lakbima.lk

වාන් දමා මාස තුනයි පොඩි පෑවිල්ලටත් රටේම වැව් හිඳෙන්නේ ඇයි?

මාස කිහිපයකින් රටේ බොහෝ පළාත්වලට හරිහමන් වැස්සක් වැටුණේ නැත. අනුරාධපුර විලච්චිය අවට ප්‍රදේශවල මෙන්ම පුත්තලම අවට ප්‍රදේශවලද මේ දිනවල පවතිනුයේ තදබල නියං තත්ත්වයකි. මාස් මෝසම නියමිත පරිදි නොලැබිම නිසා සාගර වැනි මහා වැව් දිනෙන් දින දිය සිඳී කාන්තාර වෙස් ගනිමින් තිබෙන්නේය. කුඹුරු කිරීමට තබා බිමට දිය ‍පොදක් නොමැතිව ගොවි ගම්මානවල ජනයා අහසට හූල්ලමින් කල් ගෙවති. දැන් ඉස්සර වගේ නොවෙයි. මහ වර්ෂාවට වැව පිරෙනවා. ඒත් මාස දෙකක් යනකං වතුර අල්ලන් ඉන්නේ නෑ. හිඳිලා යනවා. යැයි ගොවියෝ සුසුම් ලන්නෝය.වැස්ස නැතිව මොනවා කරන්නද ඉරිගේෂන් එකේ අයට කියලා වැඩක් නෑ. වැස්ස නැතිව ඒ ඇත්තෝ වතුර කොහෙං ගේන්නද තවත් අය කියති.
මෙම තත්ත්වය රටේ බොහෝ තැන්වල සුලබව දැකිය හැකි දෙයකි. එහෙත් මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වයෙන් වැඩි වශයෙන් බැට කන ප්‍රදේශයක් ලෙස දැක්විය හැක්කේ වයඹ පළාතේ පුත්තලම ප්‍රදේශයයි. ඒ අතරින් තබ්බෝව වැව ආශ්‍රීත ප්‍රදේශ දරුණු නියඟයකට මුහුණ පා සිටී. මීට මාස දෙක තුනකට පෙර ඇද වැටුණ මහ වැස්ස තබ්බෝව පමණක් නොව ඒ අවට කුඩා වැව් සියල්ලද ලෝබ නැතිව පුරවාලූවේය. ජලකඳ දරාගත නොහැකිව වේලි බිඳී යාවි යැයි බියෙන් වැව බාර නිල දරුවෝ සොරොව් හැර ජල කඳ පිට කර හැරියෝය. එහෙත් ඉන් තුන් මසක් ඇවෑමෙන් අද තබ්බෝව තත්ත්වය අදහාගත නොහැකි තරම්ය. අද වන විට එහි ජල මට්ටම හොඳටම පහත වැටී අවසන්ය. වැව් පතු‍ලේ තැනින් තැන දූපත් ලෙසින් ගොඩ බිම් දැකගත හැක. එළඹෙන කන්නය කෙසේ කුඹුරු කරගම්දෝයි ගොවියෝ සුසුම් ලති.
තබ්බෝව පැරකුම් ගොවි සංවිධානයේ සභාපති සම්පත් චන්දන තබ්බෝව සිඳී යෑම නිසා ඇතිව තිබෙන තත්ත්වය මෙසේ පවසන්නේය. මහ වැස්සට තබ්බෝව වැව වාන් දාලා හරියටම තුන් මාසයයි. ඒත් බලන්න දැන් හැටි. හිඳිලා වේලිලා ගිහින්. හැමෝම හිතන්නේ වැව හිඳුනාම කුඹුරු පාළු වෙන බව විතරයි. ඒත් ඇත්ත කතාව ඊට වෙනස්. වැවේ වතුර තමයි මේ පැත්තේ මිනිස්සු තමන්ගේ අනෙක් කටයුතු වලටත් ගන්නේ. ඒ කියන්නේ වැව හිඳුනාම ගමම අමාරුවේ වැටෙන එක සම්පත් චන්දන පවසන්නේය.
ඔහුගේ කතාව සැබෑවකි. අතීත වැව් ගම්මාන පද්ධති ක්‍රමවේදයද අද දැක ගැනීමට ඇත්තේ අල්ප වශයෙනි. මෙම වැව් ගම්මාන හෙවත්' එල්ලංගා' පද්ධතිය තුළ වන ගම, වැව් හා ජල කළමනාකරණ ක්‍රමවේදය පහුගියදා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය ලොව වැදගත් කෘෂිකාර්මික උරුමයක් ලෙසද ප්‍රකාශයට පත් කළේය. එහෙත් විවිධ මානව ක්‍රියාකාරකම් නිසා වැව් ගම්මාන ආකෘතිය බරපතළ ලෙස වෙනස් වී තිබේ. වර්තමාන ගොවිජන පද ව්‍යාපාර තුළින්ද ඊට සමාන සංස්කෘතියක් ඇති කිරීමට වෙර දරා තිබේ.
තබ්බෝව වැව ඇසුරෙන් කුඹුරු කරන බොහෝ දෙනාට වැව තීරණාත්මක සාධකයකි. වැව හා බැඳී සිටි ඔවුන්ට අද වැව සිඳී යාම නිසා බරපතළ ගැටලු වලට මුහුණ දීමට සිදුව ඇත්තේය.
තබ්බෝව වැවේ ජලය කලුවරගස්වැව ප්‍රාදේශීය සභාවේ ජල ව්‍යාපෘතියකටද ලබාගනී. ඊට අමතරව බවුසර් හා ට්‍රැක්ටර් මගින්ද විවිධ අවශ්‍යතා වෙනුවෙන් ජලය ඉවත ගෙන යයි. මහා ජල තලයක් වන තබ්බෝවෙන් විශාල ජල ප්‍රමාණයක් සූර්ය තාපය හමුවේ  වාෂ්පීකරණයෙන්ද බැහැර වෙයි.
පුත්තලම දිස්ත්‍රික් වාරි ඉංජිනේරු ඩී.සී. හෙට්ටිආරච්චි පවසනුයේ තබ්බෝව වැවේ වත්මන් තත්ත්වයට හේතුව පවතින නියං කාලගුණය බවයි. අපි මේ ගෙවන්නේ නියං කාලයක්. වතුර අඩුවීමට ප්‍රධාන හේතුව ඒකයි. ඒ වගේම තමයි ප්‍රදේශයේ පවතින සැඩ සුළඟ ඒ නිසා වියළි කාලගුණය එක්ක සුළඟ එකතු වුණාම වැව් ජලයේ වාෂ්පීකරණය ඉහළ යනවා. ඉංජිනේරු හෙට්ටිආරච්චි පවසන්නේය. පවතින නියං තත්ත්වය බලපෑම් කරනුයේ තබ්බෝවට පමණක් නොවේ. අවට ප්‍රදේශ ගණනාවක් මෙකී තත්ත්වයෙන් පීඩාවට පත්ව තිබේ. එම තත්ත්වයද තබ්බෝවේ ජල මට්ටම පහත වැටීමට හේතුවකි.
තබ්බෝවට වතුර එන ක්‍රම කීපයක් තිබුණා නියං තත්ත්වය නිසා ඒ මාර්ග සියල්ල අවහිර වුණා. ඉස්සර ඉඟිනිමිටිය ජලාශයේ කුඹුරු කරන්නට දෙන වතුරෙන් කොටසක් තබ්බෝවට එකතු වුණා. ඒත් දැන් ඉඟිනිමිටියට වතුර නිකුත් කිරීම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරලා. ඒක නිසා ඒ පැත්තෙන් තබ්බෝවට වතුර එකතු වෙන්නේ නෑ. ඒත් මේ වැවේ ජලයෙන් කුඹුරු කරන අක්කර 3000කට වැඩි බිම් ප්‍රමාණයකට අපි ජලය දෙන්න ඕන. වතුර ලැබෙන මාර්ග අඩු වුණාට දෙන්න තියෙන ප්‍රමාණය අඩු වෙන්නේ නෑ. මේ ඔක්කොම දේවල් බලපානවා. වැවේ වතුර අඩුවෙන්න, වාරිමාර්ග ඉංජිනේරු ඩී.සී. හෙට්ටිආරච්චි පවසන්නේය.
කෙසේ වෙතත් මේ ගැටලුව තබ්බෝවට පමණක් අදාළ වන්නක් නොවේ. රට පුරා විහිදී ඇති වැව් රැසක් මෙකී අවාසනාවන්ත තත්ත්වයට මුහුණ  දෙමින් සිටී. ඒ පිළිබඳ දේශීය වාරි තාක්ෂණයේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති උදුල බණ්ඩාර අවුසදහාමි මෙසේ පවසන්නේය.
වැව් වල ජලය සිඳීමට විවිධ කරුණු බලපානවා. විශේෂයෙන්ම වැව්වල ඇති මඩ පල්ලම් පාදමේ ඇති මඩ තට්ටු නොතිබිම නිසා වැවේ පහළ ස්ථරයේ වතුර උරා ගැනීම වැඩි වෙනවා. ඒත් මේ තත්ත්වය පසු කාලීනව රොන් මඩ තැන්පත් වීමෙන් අඩු වෙනවා. ඒ වගේම වාෂ්පීකරණයත් හේතුවක් වෙනවා. යැයි ඔහු පවසන්නේය.
වැව්වල ජල මට්ටම මේ අන්දමට පහත වැටීමට ප්‍රදේශයේ වන වැස්ම විනාශව යෑම ප්‍රබල හේතුවකි. අතීතයේ කලාවැව, තිසා වැව, යෝධ ඇළ, යන ජලාශ සියල්ල එකම තුරු වියනකින් වැසී තිබුණේය. එහෙත් වර්තමානයේදී එය බරපතළ  ලෙස විනාශව ගොසිනි.
එකී සිදුවීම උදුල බණ්ඩාරයන් විග්‍රහ කරනුයේ මෙසේය.
වැවේ වැදගත්ම කොටස තමා මෙම  ඉහත්තාව ඉස්සර මින්නේරිය වැවේ ඉහත්තාව අක්කර ලක්ෂයක් විතර ඇති. වැවට වඩා ලොකු ඉහත්තාවක් තිබුණා.
ඒක මහා වනාන්තරයක් වගේ. ඉහත්තාවේ කුඩා වැව් ගණනාවක් තිබුණා. ඒ වැව්වල තිබුණ ජලය මහ වැවේ අඩුපාඩු මකන්න කාන්දු වුණා. ඒක හින්දා වැවේ ජලය පිරී තිබුණා. වන ගහනය නිසා කුඩා වැව්වල ජලය වාෂ්ප වුණේ අඩුවෙන්. ‍පොළොවේ තෙතමනය තිබුණා. අද මේ ඔක්කොම වෙනස් වෙලා.
මහවැලි ව්‍යාපාරය මගින් වාරි ඇළවල් ඉදිකර සෘජුවම මහ වැව් පිරවීම කරන ලදී. එපමණක්ද නොව වර්ෂා කාලයේ වාන් දමන ජල කඳ ඉතා වේගයෙන් මුහුදට යොමු කිරීම නිසා වැව් පද්ධතියේ ජලය පුරවා පහත තෙත් බිම්වල ජලය ගබඩා කරමින් පැවැති ජල කළමනාකරණ ක්‍රමයද බිඳ වැටුණි. මේ සියලු ව්‍යසනවල ප්‍රතිඵලය භූමියේ ජල සම්පත අවම වීමය. එය අද අප අර්ථ දක්වනුයේ ‍පොඩි පෑවිල්ලටත් වැව් හිඳෙනවා ලෙසිනි. එහෙත් සැබවින්ම මේ තත්ත්වයට හේතුව දිගු කාලීනව අප විසින් දේශීය වාරි තාක්ෂණය නොතකා හැරීමය.

 අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

 


 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.