lakbima.lk

මත්ද්‍රව්‍ය මැඩීමට ‍පෝරකය සමත් වේද?

ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට අනුව මානව සංහතියේ හෝ සමාජයේ පැවැත්මට අතිශයින්ම හානිකර ලෙසට සලකා මරණීය දණ්ඩනය නියම කර ඇත්තේ වැරදි හෝ කාරණා  දෙකක් උදෙසාය. එනම් මනුෂ්‍ය ඝාතනය හා අතිශයින්ම විෂ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2කට වඩා ළඟ තබාගැනීම හෝ අලෙවිය යන සිද්ධීන් වේ.
මානව සමාජයේ පැවැත්ම හා සුචරිතභාවය අපේක්ෂාවෙන් මානව සමාජයට නීති පද්ධතියක් හඳුන්වා දීමට සිදුව ඇත්තේ කෙතරම් දුරාතීතයේදී යැයි විමසා බැලීම මෙහිලා අතිශයින්ම වැදගත්ය.
ලෝක ඉතිහාසයේ දැනට අනාවරණය වී ඇති මුල්ම නීති සංග්‍රහය හෝ පද්ධතිය නිර්මාණය කර ඇත්තේ ක්‍රි.පූ. 1760දී හෙවත් දැනට වසර 3800කට පෙර මුළුමහත් මෙස‍පොටේමියාවම පාලනය කළ හම්මුරාබි මහා අධිරාජයා විසින් බව පුරාවිද්‍යාත්මකව තහවුරු වී ඇත. හම්මුරාබි අධිරාජයා එවක සමාජ, ආර්ථික, දේශපාලනික, සදාචාර ක්‍ෂේත්‍ර ප්‍රමුඛ මානව සමාජයට ‍පොදුවේ බලපාන ක්‍ෂේත්‍ර ගණනාවක්ම ආවරණය කෙරෙන පරිදි නීති 300ක් පමණ සිය මනු නීති සංග්‍රහය හෙවත් (ඩ්චථථභපචඡඪඵ ඛිධඤඥ) තුළින් නිර්මාණය කිරීමට සමත් ව ඇත.
පවුල් ජීවිතයේ බිරිඳ හා දරුවන් සුරැකීමත්, ධනවතුන්ගෙන් දිළින්දන් ආරක්ෂා කිරීමත්, සමාජය සොරකමින්, දුරාචාරයෙන් හා අසාධාරණයන්ගෙන් මුදාගැනීමත් අරමුණු කොට නිර්මාණය කර ඇති මෙම නීති සංග්‍රහය මගින් මානව සමාජයේ දඬුවම් අතරට ඇහැට ඇහැක් නීතිය ප්‍රථමවරට හඳුන්වාදී තිබේ.
බැබිලෝනියානු ප්‍රථම රාජ පෙළපත හඳුන්වා දුන් හම්මුරාබි අධිරාජයා රජකම් කළේ ක්‍රි.පූ. 1704 සිට ක්‍රි.පූ. 1662 දක්වා කාලය තුළ යැයි ද ඒන්ෂන්ට් නියර් ඊස්ට් කෘතිය රචනය කළ සයිරස් එච්. ගෝර්ඩන් සඳහන් කරයි. කෙසේ නමුත් හම්මුරාබි රජු නිර්මාණය කළ නීති සංග්‍රහය නූතනයේ පවා ලොව පුරා රටවල් අතිබහුතරයක සිය නීති පද්ධතීන්ට අඩු - වැඩි වශයෙන් ඇතුළත් කර තිබිමත් සුවිශේෂී කාරණයකි.
පුරාවිද්‍යාත්මකවත්, සාහිත්‍යයිකවත් තහවුරු වී ඇති ආකාරයට ක්‍රි.පූ. සිවුවෙන සියවසේ දී පණ්ඩුකාභය මහ රජුගෙන් ඇරැඹී හෙළ රාජ පරපුර ක්‍රි.ව. 1815දී නිමාවන තෙක්ම ලිඛිත නීති පද්ධතියකින් තොරව සම්ප්‍රදාය හා හෙළ සිරිත පාදක කොටගෙන රාජ්‍ය පාලනය කර තිබේ. අනතුරුව රෝම ලන්දේසි නීති පද්ධතිය පාදක කොටගෙන නිර්මාණය කෙරුණු නීති පද්ධතියක් මත ගොඩනැගුණු ලිඛිත නීති රීති සමුදායක් මගින් අපේ රට පාලනය කෙරේ.
ඒ අනුව කිසියම් පුද්ගලයකු මිනිසකු හෝ මිනිසුන් කිහිපදෙනෙකු ඝාතනය කර ඇති බව විධිමත් අධිකරණ ක්‍රියාවලියකදී ඔප්පු වුවහොත් ඔහු වෙත මරණ දණ්ඩනය නියම කිරීමේ අයිතිය අධිකරණය සතුය. ඒ අනුව වසර 3800කට පෙරදී බැබිලෝනියාවේ හම්මුරාබි රජු හඳුන්වා දුන් ඇහැට ඇහැක් මූලධර්මය වත්මන් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළට ඇතුළත් කර තිබිම සුවිශේෂී කාරණයකි.
මහජන විප්ලවයකින් 1956දී බලයට පත් දිවංගත එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමන් එම නීතිය අක්‍රීය කර තිබූ නමුත් 1959දී කුමන්ත්‍රණයකින් ඔහුව ඝාතනය කිරීමේ චෝදනා ඔප්පු වීමෙන් පසුව මරණීය දණ්ඩණය නැවතත් සක්‍රීය කිරීමට එවක රට පාලනය කළ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියට සිදු වූයේ බලවත් මහජන බලපෑම් මතය. නැවතත් 1979 සිට එම නීතිය අක්‍රියව පවතී.
කිසියම් පුද්ගලයෙක්ට නිල වශයෙන් හෝ නිල නොවන ආකාරයෙන් තවත් පුද්ගලයකු ඝාතනය කිරීමේ අයිතියක් නැත යන්න පෙරදිග දාර්ශනිකයන් බහුතරයකගේ මතය වී ඇත. එයට හේතු ගණනාවකි. ඝාතකයා ඝාතනය කිරීමෙන් ඝාතනය වූ අයගේ යැපෙන්නට ඉටුවන සාධාරණය කුමක්ද යන්න ප්‍රශ්නයක් වනවා මෙන්ම, එසේ ඝාතකයා ඝාතනය කිරීමෙන් ඉටුවන්නේ ඝාතනය වූ අයගේ පාර්ශ්වයේ පළිගැනීමේ ච්ෙතනාවක් ඇත්නම් එය පමණක්ය යන්න බොහෝ දාර්ශනිකයන්ගේ මතය වී ඇත. සියලු සත්වයන්ට මෛත්‍රීය පැතිරවීමේ වැදගත්කම ගෞතම බුදුන්වහන්සේ න්‍යායාත්මකව අවධාරණය කළේත්, ගුරු බහට නොමග ගොස් මිනිසුන් 999 දෙනෙකු ඝාතනය කළ අංගුලිමාල සිසුවා මරණ දඬුවමට යටත් කිරීමට ඉඩ නොදී ප්‍රායෝගිකව යහමඟට ගත් අයුරින් කියාපාන්නේ මරණ දඬුවමට සාධාරණය ඉටුකිරීමට නොහැකිය යන්න ලෝකයාට ඉඳුරාම ප්‍රත්‍යක්ෂ කරමිනි. බිය ගැන්වීම හෝ පළිගැනීම පමණක් සිදුකර ගත හැක.
මෙහිලා මෙනෙහි කළ යුතු තවත් කාරණයක් පවතී. තමන්ව ඝාතනය කිරීමේ ච්ෙතනාවෙන්ම තමන්ට වෙඩි තැබූ මිනිසාට සමාව දෙන්නැයි මරණ මංචකයේ සිටියදී ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කළ දිවංගත බණ්ඩාරනායක මැතිඳුන් බදු සත්පුරුෂයින් අතිශයින්ම විරලය යන්න එම සුවිශේෂ කාරණයයි. ඒ සැබෑ බෞද්ධ පිළිවෙතයි.
ඝාතකයකුට වුව මරණ දඬුවම ලබාදීම මගින් සාධාරණය ඉටුකිරීම දුෂ්කර වන්නේ ඊට තවත් හේතු දෙකක් ඇති හෙයිනි. මානව ඉතිහාසය මුළුල්‍ලේම පාලක - පාලිත පරතරය පැවැති බවත්, පාලකයාගේ නීතිය පාලිතයා පීඩාවටත් අසාධාරණයටත් පත්කළ බවත් ලෝක ඉතිහාසය කොතෙකුත් සාක්ෂි සපයයි. ඒ සම්බන්ධයෙන් අපේ රටේ අධිකරණ තීන්දු අතර පවත්නා ගොයම් කොළේ මිනීමැරුම, වංගෙඩිය මිනීමැරුම, නාලන්ද එල්ලාවල ඝාතනය, ත්‍රිමාවිතාන ඝාතනය පිළිබඳ අධිකරණ තීන්දු විමසා බැලීම වැදගත්ය. එම සිද්ධිවලට සම්බන්ධ චූදිතයින් සාධාරණය වළක්වාලූයේ ධන බලය පාදක කරගනිමිනි. ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම නියම කෙරෙන අනෙක් වරද වන්නේ විෂ මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකක් හෝ එයට වැඩි ප්‍රමාණයක් අලෙවි කිරීමේ චෝදනා සනාථ වන්නන්ට එරෙහිවය.
ලංකා අධිකරණ ඉතිහාසයේ මෙන්ම ‍පොලිස් ඉතිහාසයේත් විෂ මත්ද්‍රව්‍ය (හෙරොයින්, හෂිස්, කොකේන්) පිළිබඳව කිසිදු වාර්තාවක් 1982 වසර දක්වාත් නොතිබිම රටේත්, ජනයාගේත් වාසනාවකි. 1983දී බෙදුම්වාදී යුද්ධය ඇතිවීමත්, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පත්වීමත් සුවිශේෂී
කාරණයකි. අසූව දශකය අගභාගය වන විට යුරෝපයේ බන්ධනාගාර දෙමළ තරුණයින්ගෙන් පිරෙන්නට පටන් ගත්තේත්, එල්.ටී.ටී.ඊ.යට අවිආයුධ මිලදී ගැනීමට විශාල වශයෙන් මුදල් අවශ්‍ය වීමත්, මත්ද්‍රව්‍ය ජාවාරම වේගවත් වීමත් පාදක වීමෙනි. ඒ අතරතුර කොළඹ සමාජය තුළත් විෂ මත්ද්‍රව්‍ය ජාවාරමට අඩිතාලම දැමීම එවක පාලනයේ ඇතැම් දේශපාලන බලවතුන්ගේ දායකත්වයෙන් සිදුකෙරිණි. ඒ වන විට රටේ පාතාලය හෙවත් මැරයින්ගේ වර්ධනයටත් සෘජුවම පාලක පන්තියේ දේශපාලන සහාය ප්‍රසිද්ධියේම ලැබෙමින් පැවැතිනි.
1982දී පැවැති ජනාධිපතිවරණයේදී සුළු පරිමාණයෙනුත්, එම වසරේදීම පැවැති ජනමත විචාරණය හෙවත් ලාම්පු කළගෙඩි මංකොල්ලයේදී මහා පරිමාණයෙනුත් පාතාල සහය ලබාගැනීමට පෙළඹුණු පාලක පක්ෂය,
1984දී පැවැත්වූ අතුරු මැතිවරණ 18 තුළදී මුල්කිරිගල හා මහර අතුරු මැතිවරණ පාලක පක්ෂය පාතාල නායකයින්ගේ උපරිම සහාය ගත් අයුරු නූතන ඉතිහාසයේ සඳහන් වේ. මුල්කිරිගල අතුරු මැතිවරණයේදී ශ්‍රීලනිපයෙන් තරග කළ චමල් රාජපක්ෂගේ මැතිවරණ නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ තරුණයා ව්‍යාජ චෝදනාවන්ට මාස ගණනාවක් බන්ධනාගාරගත කළ අයුරුත්, එම කම්පනයට මහින්දලාගේ මව වූ දන්දිනා දිසානායක හාමිනේ මරණයට පත්වීමත්, එම අවමඟුලට බන්ධනාගාර නිලධාරීන් සමග මාංචු සහිතව මහින්ද පැමිණි අයුරුත් ප්‍රකට සිද්ධීන්ය. එහෙත් මැරයන්ට දේශපාලන රැකවරණය ලැබිණි.
මහර අතුරු මැතිවරණයට පෙර එ.ජා.ප.ය නියෝජනය කළ දොම්පේ සරත්චන්ද්‍ර රාජකරුණා, බියගම වික්‍රමසිංහ හා කැලණියේ සී.සිරිල් මැතිව් යන අමාත්‍යවරුන් සිය නිවහනට කැඳ වූ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහරට ශ්‍රීලනිපයෙන් තරග කළ විජය කුමාරතුංග පාර්ලිමේන්තුවට පැමිණීමක් තමා අපේක්ෂා නොකරන බවක් අවධාරණය කළ බව එවක වාමාංශික පුවත්පත්වල පළ වී තිබිණි. ඒ අනුව ස්ත්‍රී දූෂණ චෝදනාවක් ඔප්පු වී වසර 7කට බන්ධනාගාරගත කර සිටි ගෝනවල සුනිල් නමැති අපරාධකාර නායකයා නිදහස් කර සාමදාන විනිසුරු පදවියක්ද ලබාදීමට ජනපති ජයවර්ධන කටයුතු කළේ මහර මැතිවරණ මෙහෙයුමට යොදවමිනි. ඒ අනුව මල්වතුහිරිපිටියේ ජන රැලියකදී විජය ඝාතනය කිරීම උදෙසා තැබූ වෙඩි පහර ඉදිරියට පැන විජයගේ දිවි රැකගනිමින් තම දිවි පූජා කළේ විජයගේ රියැදුරු මිත්‍රයාය. එම ඝාතනයත් පාපිස්නාව යටට දැමුණි.
අනතුරුව ජයවර්ධනයන් සිය ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නගමින් මැතිවරණය නිමා වී පසුදින දහවල් වනතුරුත් ගම්පහ කච්ච්ෙරියේ විදුලිය ඇනහිටුවමින්, කල් මරමින් සිට වැඩි ඡන්ද 45කින් එ.ජා.ප. අපේක්ෂක කමලවර්ණ ජයකොඩි මහතා ජයගත් බව ප්‍රකාශ කළේ එ.ජා.ප. පාක්ෂිකයන් පවා විමතියට පත් කරවමිනි.
මේ අයුරින් දේශපාලන අනුබලය ලබමින් පාතාලය වර්ධනය වෙද්දී කොළඹ ප්‍රදේශයේ කුඩු ජාවාරමටත් ඔවුන් යොමු වූයේ මැර බලයයි, ධන බලයයි, ඇතොත් දේශපාලන බලයක් තමන්ටම අත්පත් කරගත හැකිය යන අවබෝධය ලබමිනි. ඒ අතරතුර 90 දශකය වන විට දී කුඩු ජාවාරමට නායකත්වය දෙමින් පාතාලයේ කැපී පෙනෙමින් සිටි කොම්පඤ්ඤවීදියේ කුඩු ඩේලු නමැති කුප්‍රකට මැර නායකයා පතාල ගැටුමක් මත මරණයට පත්විණි. ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි දේශපාලන ප්‍රභූන් අතර රටේ බලවත්ම පුද්ගලයාත් සිටි බව එවක මාධ්‍ය මගින් අනාවරණය විණි.
ඒ වන විට මැද කොළඹ එ.ජා.ප. නායකයාගේ සෙවණේ වැඩෙමින්, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ උදාගම්වල පිඩලි කොන්ත්‍රාත්තු ද ලබමින් නොනැවතී, එකල පැවැති ආර් (රිසර්ව්) ‍පොලීසියේ උප ‍පොලිස් පරීක්ෂක හැඳුනුම්පතක් ලැබිමේ වාසනාව ද උරුම කර ගැනීමට එවක කොළඹ අපරාධ කල්ලි නායක හැටේවත්තේ සොත්ති උපාලි සමත් විය. මේ ආකාරයට පාතාලයේ මැරකම හා මත්කුඩු ජාවාරම දේශපාලන රැකවරණ මැද්දේ වර්ධනය වෙද්දී තොටළඟ තෙල් බාලා, කිඹුලාවල ගුණේ, කළු අජිත්, කුඩු ඩේලුගෙන් හිස් වූ මත්කුඩු ජාවාරමට පිවිසුණේ ප්‍රසිද්ධියේමය.
මෑත කාලය තුළදී වෙ‍ලේ සුදා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුගේ මුදල් ලබමින් ඔහුට සහාය වූ දේශපාලකයන්, ‍පොලිස් නිලධරයන්, රංගන ශිල්පිනියන් ඇතුළු පිරිසකගේ නම් ලැයිස්තුවක් ‍පොලීසියට ලැබුණු බවක් මාධ්‍ය මගින් අනාවරණය කෙරුණත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමක් දක්නට නොලැබුණු බවට ජනතාවගෙන් චෝදනා එල්ල විණි. ස.තො.ස. ආයතනයට බ්‍රසීලයෙන් සීනි තොග රැගෙන ආ බහාලුම් තුළ තිබි රේගුවට හසුවූ කොකේන් කිලෝ සිය දහස් ගාණක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකෙරෙනවා වෙනුවට ලොරියේ රියැදුරු හා සහායක අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් අපේ ‍පොලීසියත්, ආණ්ඩුවේ ප්‍රධානීනුත් කාරුණික වූහ.
රුපියල් කෝටි සිය ගණන් වැයකරමින් විෂ මත්ද්‍රව්‍ය ලංකාවට රැගෙන ඒමට මේ ලොරි රියැදුරන්ට, සහායකලාට, වාප්පු ලිපිකරුවන්ට පුළුවන් යැයි සිතීමට ලංකාවේ ආණ්ඩුව, ‍පොලීසිය, රේගුව පෙළඹෙන්නේ ඇයි දැයි රටේ ජනාධිපතිවරයා, බන්ධනාගාරගතව සිටින මත්කුඩු ජාවාරම් වරදකරුවන් එල්ලීමේ බලය ලබාදීමට පෙර, සිය අත්සන් යෙදවීමට පෙර ගැඹුරින් සිතා බැලිය යුතු වැදගත් කාරණයකි. මත්කුඩු ප්‍රවාහනයට ගොදුරු වී නීතියට හසුව රැකියා විරහිත තරුණයන් කොපමණ බන්ධනාගාගත කළත්, එල්ලා මැරුවත් මත්ද්‍රව්‍ය ජාවාරම නිමා නොවන්නේත්, එන්ට එන්ටම වඩ වඩාත් පුළුල් වන්නේත් එම ජාවාරමට මුදල් යොදවන හා ආරක්ෂාව සපයන දූෂිත දේශපාලකයන්, මැර ජාවාරම්කරුවන් අත්අඩංගුවට පත් නොවීමත්, සමාජය තුළ දරිද්‍රතාවය වර්ධනය වීමත්, රැකියා විරහිතභාවය වර්ධනය වීමටත් පින්සිදුවන්නටය.

රාජා කටුගම්‍පොළ
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.