lakbima.lk

නුදුටු ව්‍යවස්ථාවකට චෝදනා එල්ල කිරීම සාධාරණද? - මහාචාර්ය කේ.එන්. ඕ. සොයිසා

ඉදිරි මාසයේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඑන බව ආණ්ඩුව දැනටමත් ප්‍රකාශ කර තිබේ. ඒ පිළිබඳ ගිය සතියේ ‘ලක්බිම’ට අදහස් දැක්වූ ජනපති නීතිඥ මනෝහර සිල්වා කීවේ, එය රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවක් බවය. මේ ඊට වෙනස් මතයක් දරන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයේ සම්මානිත මහාචාර්ය කේ.එන්.ඕ. සොයිසා සමග කළ සාකච්ඡාවකි.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමත්, ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් රට බෙදෙන බවටත් විවිධ අදහස් මේ වන විට සමාජ ගතකරමින් තිබේ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනවාද, ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කුමන ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද යන්න පිළිබද කිසිවෙක් දන්නේ නැත. මීට වසරකට පමණ පෙරදී මෙහෙයුම් කමිටුව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ වාර්තාවක් පදනම් කරගෙන මෙවැනි චෝදනා ඉදිරිපත් කරයි. මෙවැනි වාර්තාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතකට කිසි සේත්ම ගැළපිය හැකි නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු සිවිල් නඩුකරයක් අනුව ලබාදෙන ඔප්පුවක් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රටවල් බෙදා නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රටවල් එක්සේසත් කර ඇති බව ව්‍යවස්ථා ඉතිහාසය දෙස බලන විට පෙනී යයි.

බෙදීයාමට තිබූ රටවල් එක්සත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් මගිනි. දැන් ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරමින් රට බෙදෙන බවට චෝදනා කරයි. ෆෙඩරල් යනු රට බෙදීම නොවේ. එය වැරදි අදහසකි. ෆෙඩරල් යනු බලය බෙදීමයි. රාජ්‍යයේ බලය කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා බෙදා හැරිය හැකිය. එවිට පරිධියේ බල කේන්ද්‍රයන් එකකට වඩා සිටිය හැකිය. ලංකාවේ පළාත් සභා මේ සඳහා උදාහරණයයි. ෆෙඩරල් යනු සමූහය යන අර්ථය ලබා දෙන්නකි. පෙඩරල් යන අදහස පැමිණිය හැක්කේ මේ වන විට පවතින රාජ්‍යයන් එකට එක් වී ෆෙඩරල් රාජ්‍යයක් ගොඩ නගාගැනීමෙන්ය. සමූහයක් පවතින රජයක් කොටස්වලට බෙදා නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් එක් කළ හැකි යැයි අදහස් පළවේ. එහෙත් රාජ්‍යයක් බෙදා වෙන් කර නැවත එකට එක් කරන ආකාරයේ ෆෙඩරල් ක්‍රමයන් ක්‍රියාත්මක වන්නේ නැත. ලෝකයේ ඒ සඳහා කිසිදු උදාහරණයක් ලබාදිය නොහැකිය. එහෙත් පවතින රටක ආගමික, වාර්ගික බෙදීම් ඇති ප්‍රබල සුළු ජන කොටස් ඇති විට විවිධත්වය තුළින් ඒකීයත්වය ඇති කිරීම සඳහා පෙඩරල් ක්‍රමය ක්‍රියාත්මක කරයි.

සන්ධීය ක්‍රමයක් යනු රට බෙදීමක් නොවේ. එය ආණ්ඩු ක්‍රමයකි. රටේ ස්වාධිපති බලය එක් කේන්ද්‍රක් මගින් ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රමයකට ඒකීය ආණ්ඩුක්‍රමයක් යැයි ප්‍රකාශ කරන අතර යම් රාජ්‍යයක් තුළ ස්වාධිපති බලය ක්‍රියාවට නැංවීමට මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාදේශීය ආණ්ඩු කිහිපයක් ඇති විට ඒවා සන්ධීය ආණ්ඩුක්‍රම ලෙස හඳුන්වයි. සන්ධීය යනු රටවල් බෙදන ආණ්ඩුක්‍රමයක් නොව රටවල් එක් කරන ආණ්ඩුක්‍රමයක් බව තේරුම් ගත යුතුය.

ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවත්, එයින් රට බෙදන බවටත් චෝදනා කරන පුද්ගලයන් අතරින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැක ඇත්තේ කවුරුන්ද? එය කිසිවෙක් දැක නැත. බලය බෙදීමක් රට බෙදීමක් ලෙස අර්ථ කථනය කිරීම සාධාරණද යන ප්‍රශ්නය මෙම චෝදනා එල්ල කරන අය වෙත නැවත එල්ල කළ යුතුය. බලය බෙදීම යනු එකකි. රටක් බෙදීම යනු තවත් එකකි. මේ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කර ඇති යෝජනා ගැන මොවුන් දිගින් දිගටම පවසති. එහෙත් එම යෝජනා පිළිගෙන තිබෙන්නේද යන් ප්‍රශ්නය නැවත ඔවුන් වෙතම යොමු කළ යුතුව ඇත.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රට බෙදන්නේය යන්න මොහොතකට උකල්පනය කරන්න. එසේ නම් එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිම්න්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගත යුතුය. ඉන් පසුව ජනමත විචාරණයකින් සම්මත කරගත යුතුය. මේ වන තෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර නැත. එවැනි කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නැත. මතෛක් සකස් නොකළ, නුදුටු ව්‍යවස්ථාවක් නිර්මාණය කර ඇත්තේ මෙරට සිටින සමහර ස්වාමීන්වහන්සේලා, විමල් වීරවංශලා, උදය ගම්මන්පිලලා වැනි කණ්ඩායමකි. මොවුන් කතා කරන්නේ රනිල් වික්‍රමසිංහ, සුමන්තිරන් හෝ ජයම්පති වික්‍රමරත්න සකස් කළ ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් නොවේ. මේ ආණ්ඩුව විසින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ නම් මේ සියල්ලටම පෙර අප දැනගත යුතුය. පාර්ලිමේන්තුවේ සිටින  අය විමල් වීරවංශට, උදය ගම්මන්පිලට දැන් කිව යුත්තේ ඔවුන් කියන ව්‍යවස්ථාව පෙන්වන්න කියාය. ව්‍යවස්ථාව ගැන කිසිදු දැනුමක් නොමැති ස්වාමීන්වහන්සේලා, ව්‍යවස්ථාවක් යනු කුමක්දැයි අර්ථකතනය කළ නොහැකි විමල් වීරවංශ, පඩිපෙ‍ලේ නීතීඥයෙක් වන උදය ගම්මන්පිල වර්ගවාදයෙන්, ආගම්වාදයෙන් ජනතාව මත් කර තිබේ. එය හෙරොයින් පානය කිරීමට දී ජනතාව මත් කරන ආකාරයේ මත් කිරීමකි. බඩගින්නෙන් මියැදෙමින් සිටින ආගම්වාදියෙක්ට බුද්ධාගම විනාශ වන්නේ යැයි කිවහොත් තමන්ගේ ඉතිරිවී ඇති පණ ‍පොද යොදන්නේ ආගම වෙනුවෙන් පෙනී සිටීමටය. මෙතැන තිබෙන්නේ දේශපාලනයකි. 

2020 ජනාධිපතිවරණයේදී කවුරුන් ඉදිරිපත් වුවත් රනිල් වික්‍රමසිංහට විරුද්ධව ඉදිරිපත් වන අපේක්ෂකයාට ඇත්තේ ආගම්වාදයයි. වර්ගවාදයයි. ජාතිවාදයයි. එම ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් කිසිදු අයෙකුට ජනාධිපති විය නොහැකිය. ඒ සඳහා සුළු ජන ඡන්ද පදනමක් සකස් කරගත යුතුව ඇත. ඉතිහාසය පුරාම සුළු ජාතීන්ට නම්‍යශීලී පිළිවෙතක් අනුගමනය කළේ එක්සත් ජාතික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂය මොවුන් කෙරෙහි නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබේ. නොයෙක් මතභේද ඇති නමුත් සුළු ජාතික හා සුළු ආගමික කොටස් එක්සත් ජාතික පක්ෂය සමග පෙළගැසී තිබේ. මහින්ද රාජපක්ෂගේ ‍පොහොට්ටුවේ අපෙක්ෂකයාට හෝ මෛත්‍රීපාල සිරිසේනට හෝ ජනාධිපතිවරණය දිනාගැනීමට නම් ප්‍රකාශිත ඡන්දවලින් සියයට පනහයි දශම එකක් ලබාගත යුතුය. සුළු ජන ඡන්ද නොමැතිව මෙම ඡන්ද ප්‍රතිශතය ලබාගැනීමට නොහැකිය. එක්සත් ජාතික පක්ෂයේ සහය නොලැබෙන අපේක්ෂයෙක්ට සුළු ජන ඡන්ද ලබාගැනීමට නොහැකිය. මේ නිසා මොවුන් උත්සාහ ගන්නේ සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණක් මෙම ඡන්ද ප්‍රතිශතය ලබාගැනීමටය. ඔවුන් එම උත්සාහය සාර්ථ කරගැනීමට මාන බලන්නේ ආගම්වාදය හා ජාතිවාදය වැපිරීමෙනි. මෙම සමාජගත කිරීමට විරුද්ධ අදහස සමාජගත කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් ලැබි නැත. එක්සත් ජාතික පක්ෂයේ සිටින සමහර කණ්ඩායම තමන්ගේ ඡන්ද පදනම ආරක්ෂා කරගැනීම සඳහා එයට විරුද්ධව හඬ නගන්නේ නැත.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් රට බෙදෙන්නේ නම් ඔවුන් මුලින් කළ යුත්තේ ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමය. ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ කරුණු ඉදිරිපත් කළ හැකිය. ඉඩම් බෙදීමට මිනින්දෝරුවන් පිඹුරුපත් සකස් කරන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිර්මාණය කළ නොහැකි බව මොවුන් තේරුම් ගත යුතුය. ව්‍යවස්ථාවක් සකස් කිරීමක් යනු ව්‍යවස්ථාමය කාරණයකි. ව්‍යවස්ථාව හා සම්න්ධව සිටින බහුතරය සිංහල බෞද්ධයන්ය. ඔවුන් රටක්, ආගමක්, ජාතියක් නොමැති ඕපපාතිකයන් නොවේ. සිංහලයන් සියයට හැත්තෑවක් සිටින රටක ඔවුන්ට විරුද්ධ වන ආකාරයේ ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරමින් තමන්ගේ දේශපාලන අනාගතය සම්පූර්ණයෙන් විනාශ කරගැනීමට ඔවුන් කිසිවෙක් කටයුතු කරන්නේ නැත.

මේ රටේ ආගමට තැන දෙනවාද, ඒකීය රාජ්‍යයක් පවත්වාගෙන යනවාද යන්නට වඩා වැදගත් වන්නේ ජාතියක් ලෙස ශ්‍රී ලංකාව එක්සත් කිරීමය. රටේ තිබෙන වාර්ගික ගැටලුවට විසඳුම් ලබාදීමය. ජාතික ඒකාග්‍රතාවය ගොඩනගාගැනීම රටේ පැවැත්මට විශේෂයෙන් බලපායි. එක ජාතියක් එක රටක් ලෙස කටයුතුකරන්නේ නැතිනම් රටේ දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැගෙන්නේ නැත. දේශපාලනය අස්ථාවර වෙයි. එවිට සෑම පැත්තකින්ම රට ගැටලුකාරී තත්ත්වයකට පත්වෙයි. ආර්ථික සංවර්ධනයේ අත්‍යවශ්‍ය කොන්දේසියක් වන්නේ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමයි. ආර්ථික ස්ථාවරයත්වයක් ඇතිකර ගැනීමට විදේශීය ආයෝජන ලබාගත යුතුය. විදේශීය ප්‍රාග්ධනය ආයෝජන ලෙස ලබා ගැනීම ගැටලුකාරී වී ඇති නිසා ණය ලෙස ප්‍රාග්ධනය ලබාගැනීමට සිදුවී තිබේ. ආයෝජන ලෙස ප්‍රාග්ධනය නොලැබෙන්නේ ඒ සඳහා සුදුසු දේශපාලන ස්ථාවරත්වයක් රට තුළ නොතිබිම නිසාය.

අවුරුදු තිහක් තිස්සේ යුද්ධ කළ සුළු ජන වාර්ගික ගැටලුවට විසදුම් ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට හැකිය. දෙමළ මුස්ලිම් වර්ගවාදය ඉස්මතුවී තිබෙන්නේ සිංහල වර්ගවාදය විසින් ඔවුන් ඒ තත්ත්වය දක්වා වර්ධනය කිරීමය. මේ තත්ත්වයට ආමන්ත්‍රණය කළ හැකි එක් ක්‍රමයක් වන්නේ ආණ්ඩුක්‍රමයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සමාන පුද්ගලයන්ට සමාන ඉඩ ප්‍රස්ථාවක් ලබාදිය හැකිය. රාජ්‍යය යනු එක් වර්ගයකට අයත් දෙයක් නොවේ ජාතියටම අයත් දෙයක් බව තහවුරු කළ හැකිය. මේ මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රාජ්‍ය හා ජාතිය ගොඩනැගිය හැකිය. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව මගින් ශ්‍රී ලංකාව ‍පොදු දේපළක් බවට පත් කළ යුතුය. එය ‍පොදු හිමිකමක් ඇති දෙයක් බවට පත් කළ යුතුය. එය එක් වාර්ගික කණ්ඩායමකට පමණක් අයත් දෙයක් නොව සමස්ත ජාතියකටම අයත් දෙයක් බව තහවුරු කළ යුතුය. ඒ අතරම සමාන පුරවැසියන් සමාන අයිතිවාසිකම් ඇති පුද්ගලයන් බවට ව්‍යවස්ථාවෙන් පත් කළ යුතුය.

රටක පුරවැසිභාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දක්වා තිබිම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. එය රටේ මූලික නීතිය මගින් අර්ථවත් කළ යුතුය. ඒ සඳහා සමාන පුරවැසියන්, සමාන අයිතිවාසිකම් ඇති පුද්ගලයන් සේ සැලකිය යුතුය. දැන් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ ජීවත්වන පුරවැසියන් සේ පිළිගෙන ඇති නමුත් ඔවුන් අසමාන අයිතිවාසිකම් ඇති පුරවැසියන් සේ වර්ග කර ඇත. සිංහල බෞද්ධයන් ඒ ශ්‍රේණීයේ පුරවැසියන් ලෙස අර්ථවත් වන අතර අනෙක් පුවැසියන් බි ශ්‍රේණියේ පුරවැසියන් බවට පත්වෙයි. බි ශ්‍රේණියේ පුරවැසියන් බවට පත්වී කටයුතු කිරීමට කිසිවෙක් කැමැති වන්නේ නැත.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් විසඳුම් ලබාදිය යුත්තේ මේ සඳහාය. එසේ විසඳුම් ලබාදීමේදී නොදුටු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් පිළිබඳ චෝදනා එල්ල කිරීම සාධාරණ නොවේ.

සාකච්ඡා කළේ : සංජය නල්ලපෙරුම

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.