lakbima.lk

නම වෙනස් කර පරණ වැඩම කරන ගම්පෙරළිය

මාර්ටින් වික‍්‍රමසිංහ ශූරීහු ගම තුළ සිදුවන පරිවර්තනය දැක එය පාදක කරගෙන නවකතාවක් නිර්මාණය කළේය. එය නම් කළේ ගමපෙරළිය හැටියටය. හෙතෙම එයින් නතර වූයේ නැත. කලියුගය හා යුගාන්තය වශයෙන් එහි අතුරු කතාන්දර ලියා තවත් පොත් දෙකක් පළ කළේය. ගම්පෙරැළියෙන් ඉනික්බිතිව ජන සමාජය තුළ සිදුවූ වෙනස්කම් සහ සංස්කෘතික පරිහානියේ ස්වභාවය එකී කලියුගයෙන් හා යුගාන්තයෙන් අනාවරණය කරන ලද අතර, සමාජය විනිවිද දකින්නට සමත් වූ කෘතහස්තභාවය වික‍්‍රමසිංහ නමැති නවකතාකරුවා විශිෂ්ට සාහිත්‍යධරයෙකු බවට පත් කළේය.

ශ‍්‍රී ලංකාවේ පවතින එක තැන පවතින ආර්ථිකයේ රාමුව වෙනස් කිරීම මෛත‍්‍රී- රනිල් පාලනයේ අභිලාෂය වී තිබේ. 1977 වසරේ දී සිදුකරන ලද ආර්ථික පරිවර්තනය ඔස්සේ විවෘත ආර්ථිකයේ ඇතැම් ලක්ෂණවලින් ජන අවශ්‍යතා සම්පාදනය කරගත් අතර, එම පරිවර්තනය ගැන ද විවිධ මතභේදාත්මක අදහස් තිබේ. විවෘත ආර්ථිකයෙන් කිසියම් රැල්ලක් ඇතිකරගත්තේ නම් එයට සමාන හෝ වඩා ඉහළ ආර්ථික රැල්ලක් ඇති කරගැනීමත් එයින් ජන ජීවිතයේ නැග්මත් ආණ්ඩුව අපේක්ෂා කරයි. විවෘත ආර්ථික ක‍්‍රමය තුළ පවා නිසි ප‍්‍රතිපත්ති අනුගමනය කරන්නට දශක තුනක කාලයක් පැවැති යුද පරිසරය විශාල බාධාවක් වූ අතර, මෙරට පවතින සම්පත් නිසි සේ ආයෝජනයට අවහිර පැන නැගිණ. යුද වාතාවරණය අවසන් වී වසර නවයක් ගත වී ඇති අතර එසේ තිබිය දී පවා, අවශ්‍ය කරන වෙනස්කම් ඔස්සේ ආර්ථිකය නගා සිටුවන්නට ක‍්‍රමය අපොහොසත් වී තිබේ. ආයෝජනය හීන වී ඇති අතර, නිෂ්පාදනය අඩාල වී තිබේ. ඵලදායීතාව හා කාර්යක්ෂමතාව යන ගුණාංග සියලූ ක්ෂේත‍්‍රවල දී දුබල වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය. ණය බර ඉහළ ගොස් ඇති අතර, ජනතාව අතර අතෘප්තිය වර්ධනය වී ඇත. වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට සෑහෙන වෙනස්කම් ඇති කිරීමෙන් ජනතාවගේ ආදායම වර්ධනය වන අතර රුකී රක්ෂා බහුල වනු ඇතැයි විශ්වාසයක් තිබිණ.

පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබිය දී සහ ඉදිරි වසර දෙක තුන තුළ ජනාධිපතිවරණ හා මහ මැතිවරණයකට කාලය එළැඹෙන පසුබිම තුළ ආණ්ඩුව ගම්පෙරැළිය ව්‍යාපෘතිය අරඹයි. ගම් උදාව දෙවැනි පියවර සහ ග‍්‍රාම ශක්ති එයට සමාන්තරව ගම ඉලක්ක කරගෙන මෙහෙයැවෙන ව්‍යාපෘති බව සඳහන් කළ යුතුය. 

මහා නගර සංවර්ධනය සහ මහ මුහුද ගොඩකර මූල්‍ය නගර ඉදිකරන දැවැන්ත සැලසුම් ඉදිරිපත් කරන ආණ්ඩුව ගම වෙනස් කරන්නට සූදානම් වෙන්නේ ඇයි? යම් ප‍්‍රමාණයකින් ගම අත හැර නගරයට එන පිරිස සීමාකිරීමේ අභිලාෂයෙන්ය. මෑත කාලය තුළ මෙරට දුර බැහැර පළාත්වලින් නගර කරා සංක‍්‍රමණය බහුල වී තිබේ. මැදි ආදායම් රටක් බවට පත් වන විට මැද පන්තියේ ජන කොටස් අවස්ථා සොයන්නේ නගරයෙන්ය. දරුවාගේ අධ්‍යාපනය, අලූත් රැකියාවක්, වාහනයක් සහ පදිංචියට කුඩා ඉඩම් කොටසක් සොයා නගරයට ඇදෙන පිරිස ඉහළ ගොස් ඇත. මෙකී සංක‍්‍රමණික ලාංකිකයන් දේපළ වෙළෙඳාම් සහ ලීසිං යන ව්‍යාපාරික අවස්ථා පොහොසත් කර තිබේ. නගරයට එන පිරිස ජීවිත කාලය පුරා ණය ගෙවන, ඉතාම කාර්ය බහුල ජීවිත ගත කරන පිරිසක් බවට පත්ව ඇති බව නොරහසකි.

අනෙක් අතට නගර සංවර්ධනය තුළින් සේවා අංශ වැඩි දියුණුව විනා කාර්මික හා කෘෂිකාර්මික ක්ෂේත‍්‍ර ආර්ථිකයට දක්වන දායකත්වය ප‍්‍රසාරණය වූයේ නැත. නිෂ්පාදන පහත වැටී ඇති අතර ශ‍්‍රී ලංකාවට අනන්‍ය වී තිබුණ තේ, රබර්, පොල් යන අපනයන ආදායම් ප‍්‍රමුඛස්ථාන විදේශ රැකියා, ඇඟළුම් හා තේ වශයෙන් වෙනස් වී ඇති අතර ඉදිරි කාලයේ දී සංචාරක ව්‍යාපාරය තේ කර්මාන්තයේ ආදායම ද අභිභවා යනු ඇත. මෙම ක්ෂේත‍්‍රවල අවශ්‍යතා සම්පූර්ණ කරන ශ‍්‍රම බලකායක් අධ්‍යාපන ක‍්‍රමයෙන් බිහි නොකරන බව ප‍්‍රකට චෝදනාවකි. රට තුළ ඇති වෘත්තීය අවශ්‍යතා නොසලකා බිහි කරන ශ‍්‍රම බලකාය අවසානයේ දී රජයේ සේවයට බඳවා ගැනේ. පොලීසිය හා ත‍්‍රිවිධ හමුදාව අත්හැරිය විට පවා අද වන විට මෙරට රජයේ සේවය කරන පිරිස මිලියන 1.3 ක් වන අතර, එය ලෝකයේ ජන අනුපාතය අනුව රාජ්‍ය සේවයේ නිරත විශාලම කණ්ඩායම විය හැකිය. රජයේ සේවක වැටුප් හා විශ‍්‍රාම වැටුප් වෙනුවෙන් රාජ්‍ය ආදායමෙන් සෑහෙන කොටසක් වෙන් කරන්නට සිදුවී ඇත. සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් ලබා ගත් දේශීය හා විදේශීය ණය වෙනුවෙන් ගෙවන වාරික හා පොලිය ආර්ථිකයට තවත් විශාල හිරිහැරයකි. එහි ප‍්‍රතිපලයක් වශයෙන් රජයේ සංවර්ධන පිරිවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහක සාමාන්‍යයක් වාර්තා කරන බව මහ බැංකු වාර්තා පෙන්වයි. සංවර්ධනය සඳහා වෙන්කරන රාජ්‍ය වියදම සුළු ප‍්‍රතිශතයක්ව තිබිය දී ආණ්ඩුව ජනතාව වෙනුවෙන් දියත් කර ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් පුළුල් මාධ්‍ය ප‍්‍රචාරයක් නොලැබීම ගැන ආණ්ඩුව බලවත් කණස්සල්ලට පත්ව ඇත. 

ගම්පෙරැළිය, ග‍්‍රාම ශක්ති හෝ ගම් උදාව වැනි  ඕනෑම පුබුදුවක් කෙරෙහි සාකච්ඡා කරන්නට කලින් රජයේ ආර්ථික ශක්තිය ගැන අවබෝධය තිබිය යුතුය. සියයට පහක සාමාන්‍ය ආයෝජන හැකියාවක් සහිත ආණ්ඩුව ගම්පෙරැළිය මගින් අති විශාල පරිවර්තනයක් කරන්නේ කෙසේද? ග‍්‍රාම ශක්ති හා ගම්පෙරැළිය වැඩසටහන් වෙනුවෙන් වෙන් කරන මුදල් ගැන අනාවරණය කර තිබේ. ග‍්‍රාම ශක්ති වැඩසටහනට රුපියල් බිලියන 60 ක් වෙන් කර තිබේ. පුද්ගලික සමාගම් මිලියනය බැගින් පරිත්‍යාග කරන පොරෙන්දුව ලබා දී ඇති අතර, එය රාජ්‍ය හා පුද්ගලික එකමුතුවක් බව පැවසේ. ගම්පෙරැළිය වෙනුවෙන් රජය රුපියල් බිලියන 80 ක් වෙන් කර ඇත. ගම්පෙරැළිය වැඩසටහන රට පුරා ප‍්‍රදර්ශන පවත්වන්නට සූදානම් වන අතර ඒ වෙනුවෙන් පුද්ගලික අංශයේ අනුග‍්‍රාහකයන්ගෙන් රුපියල් මිලියන 800 ක් එකතු කරගන්නට අපේක්ෂා කර තිබේ.  පසුගිය ආණ්ඩුව දිවි නැගුම වැඩසටහනක් ක‍්‍රියාත්මක කළේය. එයට සමාන්තරව එක ගමකට එක ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද බව මතක් කළ යුතුව ඇත. දිවිනැගුම සංකල්පය අනුව එක ගමකට රුපියල් මිලියන 70 බැගින් මුදල් වෙන් කර ඒවා වෙනුවෙන් ව්‍යාපෘති ක‍්‍රියාත්මක කළේය. පාරවල්, ඇළමාර්ග, ක‍්‍රීඩාපිටි ඒවායෙන් ප‍්‍රතිසංස්කරණය කළේය. ගම්පෙරැළිය ද එයමය. වාරිමාර්ග, අතුරු පාරවල්, පාසල්වල වැසිකිළි පද්ධති, ක‍්‍රීඩාපිටි, හරිත උද්‍යාන, විදුලිය සැපයුම, නිවාස ව්‍යාපෘති යනාදිය ඉටු කෙරේ. අවසානයේදී රජයේ පොදු පහසුකම් දියුණු කරන සැලසුම් වෙනත් නමකින් හැඳීන්වීම පමණකි. පැවැති ආණ්ඩුව දිවිනැගුම ව්‍යාපෘති යටතේ කරන ලද කාර්යය වත්මන් ආණ්ඩුව ග‍්‍රාමශක්ති හෝ ගම්පෙරැළිය මගින් කරන්නට සූදානම් වන අතර, ඉදිරියේ දී ලිත් මුද්‍රණය කර බෙදාහරින්නටත් බැරි නැත.

ග‍්‍රාමශක්ති හා ගම්පෙරැළිය ව්‍යාපෘති වෙනුවෙන් ආණ්ඩුවේ වැය ශීර්ෂ වෙන් කරන විට පළාත් හා පළාත් පාලන ආයතනවලින් කරන සංවර්ධනය සීමා වෙයි. දකුුණු පළාත් මහ ඇමැතිවරයා දැනටමත් පළාත් සභාවට මධ්‍යම ආණ්ඩුවෙන් වෙන් කරන මුදල් නොලැබීම හා වෙන් කරන මුදලද කපා හැරීම ගැන විරෝධය පළ කර තිබේ. පළාත් සභාවලට වෙන් කරන මුදල් අඩු කර ඒවා ග‍්‍රාමශක්ති හෝ ගම්පෙරැළියට වෙන් කිරීම සංවර්ධනය වශයෙන් සඳහන් කරන්නේ නම් මෙහි අලූතින් සිදුවන දෙයක් නැත. රජයේ ආයෝජන පිරිවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහකට සීමා වී තිබේ නම් විශාල පරිවර්තනයක් කරන්නට තරම් බලවේගයක් රටට නැත. නියමානුකූල තත්ත්වය එයයි.

මධ්‍යම ආණ්ඩුවේ බලය විමධ්‍යගත කර පළාත් සභා ශක්තිමත් කරන සංකල්පය වත්මන් රජය ඉලක්ක කරන කාරණයකි. උතුර හා දකුණ අතර පවතින බලය බෙදීම සම්බන්ධ ගැටලූව විස`දුමක් වශයෙන් ද එය සලකා බැලේ. මහ ආණ්ඩුවේ ගම්පෙරැළිය පළාත් පාලන ආයතනවල සංවර්ධන යෝජනා ක‍්‍රම තවත් අඩාල කරන්නේ නම් එය අනිටු විපාක ඇති කරන බව ද පෙන්වා දිය යුතුය. දකුණු පළාත් සභාව ඉඟි කරන අන්දමට මධ්‍යම රජය පළාත් සංවර්ධනයේ මුදල් සීමා කර ඒවා ප‍්‍රමාද කර තිබේ. දකුණ ඉවසන අන්දමට උතුර හා නැගෙනහිර පළාත් මෙම තත්ත්්වය සලකා බලන්නේ දැයි පැහැදිලි නැත. මධ්‍යම රජය දේශපාලන අරමුණු පෙරදැරිව ග‍්‍රාමශක්ති හා ගම් පෙරැළිය යන සංවර්ධන යෝජනා ක‍්‍රම ආරම්භ කරන විට ඒවා පළාත් සංවර්ධනයේ කොටස් බව තේරුම් නොකිරීම බලවත් වරදකි. අවසානයේදී මෙම මුදල් බදු ගෙවන ජනතාවගේ ධනයයි. සෘජු හා වක‍්‍ර බදු වැඩි කරන ආණ්ඩුව සෑම පුද්ගලයෙකුගෙන්ම ආදායමෙන් කොටසක් අයකර ගනිමින් සිටී. බදු අය කිරීමේ ක‍්‍රමවේදය වාහනයක් ඇති විදේශ සංචාරක නිරතවන සෑම පුද්ගලයෙකුම දක්වා පුළුල් කරන්නට ආණ්ඩුව සූදානම් බව පසුගිය කාලයේ වාර්තා වූ කරුණකි. ජනතාවගෙන් ලබා ගන්නා බදු ජනතා යහපතට යෙදවෙන ආකාරය විනා ග‍්‍රාම ශක්ති හෝ ගම්පෙරැළිය මගින් ඇති කරන දේශපාලන ප‍්‍රචාරණය රටට වැදගත් නැත.

ජී. කේ. ජී.සරත්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.