lakbima.lk

නිදහස් දවසේවත් ඥානසාර හාමුදුරුවන්ට නිදහස ලැබෙයිද?

පසුගිය කාලයේ වරින් වර ජනමාධ්‍යයට ප්‍රධාන පුවත සැපයූ බොදුබලසේනා සංවිධානයේ මහ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළිත් කතාබහට ලක්වෙන චරිතයක් බවට පත් වී තිබේ. ඒ මේ වන විට බන්ධනාගාර ගතව සිටින උන්වහන්සේට ලබන පෙබරවාරි 04 වැනිදා යෙදෙන ජාතික නිදහස් දිනයේදී ජනාධිපති සමාව ලැබේද නොලැබේද යන දෙගිඩියාව මතය.

ලබන පෙබරවාරි 04 වැනිදාට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් භික්ෂු සංවිධාන ගණනාවක් මෙන්ම සිවිල් සංවිධාන ගණනාවක්ද, හින්දු ආගමික සංවිධානයක්ද ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් ගණනාවක්ම ඉදිරිපත් කර තිබේ. එසේම  අස්ගිරි, මල්වතු, අමරපුර හා රාමඤ්ඤ මහා නිකායවල නාහිමිවරුන් වහන්සේද ඥානසාර හිමියන්ට ජාතික නිදහස් දිනයේදී සිරකරුවන්ට ලැබෙන ‍පොදු සමාව යටතේවත් බුරුලක් ලැබිය යුතු බවට මත පළකර තිබේ.

ජනාධිපතිවරයාගෙන් සහ තවත් වගකිව යුත්තන්ගෙන් කරන ඉල්ලීම්වලින් නොනැවතුන බොදු බලසේනා සංවිධානය, සිංහල රාවය සංවිධානය ඇතුළු තවත් භික්ෂු සංවිධාන කිහිපයක හිමිවරු විසින් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දෙන ලෙස ඉල්ලමින් මේ වන විට පිටකොටුව බෝධිය ඉදිරිපස අඛණ්ඩ සත්‍යග්‍රහයක්ද ආරම්භ කර තිබේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැති නඩු විභාගය අතරතුර හෝමාගම අධිකරණයට බලහත්කාරයෙන් කඩාවැදීම, අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත් වීම, පැමිණිල්ල මෙහෙය වූ රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරයාට පරිභව කිරීම, හා අධිකරණයට අපහාස කිරීම යන චෝදනා උන්වහන්සේට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබුණි.

සියලු චෝදනාවලට ඥානසාර හිමියන් වරදකරු බව අභියාචනාධිකරණය විසින් තීන්දු කර වසර 19ක සිර දඬුවමක් වසර හය කින් ගෙවී යන ලෙස පනවනු ලැබිය. අධිකරණය එම තීන්දුව ලබාදුන්නේ ඉකුත් අගෝස්තු 8 වැනිදාය.

ඥානසාර හිමියන්ට මෙම දඬුවම නියම කරන අවස්ථාවේ උන්වහන්සේ සිටියේ ජයවර්ධනපුර රෝහ‍ලේ ගිලන් ඇඳක් මතය. ඒ උන්වහන්සේගේ හදිසි රෝග තත්ත්වයකට ශල්‍ය කර්මයක් කිරීමෙන් අනතුරුවය. ඒ අනුව දින කිහිපයකින් පසු ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහල වෙත මාරු කර යැවීය.

ඥානසාර හිමියන් රටේ ආන්දෝලනාත්මක චරිතයක් වූයේ බොදු බලසේනා සංවිධානය පිහිටුවා ගනිමින් රටේ විවිධ ප්‍රශ්නවලදී ඒවාට මැදිහත්වීමත් එහිදී යම් යම් පාර්ශ්වයන් සමග ගැටුම් ඇතිකර ගැනීමත් හේතුවෙනි.

දේශීය නිෂ්පාදනවල හලාල් ලාංඡනය ඇතුළත් කළ අවස්ථාවේදී ඊට එරෙහිව ඥානසාර හිමියෝ ප්‍රබල හඬක් නැගුවේය. උන්වහන්සේගේ තර්කය වූයේ දේශීය නිෂ්පාදනවලින් හලාල් ලාංඡනය ඉවත් කළ යුතු බවය. මෙවැනි ප්‍රශ්නවලදී ඇතැම්විට උන්වහන්සේගේ ස්වරය භික්ෂුවකට තරම් නොවන බව ඇතැම්  පාර්ශ්වල මතය විය. උන්වහන්සේගේ හඬ ඇතැම් විට ඒ තරමටම කර්කශ විය.

මෙවැනි අවස්ථාවලදී උන්වහන්සේගේ ආවේගශීලී වාග් ප්‍රහාර ඇතැම් භික්ෂුන් වහන්සේලාද ජන සමාජයද අනුමත නොකළහ.

කෙසේ වෙතත් පසුගිය 2018 අගෝස්තු 8 දා ඥානසාර හිමියන් බන්ධනාගාර ගත කිරීමත් සමග උන්වහන්සේට එරෙහිව කතා කළ ඇතැම් පිරිස්ද එකී සිර දඬුවම සුදුසු නොවන බව කියන්නට වූහ.

භික්ෂුන්වහන්සේලා අධිකරණ භූමියේ සිට පෙළපාළි යමින් ඥානසාර හිමියන්ගේ දඬුවමට එරෙහිව කතා කළේය. භික්ෂු සංවිධාන විසින් විටින් විට පැවැත් වූ මාධ්‍ය හමුවලදීද ඥානසාර හිමියන්ට දඬුවම් දීම මෙරට භික්ෂු දඩයමක් ක්‍රියාත්මක වන බවට උදාහරණ ලෙස පෙන් වූහ. අධිකරණයට අපහාස කළ බව කියන වෙනත් දේශපාලනඥයන් නිදැල්‍ලේ සිටින විට ඥානසාර හිමියන්ට පමණක් මෙවැනි දඬුවමක් දීම අසාධාරණ බව එම පාර්ශ්වයන්හි තර්කය විය.

අභියාචනාධිකරණය විසින් ඥානසාර හිමියන්ට පැණ වූ දඬුවමට එරෙහිව බොදු බලසේනා සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ගොනු කළද එම පෙත්සම් දෙක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දැමීය. ඥානසාර හිමියන් නිදහස් කර ගැනීමට බොදුබල සේනා සංවිධානය ඇතුළු භික්ෂු සංවිධානවලට තිබූ සියලු නීතිමය සීමාවන් එසේ ඇහිරී ගියේය.

ඉන්පසුවද සටන අත්නොහැරද ඔවුහු ඥානසාර හිමියන් වෙත ජනපති සමාව ඉල්ලා සිටින්නට වූහ. පවතින තත්ත්වය මත ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිරගෙදරින් නිදහස් වීමට ඇති එකම මගද ජනාධිපති සමාව පමණි.

ජනපතිවරයාට එම බලය ලැබි ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය යටතේය. ඒ යටතේ කවර හෝ අධීකරණයකදී වරදකරු කරන කවර වූ හෝ වරදකරුවෙකුට සම්පූර්ණ සමාවක් හෝ නීත්‍යනුකූල කෝන්දේසි සහිත සමාවක් දිය හැක්කේය. මේ වගන්තිය තුළ ලද බලතල ජනපතිවරු බොහෝ අවස්ථාවලදී ප්‍රයෝජනයට ගත්තේ වෙසක් දිනයට වැනි ජාතික ආගමික සැමරුමකදී හෝ නිදහස් දිනයේදී සිරකරුවන්ට සමාව දීමටය. එහෙත් එවැනි අවස්ථාවල ස්ත්‍රී  දූෂණයක්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හා  මිනීමරුවන්ට සමාව දෙන්නේ නැත.

නමුත් ජනපතිවරු එවැනි අයටද සමාව දී ඇති අවස්ථා ඉතිහාසයේ ඇත්තේය. ජේ. ආර්. ජයවර්ධන වුණත් ඔහු ස්ත්‍රී දූෂකයකු වූ ගෝනවල සුනිල්ට සමාව දුන්නේය. සිය බිරිය මරා එල්ලුම් ගහට ගිය සබරගමුව මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ ඇන්ටන් තෙන්නකෝන්ට ජනපති සමාව දුන්නේ මහින්ද රාජපක්ෂ යුගයේදීය. එමෙන්ම උසාවියට අපහාස කර හිරේ ගොස් ප්‍රජා අයිතිය තහනම් වූ එස්. බි. දිසානායකටද, යුද්ධාධිකරණයේ වරදකරුවෙක් වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට මහින්ද රාජපක්ෂ ජනපති සමාව දුන්නේය.

කෙසේ නමුදු මේ වන විට  අස්ගිරි, මල්වතු, අමරපුර හා රාමඤ්ඤ මහා නිකායවන්වල නාහිමිපාණන් වහන්සේ විසින්ද ඥානසාර හිමියන්ට ‍පොදු සමාවක් හිමි විය යුතු බවට මේ වනවිට මත පළ කර ඇත. උන්වහන්සේලා විසින් ඒ පිළිබඳව බොදුබලසේනා සංවිධානයටද ලිපි මගින් දැනුවත් කර තිබේ.

මේ අතර ඥානසාර හිමියන් අයත් වන කෝට්ටේ සංඝ සභාව විසින්ද උන්වහන්සේට ‍පොදු සමාවක් ලැබිය යුතු බවට කියවෙන නිවේදනයක් නිකුත් කර ඇත.  මීට අමතරව ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සභාපති “නාරා ටී අරූන් කාන්ත්” සිය අත්සනින් යුතු ලිපියක් මධ්‍යයම පළාතේ ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න වෙත භාර දෙමින් කියා ඇත්තේ ඥානසාර හිමියන්ට පෙබරවාරි 04 වැනිදාට ‍පොදු සමාවක් ලැබිය යුතු බවයි. එසේම ඔවුන් එම ලිපිය ආණ්ඩුකාරවරයාට භාර දී ඇත්තේ ඔහු හරහා එය ජනාධිපතිවරයා වෙත ලැබෙන පරිද්දෙනි.

මේ අතර ඥානසාර හිමියන්ට ‍පොදු සමාවක් ලබාගැනීම වෙනුවෙන් අඛණ්ඩව සත්‍යග්‍රහයක නිරතව සිටින්නේ බොදු බළසේනා සංවිධානය පිටකොටුව බෝධින් වහන්සේ අබියස අඛණ්ඩව සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. ඊට එක්ව සිටින එම සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියන්  කියන්නේ ඥානසාර හිමියන්ට ‍පොදු සමාවක්  ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණගැසී කතාබහ කළ බවයි.

එමෙන්ම ෙතේ‍රනිකායික මහානායක මහහිමිපාණන් වහන්සේ විසින් ඥානසාර හිමියන්ට ‍පොදු සමාවක් දෙන ලෙස දන්වමින් නිකුත් කර ඇති නිවේදනයද නන්ද හිමියන් විසින් එහිදී ජනාධිපතිවරයා වෙත භාර දී ඇත්තේය.

ඥානසාර හිමියන්ට අධිකරණය විසින් ලබාදුන් තීන්දුව මත මෙවැනි දඬුවමකට මුහුණදීමට උන්වහන්සේට සිදුවීම පිළිබඳව තමා බෙහෙවින් කනගාටුවන බව ජනාධිපතිවරයා මෙහිදී පැවැසූ බව විතාරන්දෙණියේ නන්ද හිමියෝ පවසති.

මේ අතර ඥානසාර හිමියන්ගේ මෑණියන් උන්වහන්සේට අත්වූ ඉරණම පිළිබඳව කල්පනාකර අසනීප වී දැනට රෝගාතුරව සිටින බවද බොදු බලසේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේ ජනාධිපතිවරයාට මෙහිදී දැනුම් දී තිබේ.

මෙම භික්ෂුන් වහන්සේගේ ඉල්ලීම පිළිබඳව සිය පූර්ණ අවධානය යොමුකර ඥානසාර හිමියන්ට ‍පොදු සමාව ලබාදීම පිළිබඳව අවශ්‍ය කාරණා සිදු කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවැසූ බවද විතාරන්දෙණියේ නන්ද හිමියෝ පවසති.

පානුක රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.