lakbima.lk

රජයේ සේවක වැටුප් ගෙවන්නට වත්කමක් නැති ආර්ථිකය

ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය දැන් පතුල පෙනෙන ස්වභාවයකට පත්ව තිබේ. ධනය එකතු කරන අලූත් උල්පත් එහි නැත. ළිං පතුලේ එකතු වී ඇති අන්තිම දිය සීරාව ද සූරා ගනිමින් තිබේ. ආණ්ඩුවේ හා පළාත් සභා මැති ඇමැතිවරුන්ගේ තැපැල් වියදම් දීමනාව දෙගුණ කරන්නේ එහි පියවරක් වශයෙනි. මහජන නියෝජිතයන්ට ඇති පමණ සැප සම්පත් හා පහසුකම් තිබිය දී තැපැල් වියදම් ද මෙතෙක් තිබුණ ප‍්‍රමාණය අභිභවා දෙගුණයකින් වැඩි කරන්නේ ඇයි? ණය බරින් මිරිකී අතිශය දුෂ්කර තැනක ආණ්ඩුව පවතින බව නිතර සඳහන් කෙරේ. රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකි තැනකට පත්ව ඇතැයි ජනාධිපතිවරයාම කියා තිබේ. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය දුබල වී ඇති බව දක්වන්නට අනෙක් උදාහරණ අවශ්‍ය නැත.

ආර්ථිකය දුර්වල තත්ත්වයකට පත් වූයේ කෙසේද? නිෂ්පාදන ක‍්‍රියාවලිය නතර වී තිබේ. සේවා අංශ වර්ධනයක් නැත. ආනයන හා අපනයන අංශ පාලනය කර ඇත. වර්ධනය වෙමින් තිබුණ ආර්ථිකය අඩාල කරන්නේ එය ප‍්‍රතිසංස්කරණය කිරීමේ පියවරක් වශයෙනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එයට නිර්දේශ ඉදිරිපත් කළේය. වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට ගෙවුම් ශේෂය සම්බන්ධ ප‍්‍රශ්න මතු වී තිබුණි. ආනයන වියදම් වෙනුවෙන් ප‍්‍රමාණවත් විනිමය සංචිතයක් නොතිබිණ. බලයට පත් වහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලා සිටියේය. කොන්දේසි ගණනාවක් යටතේ තාවකාලික ණය සංචිතයක් රටට හිමි වූ අතර ආර්ථිකය නිසි මගට ගැනීම ස`දහා ප‍්‍රතිසංස්කරණ යෝජනා කළේය. ආනයන අඩු කිරීම, සහනාධාර පාලනය, පුද්ගලිකකරණය සහ පොලී අනුපාත නැංවීම ඇතුළු යෝජනා ඒවා අතර තිබුණි. එම නිර්දේශ ආර්ථික වේගය අඩාල කරන අතර වේගය සීමා කර නැවත වර්ධනයක් සඳහා ක‍්‍රියාමාර්ග අනුගමනය කළ යුතු ස්වභාවයේ විය. මූල්‍ය අරමුදලේ නියමය අනුව වේගය ආඩාල කළ ආණ්ඩුවට නැවත ප‍්‍රබෝධය වෙනුවෙන් කළ යුතු අත්‍යවශ්‍ය වෙනස්කම් කරගත නොහැකි වූ බව පැහැදිලිය. එය වර්තමාන පසුබෑමට බලපෑ එකම හේතුවයි.

ආර්ථිකයේ කළ යුතුව තිබුණ අත්‍යවශ්‍ය වෙනස්කම් වෙනුවෙන් ආණ්ඩුවේ පාර්ශ්ව අතර එකඟතාවක් ඇති කරගැනීමට නොහැකි වූ බව රහසක් නොවේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් හා එක්සත් ජාතික පක්ෂයේ එකඟතාවෙන් පිහිටුවන ලද සන්ධාන රජයට දෙපැත්තටම ගැළපෙන ආර්ථික ප‍්‍රතිපත්ති යෝජනා සොයා ගත නොහැකි විය. එකක් යෝජනා කරන විට අනෙක් පාර්ශ්වය එයට එරෙහි වනු දක්නට ලැබුණි. වසර තුනක කාලය තුළ ඉදිරිපත් වූ සියලූම අයවැය යෝජනා ආණ්ඩුව ඇතුළේම බරපතළ විවේචනයට ලක් වීම නිසා එය සංශෝධනය කළේය. නිසි දර්ශනයක් රහිත තත්ත්වය පැහැදිලිව පෙණුනි. අත්‍යවශ්‍ය වෙනස්කම්වලින් තොරව ආර්ථිකය නගා සිටුවන්නේ කෙසේද? යුද කාලපරිච්ෙඡ්දය අවසන්  වීමෙන් පසු 2010-2012 වසර තුන තුළ ආර්ථිකය සියයට නවයක  සාමාන්‍ය වර්ධනයක් පෙන්වීය. සාමකාමී පරිසරය තුළ එය වඩා වේගවත් විය යුතුව තිබුණි. නමුත් 2018 සිට මේ දක්වා සියයට 3.5 ක සාමාන්‍ය ඉක්මවන්නට නොහැකි විය. ලෝක බැංකුව නිකුත් කර ඇති ශ‍්‍රී ලංකාවේ සංවර්ධන යාවත්කාලීන වාර්තාව අනුව වසර 2021 දක්වා වර්ධනය සියයට හතර නොඉක්මවනු ඇත. එය අවාසනාවන්ත තත්ත්වයකි.

ශ‍්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ  අඩුම ආර්ථික වර්ධනයක් සහිත රටවල් ලැයිස්තුවේ දෙවැනි තැන සිටී. මුලින් සිටින්නේ ඇෆ්ගනිස්ථානයයි. ඉන්දියාව, චීනය, ඇමෙරිකාව හා ජපානය යනාදී ඉසුරුමත් රටවල් ශ‍්‍රී ලංකාව සමග හොඳ සම්බන්ධතා ආරම්භ කර තිබේ. වෙළෙඳ ගිවිසුම් අත්සන් කර ඇත. යටිතල පහසුකම් අතින් ඉතාම දියුණුය. දකුණු ආසියාව ලෝකයේ වේගයෙන්ම දියුණු වන කලාපය සේ හුවා දක්වා ඇත. එසේ තිබිය දී ශ‍්‍රී ලංකාව පසුබෑමක බව පෙන්විය යුතුය. ආර්ථික වර්ධනය අතින් දුර්වල තැනක සිටින රටක මහා භාණ්ඩාගාරය හිස්වීම කිසිසේත් මවිතයට කාරණයක් නොවේ.

ආර්ථික වේගය පාලනය කරන විට ආනයන අපනයන අඩුවෙයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ජනතාව අත ගැවසෙන ධනය සීමා සහිත වෙයි. රටට ආදායම සපයන අංශ අතරින්  ශ‍්‍රී ලංකා රේගුව වැදගත් තැනකි. රජයේ බදු ආදායමෙන් සියයට 55 ක් සපයයි. 2018 වසරේ රුපියල් බිලියන 1,000 ක ආදායමක් ඉලක්ක කළ නමුත් ලැබී ඇති ආදායම රු. බිලියන 890 කි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2018 වසරේ රු. බිලියන 750 ක බදු ආදායමක් ලැබිය හැකි යැයි තක්සේරු කළේය. එකතු කරගත හැකි වී ඇති ප‍්‍රමාණය රු. බිලියන 675 කි. ආර්ථිකය දියුණු නැති අවස්ථාවක බදු ගෙවන්නේ කොතැනින්ද? බදු ආදායම සීමා සහිත වන අවස්ථාවක භාණ්ඩාගාරය පිරෙන්නේ කෙසේද?

භාණ්ඩාගාරය හිස් නමුත් රජයේ සේවක වැටුප් ප‍්‍රමාද කළ නොහැකිය. පසුගිය දස වසර තුළ ආණ්ඩුවෙන් වැටුප් ලබන පිරිස සියයට තිස් හයකින් වැඩි වී තිබේ. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවක පිරිස මිලියන 1.12 ක් බව අනාවරණය වෙයි. රජයේ වියදම්වලින් වැඩිම ප‍්‍රතිශතයක් වෙන් කරන්නේ මෙම පිරිස වෙනුවෙන් වැටුප් ගෙවීම සඳහාය. රජයේ සේවය කරන පිරිස වැඩිකරන නමුත්  ජනතාවට ඉටු කරන සේවය ගැන කිසිසේත් අවධානය යොමු නොකරයි. මෑත කාලීන බඳවා ගැනීම් අනුව සමහර රාජ්‍ය ආයතනවල පුටු මේස ගණනට වඩා නිලධාරීහු සිටිති. විශේෂයෙන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල මෙම තත්ත්වට වැඩිපුර දැක ගත හැකිය. ඉදිරියේ දී තවත් බඳවා ගන්නා බව ප‍්‍රකාශ වෙයි. දැනට හතළිස් දහසක උපාධිධාරීහු    රැුකිියා විරහිතව සිටිති. මෙම පිරිස ද රාජ්‍ය සේවයට එකතු කරගන්නා බව කියා තිබේ. වැටුප් ගෙවාගත නොහැකි ආණ්ඩුවකට අලූත් බඳවා ගැනීම් කළ හැකිද? එය බරපතළ තත්ත්වයකි.

වත්මන් ආණ්ඩුව රජයේ සේවක වැටුප් වැඩි කරන බව මැතිවරණ වේදිකාවේ දී පොරොන්දු විය. එය ඉටු කිරීමක් වශයෙන් රජයේ සේවක වැටුප් අදියර කිහිපයකින් බලපාන පරිදි රුපියල් දස දහසකින් නැංවීය. තවත් පොරොන්දු ඉටු කිරීමක් වශයෙන්  රජයේ වක‍්‍ර ආදායම් මාර්ගයක්  වශයෙන් පැවැති ඉන්ධන විකිණීමෙන් ලැබෙන ආදායම අහිමි වීමට බලපාන පරිදි ඛනිජ තෙල් අඩු කළේය. ඒවායේ ප‍්‍රතිවිපාක වලට අද මුහුණ දෙන්නට සිදුවී තිබේ. ප‍්‍රධාන ආදායම් මාර්ග පිරිහී ඇත. විශාල යැපෙන්නන් කණ්ඩායමක් සිටී.

රජයේ සේවක වැටුප් ගෙවා ගන්නට බැරි තරමට මහා භාණ්ඩාගාරය හිස් නමුත් ඉදිරියේ දී මෙකී හිස්වීම අරභයා වන්දි ගෙවන්නට පොදු ජනතාවට සිදුවෙන බව සඳහන් කළ යුතුය. රජයේ ආදායම තරකර ගැනීම සඳහා අලූත් බදු පනවන්නට ඉඩ තිබේ. මෑතක දී අර්තාපල් කිලෝවකින් අය කරන බද්ද රුපියල් තිහක් දක්වා නැංවීය. රුපියල් එකසිය පනහකට පමණ වෙළෙඳ පොළේ අලෙවි වන ආනයනික අර්තාපල් කිලෝවකින් රුපියල් තිහක් ආණ්ඩුව බදු ගන්නා අවස්ථාවක මෙරට අර්තාපල් වවන ගොවීන්ට ලැබෙන සෘජු වාසිය කුමක්ද? සීනි කිලෝවකින් රුපියල් තිස් දෙකක්, පරිප්පු කිලෝවකින් රුපියල් තිහක් බදු අයකරන ආණ්ඩුව ඒවා රජයේ වියදම් වලට යොදවයි. මෙම බදු අඩු කළහොත් ජනතාවගේ ජීවන වියදම දරාගත හැකි තරමට සීමාසහිත වෙයි. නමුත් මැති ඇමැති වියදම්, රජයේ අනවශ්‍ය පිරිවැය, අලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය ඇතුළු අංශ මෙම බදු ආදායම උරා ගනියි. එය නිවරැුදි කරගත යුතු බරපතළ වරදකි.

මහා භාණ්ඩාගාරයට ලැබෙන ආදායම තර වන අන්දමට අලූත් ක‍්‍රමෝපායන් රටට අවශ්‍යය.  පොදු ජනතාව පරිභෝජනය කරන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලින් බදු අයකරනු වෙනුවට අලූත් ආයෝජන කෙරෙහි අවධානය යොමු කිරීම සුදුසුය. රටේ ආදායම පිරිහී ඇති බව කියන ආණ්ඩුව එවැනි පැති ගැන අවධානය යොමු නොකරන්නේ මන්ද? ඡුන්ද ළං වන විට තැපෑලෙන් ඡුන්ද ප‍්‍රචාරක පත‍්‍රිකා යවන්නට හැකි වන පරිදි මහජන නියෝජිතයන්ගේ මුද්දර ගාස්තුව දෙගුණ කරන තරමට දුර දක්නා නුවණක් ඇති දේශපාලනඥයන්ට රටේ ආර්ථිකය අඩාලවීමෙන් සිදුවිය හැකි ඉරණම ගැන අවබෝධයක් තිබිය යුතුය. ජනතාව නගා සිටුවා රට දියුණු කරන බවට පුරාජේරු කියා බලයට පත් වූ දේශපාලන ක‍්‍රමය ආදායම පිරිහෙන තත්ත්වයට පත් කළේ ජනතාව නොවන බව සඳහන් කිරීම අවශ්‍යය.

ජී.කේ.ජී. සරත්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.