lakbima.lk

භාණ්ඩ වර්ජනයේ ආර්ථික හානිය

 

ශ‍්‍රී ලංකාව කුඩා රටකි. නමුත් බෙදීම් සෑහෙන ප‍්‍රමාණයක් තිබේ. ජාතිය ආගම හා දේශපාලන පක්ෂ වශයෙන් එකිනෙකා වෙන්කර ගනිමින් සිටිති. කුල බෙදීම් ඇත. පැලැන්තිය අනුව කරන සමාජයේ පරස්පරතා විශාල ගැටලූවක් වී තිබේ. සමාජ සාධාරණත්වය මගින් බෙදීම් සමනය කළ හැකිය. නමුත් යුක්තිය ඉෂ්ට වන බවක් නොපෙනෙන සමාන අවස්ථා අහිමිවන බව දැකිය හැකි සමාජය තුළ නොයෙක් අවස්ථාවල පිපිරීම් සිදුවෙයි. එකිනෙක පාර්ශ්ව කෙරෙහි සැකයෙන් හා වෛරයෙන් බලන පසුබිමක් තිබීම ඉතා භයානකය. සෑම අංශයකම ආගමික හා ජන නායකයෝ එය මැනැවින් වටහාගෙන පළුදු පිළියම් මකා එක් සේසත් කරන්නට අවශ්‍යය. නමුත් එසේ නොකරන අතර බේරුවල, දිගන, මාවනැල්ල හා කොළඹ ඇතුළු මෑතක සිද්ධි පමණක් නොව දකුණේ හා උතුරේ ත‍්‍රස්තවාදයට ද හේතු වූයේ මෙකී බෙදීම් බව තේරුම් ගැනීම අවශ්‍යය.

සුළු වශයෙන් පවතින නෝක්කාඩුකම් දුර දිග යන විට ඇති විය හැකි තත්ත්වය කෙබද? අද වන විට වෙළෙඳ භාණ්ඩ වර්ජනය කරන තැනට යොමු වී තිබේ. අහවල් වෙළද සලෙන් ගන්නට එපා පමණක් නොව අහවල් භාණ්ඩ මිල දී ගැනීමෙන් වළකින සේ ද ප‍්‍රචාර හරිමින් තිබේ. එය සුදුසු නැත. අතීතයෙන් පාඩම් ඉගෙන ගැනීම සුදුසුය. ආර්ථිකයක් යනු එක කොටසකගේ පැවැත්මක් නොවේ. රට තුළ පවතින සියලූ ක‍්‍රියාකාරකම්ය. එක අංශයක් අත්හැර අනෙක් කොටසගෙන් පමණක් යැපෙන්නට වෑයම් කිරීම ප‍්‍රශ්නයකි.

අනෙක් පාර්ශ්වයට බියේ කටයුතු කිරීමෙන් වාසියක් අත් නොවේ. නිදහස ලැබූ කාලයේ ඉන්දීය අගමැති ජවහල්ලාල් නේරු ප‍්‍රකාශයක් කළේය. ‘‘සිව් දිගින් හමන සුළගට එනු පිණිස සියලූ කවුළු විවෘත කරමි. එහෙත් ගෙය තුළ ඇති දේ සුළඟින් ගසාගෙන යන්නට ඉඩ දෙන්නේ නැත’’ යනුවෙන් හෙතෙම කියා සිටියේය. ජාතීන් ගණනාවක් ජීවත්වන, භාෂා ගණනක් කතා කරන, ආගම් අති විශාල ප‍්‍රමාණයක් අදහන ඉන්දියාව එක රටක් සේ පවතින්නට එකම හේතුව එම නිර්භීත භාවයයි. එතැන දර්ශනයක් තිබේ. රට එකමුතු කරන අතර විවෘත භාවය මැනැවින් ඇත.

අපට එවැනි විශිෂ්ටභාවයක් අත්පත් කරගත නොහැකි වූයේ ඇයි? දේශපාලන නායකයන්ගේ පටු අවස්ථාවාදී බව එයට එකම හේතුවයි. බලය පවත්වා ගැනීම අරභයා තීන්දු ගත්තේය. සමාජයට ඇත්ත පෙන්වන්නට උත්සාහ කළේ නැත. එහි ප‍්‍රතිවිපාක අද පෙනෙන්නට තිබේ. සමාජය අන්තයටම ගොස් ඇත. ඉන්දියානු භාණ්ඩ වර්ජනය කරන කලබැගෑනිය අපට මතකය. ඉන්දියානු වෙළෙඳ ගිවිසුම අපට පෙන්නන්නට බැරි විය. රට ගිල ගැනීමට ඉන්දියාව සූදානම්ව සිටින බව පටු අදහස් ඇති පාර්ශ්වවල ප‍්‍රචාරය වී තිබුණි. ඉන්දියාව සමග පමණක් නොවේ. චීනය සමග ගනුදෙනු කිරීම නරකය. ඇමෙරිකාව හා ගනුදෙනු කරන විට විරෝධතා නැගිණ. සිංගප්පූරු ගිවිසුම විරෝධතා ඇති කළේය. මේවා සමාජය මතක තියාගත් පාඩම්ය. නායකයෝ නිර්භීතව සමාජය හමුවට ගොස් ජනෙල් විවෘත කළ නමුත් අප සතුව ඇති දක්ෂතාවය සුළඟට ගසා ගෙන යා නොහැකි බව පෙන්වන්නට අසමත් විය. ඡුන්ද පදනම සලකා පටු බෙදීම්වලට ඉඩ දුන් අතර අවසානයේ දී එක රටේ ජීවත් වන සහෝදර ව්‍යවසායකයකුගේ නිෂ්පාදන එපා කියන තරමට සමාජය පිරිහී තිබේ. මෙහි කෙළවර කොතැනකද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවශ්‍යය. නමුත් එයට ගැළපෙන නීති හා ප‍්‍රතිපත්ති හදා ගත යුතුය. අනන්‍යතාවයට ගරු කරන අතර තමන්ගේ කම නොඑසේනම් ශ‍්‍රී ලාංකිකත්වය වර්ධනය කර ගැනීමට අවශ්‍යය.

අද වන විට මෙරට අපනයන අංශයේ විශාලම කොටස්කරුවෝ මහජාතියට අයත් නැත. ඇඟලූම්, තේ හෝ සුළු අපනයන භෝග අපනයනයට විශාල අවස්ථා තිබේ. ඒවා දිනා ගන්නට තරගයක් තිබිය යුතුය. සමාන අවස්ථා තුළ සමාන වෙළෙඳ පරිසරය තුළ ජාතීන් අතර එකමුතු භාවයකින් කරන අපනයනය රටට ඉතාම වැදගත්ය. එය ආර්ථිකය විශ්ලේෂණය කරන විට පෙනේ. මෙරට අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන දොළහකට ආසන්නය. ආනයන වියදම එය මෙන් දෙගුණයකි. ඉතිහාසයේ පළමු වතාවට ඇමෙරිකානු ඩොලර් බිලියන දහයක වෙළඳ හිඟයක් නිර්මාණය වී තිබේ. එය රටට විනිමය ප‍්‍රශ්න ඇති කරන ලද අතර රුපියලේ අගය සියයට විසි එකකින් අවප‍්‍රමාණය කරන්නට හේතු විය. දහ හත් අවුරුද්දකට පසු අඩුම ආර්ථික වර්ධනය වාර්තා වී තිබේ. මේවා පැහැබර ලක්ෂණ නොවේ. ඒවා දුරු කර එක පියවරකින් හෝ ඉදිරියට ගමන් කිරීමට විශාල ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍යය. එය කළ හැක්කේ කෙසේද? විශාලම අභියෝගය එයයි.

ජන සමාජය තුළ විශ්වාසය තහවුරු කළ යුතුය. ප‍්‍රධාන සැලැස්ම එයයි. පළමුවෙන් කුඩා සමාජ ඒකක අතර අන්‍යොන්‍ය සම්බන්ධතා දියුණු කරන කවර හෝ සක‍්‍රීය යෝජනා ක‍්‍රියාවට නැගීම අවශ්‍යය. සැකය දුරු කරනු සඳහා වැදගත්ම කාරණය විනිවිද භාවයයි. සියලූ පාර්ශ්වවලට එකතු වී එකට ගමනක් ඇති බව සාක්ෂාත් කළ යුතුය. එය පහසු නැත. දේශපාලන හා ආගමික නායකයෝ අලූතින් හිතන්නට අවශ්‍යය. අද පාර්ලිමේන්තුවේ සිටින නායකයෝ පරිනතය. දශක තුනක් හතරක් රට තුළ දේශපාලනයෙහි යෙදී මෙරට හා ජාත්‍යන්තර ප‍්‍රවනතා ගැන හොඳ අත්දැකීම් සහිතය. මෙම පිරිසට එකට සිට රට ගොඩ නගන සැලැස්මක් යෝජනා කරන්නට බැරිකමක් නැත. රට බලාපොරොත්තු වෙන්නේ එයයි. හුදෙක් පාර්ලිමේන්තුවේ පවත්වන ආරක්ෂක අංශ දුර්වලතා ගැන විවාදවලින් හෝ පුවත් පත් සාකච්ඡුා වලින් බෙදීම් තුරන් කරන්නට කිසිම හැකියාවක් නැත.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාවෙන් පසු සෑම කෙනෙකුටම අනන්‍ය ප‍්‍රශ්නයක් තිබේ. එය ආර්ථිකය හා ගැට ගැසී ඇත. එදිනෙදා ආදායම හොයා ගන්නා තී‍්‍ර වීලර් පදවන්නන්ට ප‍්‍රශ්න මතු වී තිබේ. දෛනිකව වැටුප් ලබන අයට අපහසුතා ඇති වී ඇත. වෙළෙඳාම පහත වැටී ඇති අතර කර්මාන්ත හා නිෂ්පාදන අංශ පෙන්වන්නේ නියමිත ඉලක්ක සාක්ෂාත් කරගත නොහැකි බවය. සංචාරක කර්මාන්තය විශාල බිඳ වැටීමක වන අතර එය බැංකු හා මූල්‍ය අංශයකම අඩාලවීම දක්වා විහිදෙන සෑහෙන ගැටලූවකි. තමන්ට අහිමි වන කොටස දිනාගැනීම සඳහා අනෙක් ආගම හෝ අනෙක් ජාතිය මෙහෙයවන ව්‍යාපාර නතර කිරීම අරමුණු කරගෙන ප‍්‍රචාර යැවීම දක්වා දුර දිග යන බව තේරුම් ගැනීම වැදගත්ය.

ආර්ථිකයක් හැකිලෙන විට සමාජය තුළ පීඩනයක් ඇති වෙයි. ආදායම අඩුවන හා තමන්ගේ මිල දී ගැනීමේ ශක්තිය පහත වැටෙන විට සමාජය නොසන්සුන් වෙයි. පසුගිය වසර දෙක තුන තුළ ආණ්ඩුව වුවමනාවෙන්ම ආර්ථික වේගය අඩාල කළේය. එයට හේතුව ලෝක බැංකුව දුන් උපදෙස් බව සඳහන් කළ යුතුය. රජයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක ණය සංචිතයක් දුන් ලෝක බැංකුව යම් යම් ප‍්‍රතිංස්සකරණ යෝජනා කළේය. පාලකයෝ තමන්ට වාසි දායක දේ ඉතිරි කරගෙන සමාජයට බර පැටවීය. එය බෙදීම් තිබුණ සමාජයට දරා ගත නොහැකි වූ තත්ත්වයක් බව ද පෙන්වාදීම අවශ්‍යය. මේවා සම්පූර්ණයෙන්ම හේතු නොවන නමුත් වක‍්‍ර අන්දමට ත‍්‍රස්තවාදී සිද්ධි වලට බලපාන්නට, සමාජ බෙදීම් ඇති කරන්නට හේතු වූ කරුණු බව අධ්‍යයනය කළ හැකිය.

ආණ්ඩුව මෙම අවස්ථාවේ දී ආර්ථික දියුණුවක් ඇති කරන තීන්දු වලට යා යුතුය. ජනතාව මිල දී ගත හැකි පිරිසක් බවට පත් කරන්නට අවශ්‍යය. බිය සැක නැතිව වෙළෙඳපොළට යන තමන්ට අවශ්‍ය දේ මිල  දී ගන්නට හැකි නිදහස් වාතාවරණයක් ඇති කළහොත් මෙම ප‍්‍රශ්නයේ එක කොටසකට විසªමක් සපයනු නිසැකය. එය වෙනුවෙන් ආර්ථික ව්‍යුහයේ තුලනාත්මක වෙනස්කම් කළ යුතුව තිබේ. රට තුළ පවතින ප‍්‍රශ්නය නොදන්නා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවන රෙගුලාසි අනුව එදා වියදමට අතේ සල්ලි නැති ජනතාවට ඉන්ධන මිල සූත‍්‍ර පැනවීම තවතවත් ප‍්‍රශ්න උග‍්‍ර කිරීමකි. තත්ත්වය සමනය වන තුරු සහන ආර්ථිකයක් ඇති කළ යුතු අතර ප‍්‍රතිරූප තුරන් කර නිදහස් වෙළෙඳපොළක් ඇති කිරීමට පියවර ගත යුතුය. ආර්ථිකය සකි‍්‍රය කර වර්ධනය වැඩි කිරීමෙන් යම් ප‍්‍රමාණයකට තත්ත්වය සමනය කළ හැකිය. උතුර නැගෙනහිර යුද්ධයක් පවතින කාලයේ පවා ආර්ථික වර්ධනය සියයට පහකට වඩා ඉහළ මටට්මක තිබුණ අතර පසුගිය වසර තුන තුළ සියයට තුනකට දශම ගණනක් වැඩි ප‍්‍රමාණයක් පවත්වාගැනීමෙන් බෙදීම් සංකීර්ණ වන පැත්තකට ගමන් කරන්නට හේතු වූවායැයි සඳහනක් කිරීම ද වැදගත්ය.

ජී.කේ.ජී. සරත්

 

ඡායාරූපය : ලක්රුවන් වන්නිආරච්චි  (A.F.P)

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.