lakbima.lk

ආර්ථිකය නැංවීමේ වගකීම බැංකුවලට භාරදී තිබේ

2019 වසරේ අයවැය දෙවනවර කියැවීම සම්මත වී තිබේ. ජනතාව අතර සාකච්ඡාව අවසන් නැත. අය වැය ගැන අලුත් පැත්තකින් හිතන්නට අවශ්‍යය. සහන අවශ්‍ය ජනාවට සහන සීමා කර තිබේ. රජයේ වියදම කපා හරින අරමුණ ඇත. ජනතාව වෙත නොකියා කියන පණිවුඩයක් තිබේ. තමන්ට අවශ්‍ය දේ තමන්ටම කරගැනීමට නියම කිරීමය. ආණ්ඩුවේ බෙදන හැන්ද කුඩා එකක් වන විට අය කරන බදු අවම කළ හැකිය.

ජනතාව පමණක් නොව නිලධාරීන් හා මැති ඇමැතිවරුන් ද ආණ්ඩුවෙන් යැපෙන, ගැති භාවය අඩු කරන පියවර ගත යුතුය. මැති ඇමැතිවරුන්ට බදු නැති වාහන හා වැටුප්, නිල නිවාස, අතිරේක දීමනා සහ සැසිවාරවලට සහභාගි වන වතාවක් පාසා අතට මුදලක් ලැබෙන ක්‍රම හදාගෙන තිබේ. බලයට පත්වන මහජන නියෝජිතයන්ට වරප්‍රසාද හදන නිලධාරීහු ද අනතුරුව චක්‍රලේඛ ඉදිරිපත් කරති. ඒ අයවලුන්ගේ වැටුප් වාහන වෙනුවෙනි. දෙකොට්ඨාසය යැපෙන අතර වන්දිය ගෙවන්නේ පොදු ජනතාව බව සඳහන් කළ යුතුය.

මෙවර 2019 අයවැය යෝජනා අතර සිසු දරුවන්, ව්‍යවසායකයන්, යුවතිපතීන්ගේ සිට විදේශ රැකියා කරන පිරිස දක්වා විශාල පරාසයකට අත දිගහැර සහන දෙන බව දක්වා ඇත. මේවා යෝජනා පමණකි. බැංකුවකින් ණයක් ගෙන අවශ්‍යතාව සපුරා ගත යුතුය. බැංකු පොලියෙන් කොටසක් ගෙවන බව රජය පොරොන්දු වෙන බව පෙනේ. අය වැය මුදල් වෙන්කර ඇති ආකාරය සලකන විට මෙම පොලී සහන වෙනුවෙන් කෙළින්ම කොතැනකදී හෝ මුදල් වෙන් කර නැත.

අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදය අප්‍රියෙල් පස් වැනි දා අවසන් වීමට නියමිතය. ඉනික්බිතිව මැති ඇමැතිවරු අලුත් අවුරුදු නිවාඩුව ගන්නා බව සැකයක් නැත. පුරුදු පරිදි අයවැය මගින් ජනතා අභිලාෂ සාක්ෂාත් කරන්නට ගෙන එන යෝජනා මගහැරෙන්නට ඉඩ තිබේ.

මෙම ක්‍රමය අලුත් දෙයක් නොවේ. ඉතිහාසයේ හැමදාමත් සිදු වී ඇත. අය වැය දෙපාර්තමේන්තුවේ ඉන්නා නිලධාරීන් ඉලක්කම් ගැන හොඳ අවබෝධයක් ඇති පිරිසකි. සහන දෙන්නට පුළුවන් තැන හා දෙන බව කියා නොදෙන්නට මග පාදන ක්‍රම ගැන දැනගෙන සිටී.

මෑත වසර දහය තුළ අය වැය ගවේෂණය  කළහොත් පුරාජේරුවලට පමණක් සීමා වූ අදහස් සෑහෙන ප්‍රමාණයකි. ජනතාවට බෙදා දෙන ඉඩම්, රජයේ වියදමින් නිවාස, ග්‍රාමීය දුප්පත්කම නැතිකරන ණය යෝජනා ක්‍රම, රන් උකස් ණය කපා හැරීම්, නිවාස දඩ පොලිය අත්හැර දැමීම, විදේශ රැකියාවල නිරත වී මෙරටට එන අය ගෙන එන ව්‍යවසාය යන්ත්‍ර සූත්‍ර වලට වෙනම බදු සහන යනාදී වශයෙන් යෝජනා මාලාවක් දැක්විය හැකිය.

මෙම වරප්‍රසාද ලැබුණේ කවර ජන කොටසට ද යන්න දන්නා කෙනෙකු නැත. තමන්ට සහනයක් ගන්නට බැංකුවක් හෝ රාජ්‍ය ආයතනයක් වෙත යන කිසිවෙකුට ඒවායේ පහසුවක් ලැබී ඇත්නම් ඉදිරිපත් කරන වගකීමක් ආණ්ඩුවට තිබේ. අය වැය යෝජනාවල දී දෙන දේවල් ගැන කියන කතාන්දර ඇත්ත කර ගැනීම අරමුණු කරගෙන පොදු ජනතා ව්‍යාපාරයක් රටට අවශ්‍යය.

2011 වසරේ දී රජයේ සෑම බැංකුවකම ආයෝජන අරමුදල් ගිණුමක් ඇති කිරීමට යෝජනා කළ අතර 2013 වනවිට රුපියල් බිලියන 10ක පමණ අරමුදල් බැංකු සතුව තිබුණි. ලංකා බැංකුව, මහජන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් සෑම දිස්ත්‍රික්කයක ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට විශේෂිත වූ බැංකු ශාඛා 2012 වර්ෂය තුළ පිහිටුවීමට අය වැය යෝජනා කළේය.

ඉනික්බිතිව බැංකු හා මූල්‍ය අංශය තුළ කරන වෙනස්කම් යෝජනා කළේය. ලීසිං කර්මාන්තය බැංකු වලින් ඉවත් කරන්නට යෝජනා කළ අතර රන් උකස් සේවාව ද බැංකු මෙහෙයුම් වලින් සියයට පහකට සීමා කරන බව අය වැය මගින් කියා සිටියේ වත්මන් ආණ්ඩුව බව පෙන්වා දිය යුතුය.

වාණිජ බැංකුවලට මෙතෙක් ආදායම් උත්පාදනය කරන ලද ක්ෂේත්‍ර අත්හැර අලුත් දේ වෙනුවෙන් යෙදවෙන්නට සිදුවෙයි. එය වැදගත්ය. එම යෝජනා මග හැර ගොස් තිබේ.


2014 අය වැය මගින්  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නියාමන අධිකාරියක් පිහිටුවන බව කියා සිටියේය. ණය සහන වැඩ පිළිවෙල ඒකාබද්ධ කරන අතර තෝරාගත් ස්වයං රැකියා ව්‍යාපාර දිරිගන්වන්නට රුපියල් මිලියන 500 ක අරමුදලක් එහි දී වෙන් කරන ලදී. අදටත් මෙම අරමුදලෙන් ප්‍රතිලාභ ගත් අය නැත. අවුරුදු පහකට පසු නැවත වතාවක් වත්මන් ආණ්ඩුව බැංකු වලින් ණය ලබා ගත නොහැකි ව්‍යවසායකයන් වෙනුවෙන් ඇප අරමුදලක් වෙනුවෙන් 2019 වසර සඳහා රු. මිලියන 500 ක් වෙන් කර තිබේ.

ග්‍රාමීය ණය සංස්කෘතිය විශාල විනාශයක් කර ඇත. බැංකු ජනතාවගෙන් ඈත් වී තිබේ. ක්ෂුද්‍ර ණය සමාගම් ජනතාව සූරා කමින් සිටිති. විශේෂයෙන් ණය ගෙවාගත නොහැකි කාන්තාවෝ ලිංගික අල්ලස්වලට ගොදුරු වී ඇති බව මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. එදා යෝජනා ක්‍රියාවට නැගුණේ නම් අද මෙවැනි විපත් නැත.

බැංකු වලින් අපේක්ෂා කරන ධාරිතාව පුළුල් කරන අවස්ථාවේ දී මෙම යටගියාව පසුවිපරම් කිරීමේ වගකීමක් ආණ්ඩුවට තිබේ. දුප්පත් හා සමෘද්ධිය ලබන කාන්තාවන්ට රුපියල් ලක්ෂ දෙකහමාර දක්වා ස්වයං රැකියා කරගෙන යෑමේ ණයක්  ඇප රහිතව දෙන්නැයි 2015 අය වැය දැක්වීය. එය ගැන බැංකු අවධානයක් යොමු කළේ නැති බව ද දක්වන්නට අවශ්‍යය.

ආණ්ඩුව වැවිලි සමාගම්වලට අයත් අක්කර 37,000කට අධික ප්‍රයෝජනයට නොගත් ඉඩම් අවුරුදු තිහක කුලී බදු ක්‍රමය යටතේ අක්කර දෙක බැගින් තරුණන්ට බෙදාහැරීමට 2012 වසරේ යෝජනා කළේය. අද වන තෙක් මේවා බෙදා දී නැත. එය පැත්තකින් තියන ආණ්ඩුව ඒවා පරණ යෝජනා යැයි කියනු නිසැකය. අලුතින් විවාහයට එළැඹෙන යුවතිපතීන්ට බැංකුවකින් රුපියල් මිලියන දහයක් දක්වා අඩු පොලී ණයක් දෙන ප්‍රකාශය වලංගු එකක්ද? මෙම ණය ගැන චක්‍ර ලේඛන නිකුත් වී නැත.

අයවැය යෝජනාව අනුව සියයට හතක අඩු පොලියක් අවුරුදු පහක කාලයකට ලැබේ. අවුරුදු විසි පහක ණයක් නම් ඉතිරි වසර විස්ස සාමාන්‍ය බැංකු පොලිය ගෙවිය යුතුය. තනි මහලක නිවසක් තනන්නට මිලියන දහයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය හෝ පෞද්ගලික අංශයේ නිවාස යෝජනා ක්‍රමවලින් මිල දී ගත හැකි බව දක්වා තිබේ.

සියයට හතළිහක ප්‍රතිශතයක් අඩුවෙන් එනම් සියයට හතක පොලියකට අවුරුදු පහක කාලය සඳහා ආණ්ඩුව එක යුවළකට ගෙවන්නට සූදානම් සහන මුදල පමණක් රුපියල් ලක්ෂ තිස් පහකි. එක යුවළක් වෙනුවෙන් මෙම මුදල ගෙවන්නට වත්මන් ආණ්ඩුව සූදානම් ද? අමතක කළ යුතු නැති දෙයක් තිබේ. ණය ඉල්ලන යුවතිපතීහු වසර විසි පහකට ඉල්ලන්නේ නම් ඉතිරි කාලය මෙම ණය මුදලේ සහනය රහිතව සම්පූර්ණ පොලිය ගෙවා ගෙන යා යුතුය.

විදේශගත ශ්‍රී ලාංකිකයන් එවන  වැටුප මෙරට විනිමය උපයන ප්‍රධාන ආදායම් මාර්ගය වී තිබේ. එම විනිමය හිඟ වුවහොත් මැති ඇමැතිවරුන්ට කාර් පමණක් නොව, රටට අවශ්‍ය ඉන්ධන ආනයනය ද කරගත නොහැකිය. එම වටිනා මිනිසුන්ගේ ඉරණම “සිහින මාලිගා” යනුවෙන් නම් කර තිබේ. පොලියෙන් සියයට හැත්තෑ පහක් අඩු කර ණය දෙන බව කියා තිබේ. මිලියන දෙකක ජනගහනයක් විදේශගතව සිටිති.

එක අයෙකු රු. දස ලක්ෂයක් ණය ඉල්ලා සිටියහොත් දෙන්නට ආණ්ඩුවට පුළුවන් කමක් තිබේද? කපා හරින පොලිය යුවතිපති නිවාස ණයට වඩා තවත් වැඩි බව ඉතාම පැහැදිලිය. පොලිය ප්‍රතිපූර්ණය කරන්නේ කොතැනින්ද? යුවතිපතින්ගේ ණය පමණක් නොව විදේශගත ශ්‍රමිකයන්ගේ සහන යෝජනා ප්‍රායෝගික ඒවා නොවේ. ඉදිරි මාස හත අට තුළ අමතක කළ හැකි යෝජනාය. මේවා වචන වශයෙන් අතීතයට එකතු වනු නිසැකය. අහිංසක ජනතාවගේ බලාපොරොත්තු වලට අපහාස කිරීම යුක්ති සහගත නොවේ.

ඉතිහාසයේ කරන ලද වැරදි නැවත සිදු නොකරන බවට ආණ්ඩුව වග බලා ගත යුතුය. ඇත්ත වටහා ගන්නා ජනතාවගේ කෝපය පාලනය කිරීම පහසු නැත.

ආණ්ඩුව අයවැය මගින් ඉදිරිපත් කර ඇති අස්වැන්න,  ගොවි නවෝදා, රිය ශක්ති, සිටි රයිඞ්, මිනි ටැක්සි,  රිවි බල සවි, දිරි සවිය, ජය ඉසුරු, සොඳූරු පියස, මාධ්‍ය අරුණ ඇතුළු සියළු යෝජනා ක්‍රමවල අභ්‍යන්තරය පරීක්ෂා කළ යුතුව තිබේ.

මෙම සෑම යෝජනා ක්‍රමයකටම පොලිය අඩුකර ඒවායේ පරතරය ආණ්ඩුව පියවන බව දක්වා ඇත. මහා භාණ්ඩාගාරය මෙම පොලී මුදල් බැංකු වලට ගෙවන්නට සූදානම්ද? අභ්‍යන්තර චක්‍රලේඛනවලට අනුව ණය ප්‍රචාරණය හැර ණය නිකුත් කිරීම දරුණු සේ සීමා කරනු ඇති අතර අපේක්ෂිතයන් තද කොන්දේසිවල පටලවා අධෛර්යවත් කරනු ඇත.

2019 අය වැය මගින් බැංකු පද්ධතිය භාවිතා කර නිකුත් කරන සහන ණයවලට ප්‍රතිපාදන වෙන් කර ඇති අංශ තුනක් තිබේ. ආසියානු සංවර්ධන බැංකුව හා ජපාන ආර්ථික සහයෝගිතාව ඒවාට ආධාර කරයි. එකක්  සියයට අටක සහන පොලියකට වසර දහයක් දක්වා ආපසු ගෙවන පොලියකට සූර්ය තාප විදුලිය ලබා ගැනීමට පාරිභෝගිකයන්ට ඇති පහසුවයි. එය ප්‍රායෝගිකය. අතිරේක පොලිය ලැබෙන ආකාරය තිබේ.

සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 50-200 අතර මුදලකට ගිවිසුම් අත්සන් කර ඇත. අනෙක කුඩා හා මධ්‍ය පරිමාණ ණය යෝජනා ක්‍රම වෙනුවෙන් රුපියල් ලක්ෂ පනහක් දක්වා සියයට 11-14 අතර පොලියකට ණය සැපයීමය. එයට ද ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො. මිලියන 175 ක් ලැබී ඇත. කැලණි ගඟට අපවිත්‍ර ජලය හෙළන සමාගම්වලට ඒවා නවීකරණය කරගැනීමට ලක්ෂ තිහක ණයක් සියයට 6.5 ක පොලියට ලැබේ.

ගොවි සමිති හා කෘෂි සංවිධාන ජාලවලට මේවායේ වාරිකය හා පොලිය සියයට හැත්තෑ පහ දක්වා ආසියානු සංවර්ධන  බැංකු ණය අනුව ආණ්ඩුවෙන් ප්‍රතිපූර්ණය කරන මුදලක් ඉල්ලා සිටිය හැකි අතර ව්‍යාපෘති වියදමෙන් තුනෙන් එකක් පමණක් ණය වශයෙන් සැපයේ. එය වෙනුවෙන් ද ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් නිදහස් කරන්නට එකඟ වී ඇත.

අය වැය මගින් කරන යෝජනා අතරට මෙවැනි ප්‍රායෝගිකව කළ හැකි දේ යටින් එකතුකර මතුපිටින් යුවතිපති, සිහින මාලිගා හෝ අස්වැන්න වැනි අනවශ්‍ය දේ ඔබ්බවා මිථ්‍යාව පතුරවන්නේ මන්ද යන්න ප්‍රශ්න නොකරන දේශපාලනයක් මෙරට පවත්වාගෙනයෑම කනගාටුවට කරුණකි.

ඡායාරූපය : මංජුල පෙරේරා

ජී.කේ.ජී. සරත්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.