lakbima.lk

විදේශ මුදල් අලූතින් සොයා ගැනීමේ වගකීම

ආර්ථිකයේ යථාර්ථය මිථ්‍යාවෙන් ආවරණය කරන්නට පුළුවන්කමක් නැත. ඉල්ලූම හා සැපයුම සියල්ල තීරණය කරයි. මෑත කාලීනව ශ‍්‍රී ලංකාව උග‍්‍ර විනිමය හිඟයකට මුහුණ පා ඇති බව නොරහසකි. රුපියලේ අගය අවප‍්‍රමාණය වීමේ වේගය එය පෙන්වයි. ලෝකයේ නොයෙක් තැන රඳවා ඇතැයි සැක කරන විදේශ සම්පත් රටට හැකි ඉක්මනින් ගෙන්වන්නැයි ආණ්ඩුව ඉල්ලා තිබේ. අනෙක සෘජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීමේ උත්සාහයයි. එය අරබයා නව සංශෝධන පනවනු බව ප‍්‍රකාශවෙයි. කවර ක‍්‍රමයකින් හෝ රටට වුවමනා කර ඇති විදේශ සම්පත් උපයා ගැනීම ආණ්ඩුවේ වගකීම වී තිබේ.

මාස ගණනකට කලින් එනම් සැප්තැම්බර්වල දී රුපියල් 168.00ක් වූ ඇමෙරිකානු ඩොලරයක විකිණුම් මිල අද වන විට රුපියල් 182.57කි. ඇමෙරිකානු ඩොලර් සියයක් දෙසීයක් ඇති පුද්ගලයෙකුගේ සිට මහා පරිමාණ ආයෝජකයෙකු තමන්ගේ ඉපැයීම් කෙටි කාලයක් ප‍්‍රමාද කරන්නට කැමැතිය. පමාවෙන දවසක් පාසා ලංකාවේ දී ඩොලර් මාරු කරන විට වැඩි රුපියල් ප‍්‍රමාණයක් අතට ලැබේ. පුවත් පත් සාකච්ඡුාවක දී කරන ඉල්ලීමකින් හෝ අලූත් නීති පැනවීමකින් ආදායමක් උපයා ගන්නට ඇති අවස්ථාව මගහරින ලාංකිකයෙකු සිටීද? විදේශ විනිමය තර කැර ගැනීමට වැර දරන රටට ඇති මූලික ප‍්‍රශ්නය එයයි. අනෙක මෙරට ආයෝජනයට ගෙන එන විනිමයවලින් වැඩි රුපියල් ප‍්‍රමාණයක් උපයාගෙන කර්මාන්ත හෝ ව්‍යාපාර කරන්නට අවස්ථාව ඇත. විදේශික සමාගමකට සිය ආයෝජනය මත නැවත ඩොලර් ප‍්‍රතිලාභ උපයා ගැනීමේ දී අමතර වාසි සීමා වෙයි. ආයෝජනයේ තරමට උපයා ගන්නට මගක් නැත. තේරුම් ගත යුතු ප‍්‍රායෝගික පැත්ත එයයි. සුළු වශයෙන් ඩොලර් උපයා එවන පාර්ශ්වයට පමණක් නොව ව්‍යවසායකයන් හා ආයෝජකයන්ට ද ගැළපෙන මූල්‍ය ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතුය. එය කළ හැකි ඉල්ලූම පාලනය කිරීමෙන් හෝ ඩොලර් ඉල්ලූමට සමාන ප‍්‍රමාණයක් නිදහස් කරන්නට රජයේ මූල්‍ය පද්ධතියට හැකියාව ඇතොත් පමණකි.

ශ‍්‍රී ලංකාවේ විදේශ වෙළෙඳාමේ වාර්ෂික අවශ්‍යතා වෙනුවෙන් අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන විස්සක් අවශ්‍යය. පසුගිය වසරේ පවා ආයෝජන වෙනුවෙන් ඩොලර් බිලියන විස්සක් වියදම් කරන ශ‍්‍රී ලංකා ආණ්ඩුවට වත්කම සේ උපයා ගත හැකිව තිබුණේ එයින් හරි අඩක් එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන දහයක් පමණකි. වසර අවසානයේ දී ජංගම ගිණුම පියවන තෙක් රටට විදේශ සම්පත් සංචිතයක් අවශ්‍යය. එය සමහර විට මාස තුනක් හෝ එයට වඩා ආනයනවලට ප‍්‍රමාණවත් විය යුතු විදේශ විනිමය ප‍්‍රමාණයකි. පසුගිය කාලයේ දී එම විදේශ සම්පත් වත්කම හැදෙන්නේ රාජ්‍ය දේපොළ විකිණීමෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාවකාලික ණය සංචිතයෙන් හා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමෙන් බව පෙන්වා දිය යුතුය. ඉන්දියානු ආණ්ඩුව ඇමෙරිකානු ඩොලර් බිලියනයක ප‍්‍රමාණයක් රට තුළ රඳවා ඇති අතර එය විශාල ආශීර්වාදයකි. රටට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීම සඳහා අපනයනය හැර අනෙක් ස්ථාවර මාර්ගයක් නැත. මොනවා හෝ නිපදවා ඒවා විදේශ රටවලට විකිණිය යුතු අතර එයින් ලැබෙන ආදායම ආර්ථිකයේ ශක්තිය බවට හරවා ගත යුතුය. දේශපාලනඥයන්ට නොවැටහෙන මෙම යථාර්ථය මෙරට ප‍්‍රතිපත්ති සම්පාදකයෝ හොඳින් දනී. මහා භාණ්ඩාගාරය හෝ මහ බැංකුව එම යථාර්ථය නොදන්නවා නොවේ. නමුත් තාවකාලික මාර්ගවලින් ජනතාව රවටනු හැරෙන්නට රටට දර්ශනයක් ගෙන එන්නට මෙරට දේශපාලනඥයෝ සමත්ව නැත.  

රටට හිතකර ආකාරයට අලූත් අපනයන අවස්ථා සොයාගන්නා මෙහෙයුමක් කරන්නට ආණ්ඩුවට වගකීමක් තිබේ. 2005වසරේ දී මෙරට දළ දේශීය නිෂ්පාදිතය මෙන් සියයට 33ක් වටිනා දේ මෙරටින් අපනයනය කළේය. එය එවකට ප‍්‍රශස්ත ආදායමකි. 2012දී එය සියයට 11දක්වා අඩුවී ඇත. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව එකතු වී ලෝකයේ රටවල් අතර අපනයන ආදායම එම රටවල දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් ගැනෙන ආකාරය සොයා බලා තිබේ. එය කර ඇත්තේ 2011අවුරුද්දේ දීය. එවකට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිශතය සියයට 17.1කි. දකුණු කොරියාව සියයට 49.7ක්, මලයාසියාව සියයට 78.4ක්, සිංගප්පූරුව සියයට 170.2ක්, වියට්නාමය සියයට 78.4ක් සහ තායිලන්තය සියයට 67.3ක් වශයෙන් අපනයනය ආදායම උපයා ගෙන ඇත. 1960දී එක මට්ටමක සිටි රටවල් දෙකක් වන ශ‍්‍රී ලංකාව හා සිංගප්පූරුව වෙත අවධානය යොමු කරන්න. අද වන විට සිංගප්පූරුවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 274ක් සහ ශ‍්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 65ක් බව දැක්වේ. මෙම රටවල් දෙක අතර අපනයන ආදායම කොපමණ විශාල පරතරයකද?ප‍්‍රශ්නය ඇත්තේ එතැනය. රට ගොඩනගන්නට නම් නිෂ්පාදනය කරන්නේ කුමක්ද? අලූතින් නිපදවා ලෝක වෙළෙඳපොළට විකුණන්නේ මොනවාද? යන්න තීරණය කළ යුතුය. එකම බොරතෙල් ළිඳක් නැති සිංගප්පූරුව ලෝකයේ බොරතෙල් නිෂ්පාදන අපනයනයෙන් ආදායම් උපයන රටවල් ලැයිස්තුවේ හතරවැනි තැනය. ගුවන් තොටුපොළක් තනන්නට ඉඩමක් නැති සිංගප්පූරුව ලෝකයේ හොඳම ගුවන් සේවාව පවත්වාගෙන යයි. මේවා සැලසුමකට අනුව කරගෙන ගිය වැඩ පිළිවෙළවල සාර්ථකත්වය බව සඳහන් කරන්නට අවශ්‍යය.

1980 ගණන්වල ඇඟලූම් කර්මාන්තය ව්‍යාප්ත කිරීමෙන් පසු අද දක්වා අපනයනය ඉලක්ක කරන විශාල නිෂ්පාදන ක‍්‍රියාවලියක් අරඹා නැත. කෘෂි අංශයෙන් ඉදිරියට ගමන් කිරීමේ අවස්ථාවක් රටට තිබේ. ඉදිරි සියවසේ ලෝකයේ ආහාර හා ජලය වෙනුවෙන් විශාල වෙළෙඳ පොළක් හැදෙන බව ජාත්‍යන්තර විද්‍යාර්ථීහු පෙන්වා දී තිබේ. හොඳ මහ පොළොවක් දක්ෂ මානව සම්පතක් ඇති රටක් ඒවා ප‍්‍රාග්ධනය සේ සලකන්නේ නැත. එය විශාල ප‍්‍රශ්නයකි. අපනයනය අරමුණු කරගෙන විදේශ සමාගම් වලට මෙරට ආයෝජනයට ඉඩ දෙන විට රට තුළ විශාල විරෝධයක් පැන නැගිණ. අපහාස උපහාස කළේය. අද මෙරට ඉඩමක් කෙසෙල් හෝ උක් වගාවට දෙන විට මරාගෙන මැරෙන විරෝධතා කරන්නට දේශපාලනඥයෝ සූදානම්ය. එක ඩොලර් එකක් උපයා දී රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට මහන්සි නොවෙන ඇතැම් දේශපාලනඥයන් කිසියම් ආයෝජනයක් ආපසු හැරී යන තුරු පෙරළා පහර දී අනතුරුව විනිමය අර්බුදයක් බව ප‍්‍රකාශ කර ආණ්ඩුවලට දොස් තැබීම ඉතාම අනුවණ ක‍්‍රියාවකි.

රටට අලූත් වරායක් ඇත. ගුවන් තොටුපොළ දෙකකි. ගුවන් සමාගම්  අධිවේගී මාර්ග පද්ධතියක් තිබේ. තොරතුරු තාක්ෂණය බහුලය. මානව සම්පත දක්ෂ බව අවිවාදිතය. යටිතල පහසුව දියුණු වී තිබීම විශාල සාධකයකි. සාමකාමී පරිසරයක් ඇත. දේශපාලන අස්ථාවර භාවය පහ කර අනතුරුව පිටරටට විකුණන්නට දෙයක් අලූතින් නිපදවන අංශ කෙරෙහි නැඹුරුව ඉතාම වැදගත්ය.

මෙම පැති දියුණු කිරීම ලියන්නා ගේ අදහස් පැන නැගෙන තරමට පහසු නැත. ආර්ථිකයේ ගැටලූ ඇති තැන් ජාත්‍යන්තර මට්ටමින් නිරාකරණය කරගත යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනයක් සමග නැවත සාකච්ඡුා කිරීම අවශ්‍යය. අරමුදල ලබා දුන් තාවකාලික ණය සංචිතයේ හයවැනි වාරිකය ප‍්‍රමාද කර තිබේ. එයට හේතුව පවතින අයහපත් ප‍්‍රතිපත්ති බව නොරහසකි. එය පදනම් කරගෙන මෝඩි ආර්ථික ශ්‍රේණිගත කරන්නන් ශ‍්‍රී ලංකාව පහළ තැනකට නම් කර තිබේ. මේවා අයහපත් අවස්ථා වන අතර රටක් වශයෙන් සියලූ නායකයන් මෙරට පැවැත්ම යොමුවන දිසාව ගැන නිවැරදිව තේරුම් ගැනීම වැදගත්ය.

රට කරන පාලකයන්ට පාර්ලිමේන්තුව තුළ යම් එකඟතාවක් ඇතිකරගත නොහැකිනම් ශ‍්‍රී ලංකාවේ විදේශ සම්පත් හිඟ හෙයින් ලාංකිකයෝ තමන් උපයන ඩොලර් වහා රැගෙන ආ යුතු ඇයි? අපනයනය කරන පිරිස රට ගලවා ගැනීමට හැම ඩොලරයක්ම ගෙන ආ යුතුද? ආයෝජකයන් වහා පැමිණ ශ‍්‍රී ලංකාවේ ධනය යොදවා කර්මාන්ත හෝ ව්‍යාපාර ආරම්භ කරන්නට පියවර ගැනීමේ අවශ්‍යතාවය කුමක්ද? පුවත් පත් සාකච්ඡාවල දී විනිමය ගෙන එන මග ගැන වගාලාප ප‍්‍රකාශ කරන දේශපාලනඥයෝ මෙම පැති කෙරෙහි සිය අවධානය යොමු කළ යුතුය.

ජී.කේ.ජී. සරත්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.