළුවට සම අනුග්‍රහ දැක්වීමෙන් ඉවත් වීමට ඇති ඉඩකඩ පිළිබඳව සොයා බලන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි පසුගිය දිනවල ප්‍රකාශ විය. ඒ පුවත ඇසීමත් සමගම ඇතැමුන් කියා සිටියේ එය ඉතා බැරෑරුම් කටයුත්තක් වනු ඇති අතර, ඒ නිසා ශ්‍රී ලංකාවට අනාගතයේදී විවිධ සම්බාධකවලට ලක්වීමේ අවදානමක්ද මතුවනු ඇති බවයි. මේ අතරේ එම යෝජනාවල එක් නිර්දේශයක් ලෙසින්, මෙරට සංහිඳියා කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට අදාළ යෝජනාවක් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවට තොරතුරු පළවිය. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර දේශපාලන හා ප්‍රතිපත්ති විශ්‍ලේෂක මොහාන් සමරනායක දැක්වූ අදහස් ඇසුරින් මෙම ලිපිය සැකසිණි.

ජි නීවා නගරය මූලස්ථානය කොටගත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, දෙදහස් පහළොවේ ඔක්තෝබර් පළමුවැනිදා, සම්මත කරගත් යෝජනාවෙන් ඉවත් වීමට ජනාධිපතිවරයා අදහස් කර ඇති බවත්, ඉන් ඉවත්වීමට ඇති ඉඩකඩ සොයා බලන ලෙස තම නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත්, පසුගිය සතියේ ජනමාධ්‍යවල පළවී තිබිණි. ජනාධිපතිවරයාගේ අදහස වන්නේ, අදාළ යෝජනාව ශ්‍රී ලංකාවට අහිතකර හා අනර්ථකාරී වන අතර ඒ යෝජනාවට පදනම් වී ඇති යුද අපරාධ චෝදනාව අසත්‍ය බවට තීරණය කර ඇති බැවින්, මෙම තීරණය ගැනීමට සූදානම් වන බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා මෙම ජිනීවා යෝජනාවෙන් ඉවත්වීමට උත්සාහ ගන්නේ එය රටට අනර්ථයක් වන හෙයිනි. ජනාධිපතිවරයාගේ අභිලාෂය අවංක එකක් විය හැකිය. එහෙත් ඒ ගැන කතා කිරීමේදී සිහියට නැගෙන්නේ, අපේ ජන ව්‍යවහාරයේ පවතින උපහැරණයි. එනම් මෙම ක්‍රියාව, “ආඳා යවා වලපත අල්වා ගන්නා සේ”, ගිය නුවණ ඇතුන් ලවා හෝ නැවත අද්දවා ගත නොහැක” යන කියමන්වලට වඩාත් සමීප වන බවයි. එනම්, මෙම උපහැරණ ව්‍යවහාර වන්නේ, මුලදී කළ යුතු කාර්යයක් අවසන් අවස්ථාවේ කිරීමෙන් ප්‍රතිඵලයක් නොවන බව ප්‍රකාශ කිරීම සඳහාය.

මම දකින ආකාරයට ජනාධිපතිවරයාගේ මෙම තීරණයද එවැනි දෙයක් බඳුය. මන්ද යත්, ජිනීවා යෝජනාව මෙරට ස්වාධීනත්වයට, සංහිඳියාවට බරපතළ අනතුරක් බවට විවාදයක් නැත. එහෙත් එම යෝජනාවෙන් නිර්දේශ කළ බොහොමයක් දේ දැනටමත් වර්තමාන ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර අවසන් බැවිනි. මෙම යෝජනාව අනර්ථයක් නම්, ඊට සමඅනුග්‍රහ දැක්වීමට තීරණය කිරීමට පෙර හෝ, එය වෙනත් කවුරුන් විසින් හෝ ගත් තීරණයක් නම් අදාළ තීරණය ගත් වහාම ඉන් ඉවත් වීමට කටයුතු කළ යුතුව තිබිණි. මෙහි පසුබිම ගෙන බැලුවහොත්, අදාළ යෝජනාව ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වෙන්නේ, එකී බලවත් රටවල් විසින් වසර ගණනාවක් සැලසුම් කරන ලද්දක ප්‍රතිඵලයක් ලෙසිනි.

පසුගිය ආණ්ඩුව ඊට එකහෙළා ප්‍රතික්‍ෂේප කරමින් සිටිය අතර වර්තමාන ආණ්ඩුව එම යෝජනාව ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගෙන තිබිණි. එමෙන්ම පසුගිය දෙදහස් දහහතේ ඔක්තෝබර් මාසයේදී එංගලන්තයේ සාම මන්ත්‍රී මණ්ඩලයේ ස්වාමිවරයෙකු විසින්, ස්ථිරවම ප්‍රකාශ කරන ලද්දේ, මෙරට හමුදාව එල්ටීටීඊයට විරුද්ධව කළ සටනේදී සිවිල් වැසියන් හතළිස් දහසක් ඝාතනය වූ බව සනාථ කරවන කිසිදු සාක්ෂියක් නැති බවයි. ඔහු මෙම ප්‍රකාශය කරන්නේ, ඊට අදාළව ඇති සංඛ්‍යා ‍ලේඛන පදනම් කරගනිමිනි. පසුගිය සතියේදී පවා ඔහු ප්‍රකාශ කර තිබුණේ, ශ්‍රී ලංකාවට එරෙහි මෙම යෝජනාව ඉවත් කරගත යුතුව ඇති බවයි. එහෙත් එවැනි තත්ත්වයක් තුළදී පවා ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉවත් කර ගැනීම වෙනුවෙන් කිසිදු පියවරක් ගන්නට තීරණය කර තිබුණේ නැත. එපමණක් නොව  ඉන් නිර්දේශ කරන ලද බොහොමයක් දෑ මෙරට ක්‍රියාවට නැංවීමටද කටයුතු කෙරිණි. දැන් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සැරසීම, “ආඳා යවා තබා වලපත ගත්තා” වැනි ක්‍රියාවක් වන්නේ එබැවිනි.

මෙම යෝජනාවේ යහපත හෝ අයහපත ගැන සලකා බැලිය යුතුව තිබුණේ, ඒ සඳහා අනුමැතිය දීමට ප්‍රථමයෙනි. එසේත් නොමැතිව ජනාධිපතිවරයා නොදැන අනුමැතිය දී තිබුණේ නම්, ඒ බව දැනගත් වහාම ඊට එරෙහිව කටයුතු කිරීමට අවස්ථාව තිබිණි. මෙම යෝජනාව හැඳින්වෙන්නේ, “ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය” යන්නයි. අනෙක් අතට ශ්‍රී ලංකාවට එරෙහි එම යෝජනාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන්නේ, ඇමෙරිකා එක්සත් ජනපදයයි. එහෙත් පසුගිය වසරේ ජූනි මාසයේදී ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙන්නේ, එම කවුන්සිලය “දේශපාලන අගතියේ වැසිකිළි වළක්” යැයි බරපතළ චෝදනාවක්ද කරමිනි. යෝජනාව ගෙන ආ ඇමෙරිකාවද එම කවුන්සිලයට චෝදනා කරමින් ඉන් ඉවත් වෙද්දීත්, ශ්‍රී ලංකාව තමන්ට එරෙහිව ඇති යෝජනාව සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත්තේද නැත.

කෙසේ වෙතත් මෙහිදී මතුවන ඊළඟ ගැටලුව වෙන්නේ, ඉන් ඉවත් වීමට ජනාධිපතිවරයාට සත්‍ය වශයෙන්ම වුවමනාවක් ඇතත්, එය ක්‍රියාවට නැංවිය හැකි දෙයක්ද යන්නයි. එහි පැති කිහිපයක් ඇත. එකක් නම්, මෙම ආණ්ඩුව නිර්මාණය වෙන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයාගේ හවුලෙනි. එසේ තිබියදී ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට පමණක් තනිව එම තීරණය ගත හැකිද යන ගැටලුව මෙහිදී මතුවේ. එය වඩාත් තහවුරු කෙරෙන අවස්ථාවක් වෙන්නේ, එම යෝජනාව තුළ වන නිර්දේශ අතුරෙන් එකක් වන සත්‍ය හා සංහිඳියා කොමිෂන් සභාවක් මෙරට ස්ථාපිත කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් අගමැතිවරයා විසින් ඉදිරිපත් කිරීමයි. අගමැතිවරයාගේ පාර්ශ්වය මෙම යෝජනාව අත්හරින්නට කැමැත්තක් නොදක්වන බව ඉන් පැහැදිලිය.

එපමණක් නොව, ජනාධිපතිවරයා බලා සිටියදීම මෙම යෝජනාවේ නිර්දේශවලින් බොහොමයක් දැනටමත් අපේ රටේ ක්‍රියාත්මක කර අවසන්ය. අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය, වන්දි ගෙවීමේ කොමිසම, ආරක්ෂක හමුදාව අඩපණ කිරීමේ ක්‍රියාදාමයන්, හොර රහසේ විවිධාකාරයෙන් ක්‍රියාවට නැංවීම ආදිය ඉන් බොහොමයකි. සත්‍ය හා සංහිඳියා කොමිසම එහි තවත් නිර්දේශයකි. මේ සියල්ල බැලූ බැල්මට ඉතා යහහපත් හා සුන්දරය. එහෙත් එහි වන යටි අරමුණු බොහෝය. එනම් ශ්‍රී ලංකාව අස්ථාවර කිරීම, මේ රටේ ආරක්ෂක හමුදා දුබල කිරීම, නැවත වරක් යුද්ධයක් ඇති වුවහොත් ඊට මුහුණ දිය නොහැකි ආකාරයෙන් රාජ්‍ය යාන්ත්‍රණය අඩාල කිරීම ආදිය ඉන් ප්‍රධානය. බලවත් රටවලට අපේ වැනි රටවල් පහසුවෙන් ගොදුරු කර ගත හැකි වෙන්නේ එවිටය.

එමෙන්ම මෙහි තවත් පැත්තක් තිබේ. එනම්, පසුගිය සතියේදී පවා මහා බ්‍රිතාන්‍යය ප්‍රකාශ කරන ලද්දේ, ශ්‍රී ලංකාවට එරෙහිව ඇති යෝජනාවෙන් කර ඇති නිර්දේශ සියල්ල ශ්‍රී ලංකාව විසින් ක්‍රියාවට නැංවිය යුතු බවයි. එනම් මානව හිමිකම් කවුන්සිලයෙන් ඇමෙරිකාව ඉවත් වූ පසුවද මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය ආදී වූ බලවත් රටවල් සමූහයක් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ඉදිරියට ගෙන යාමේ ප්‍රමුඛත්වය ගෙන ඇත. ඒ සමූහයේ බලපෑමෙන් මිදීමට අපේ ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාට ශක්තියක් තිබේද යන්න, බරපතළ කාරණාවකි. ඔවුන්ගේ නියෝග නොතකා ක්‍රියා කළහොත්, එම රටවල් අපට එරෙහිව යම් යම් ක්‍රියාමාර්ගවලට එළැඹීමට බොහෝ ඉඩකඩ ඇත. ඔවුන්ගෙන් වන බලපෑම් නිසා අප ඔවුන්ට යටත් විය යුතු බවක් ඉන් හැඟවෙන්නේ නැත.  එහෙත්, එවැනි අවදානමකට මුහුණ දීම සඳහා අප සතු කිසිදු ප්‍රතිපත්තිමය ස්ථාවරයකින් තොරව, මෙම යෝජනාවෙන් ඉවත් විය හැකිද යන ගැටලුව අප හමුවේ පවතී.

ඊළඟට සලකා බැලිය යුත්තේ, ඔවුන්ගේ අණ නොතකා මෙම යෝජනාවෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාව තීරණය කළහොත් ඉන් සිදුවිය හැකි ප්‍රතිවිපාක කවරේද යන්න පිළිබඳවයි. එහිදී අපේ රටට ආර්ථික, දේශපාලනික, සාමාජයීය, සංස්කෘතික ආදී නොයෙක් පැතිවලින් විවිධ පීඩනයන් එල්ල කිරීමට ඔවුහු පසුබට නොවෙති. ඉකුත් ඔක්තෝබර් විසිහය වෙනිදා, මෙරට සිදු වූ හදිසි බල පෙරළියේදී කොළඹ සිටි විදේශීය තානාපතිවරු සියලු දෙනා මෙරට ගැටලුවට මැදිහත් වූ ආකාරය අපට හොඳින්ම මතක තිබේ. මෙම රටවල ස්වභාවය  එයයි. එබැවින් එවැනි රටවල් හමුවේ නොබියව කටයුතු කිරීමට නම්, අප සතුව නිශ්චිත දර්ශනයක් හා වැඩපිළිවෙලක් තිබිය යුතුය. එසේ නොමැතිව මේ  යෝජනාව ආරම්භයේදී ඊට එකඟ වී, එහි නිර්දේශද බහුතරයක් ක්‍රියාවට නැංවීමෙන් අනතුරුව අතරමගදී ඉන් ඉවත් වීම එතරම් පහසු වෙන්නේ නැත. එමනිසා දැන් එවැනි තීරණයකට එළඹීමෙන් අපට ඇති විය හැකි ප්‍රතිවිපාක බරපතළ විය හැකිය.

එමෙන්ම මේ වෙනුවෙන් අපට එරෙහිව නොයෙකුත් ආර්ථික සම්බාධක පැනවීමටද ඔවුන් කටයුතු නොකරතැයි සිතිය නොහැකිය.  ඊට අමතරව ජී.එස්.පී. බදු සහනය අහිමි කරන බවට අනතුරු ඇඟවීම් එල්ල විය හැකි අතර, අප ඒ රටවල් සමග කරන වෙළෙඳාම්වලට විවිධ අර්බුද මතු කරන්නටද ඉඩ ඇත. එහෙත් එවැනි සම්බාධක පැනවීමේදී ඊට ඔරොත්තු දිය හැකි ශක්තිමත් ආර්ථිකයක් අප රට තුළ ගොඩනගා ගෙන නැත. එමනිසා මෙය සිතූ තරම් ඉක්මනින් ක්‍රියාවට නැංවිය හැකි තරම් සරල කාරණයක් නොවන බව ඉතා ම පැහැදිලිය.

එසේම මෙම යෝජනාව සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් අපේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයකට නොමැති බවද ඉතාම පැහැදිලිය. මෙම යෝජනාව රටට කෙතරම් අහිතකර ව්‍යාපෘතියක්ද යන්න සම්බන්ධයෙන්ද ඔවුන්ට අදහසක් නැත. ඒ අතරේ බටහිර චින්තනය වැළඳ ගත් උගතුන් ප්‍රකාශ කරන්නේ මෙම යෝජනාව නිවැරදි දෙයක් වන බැවින් එය ක්‍රියාවට නැංවිය යුතු බවයි. එමෙන්ම අපේ රටේ සමාජවාදී දේශපාලන පක්ෂයක්     ලෙස සිටින ජනතා විමුක්ති පෙරමුණ පවා, මෙවැනි බරපතල අධිරාජ්‍යවාදී ගැටලුවක් හමුවේ කිසිදු ප්‍රකාශයක් හෝ කරන්නේද නැත. එමෙන්ම මේ යෝජනාව ඉදිරිපත් වූ ආකාරය පිළිබඳව සලකා බැලීමේදී පෙනී යන්නේ, එය ඉතා සැලසුම් සහගතව ඉදිරිපත් කළ ව්‍යාජ චෝදනාවක් මිස ඇත්තක් නොවන බවයි. ඊට හේතු වූ ඔවුන්ගේ යටි අරමුණු බොහෝය. මෙම තත්ත්වය අපේ රටේ දේශපාලන ව්‍යුහය, අධිකරණ පද්ධතිය, ආරක්ෂක හමුදා යාන්ත්‍රණය, මැතිවරණ ක්‍රියාදාමය, බලය බෙදීම, වැනි සියලු දේ උඩු යටිකුරු කරන ව්‍යාපෘතියක් බවට කිසිදු විවාදයක් නැත. එය දවෛනි වෙන්නේ, එක්දහස් අටසිය පහළොවේ අත්සන් කෙරුණු උඩරට ගිවිසුමට පමණි. එබැවින්, මෙම යෝජනාවෙන් අප සිතන තරම් පහසුවෙන් ඉවත් වීමට නොහැකි වනු ඇත.

 සටහන : ගයාත්‍රි ගීගනආරච්චි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.