lakbima.lk

අබි හබිබීගේ ලිපිය මහින්දට කළ හදිය

පසුගිය ජුනි 25 වැනිදා ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ මාරියා අබි හබිබ් නමැති මාධ්‍යවේදිනිය විසින් ලියන ලද How China got Sri Lanka to Cough up a Port (චීනය ලංකාවෙන් වරායක් ලබාගත් හැටි) නමැති හිසින් වූ ලිපිය, එය පළවූ දා සිටම මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ජනමාධ්‍යවලත්, සාමාන්‍ය ජනතාව අතරත් බොහෝ කතාබහට ලක්වූ මාතෘකාවක් වී ඇත්තේය.

ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක වූ මාරියා අබි හබිබ් විසින් ලියන ලද ලිපියෙන් කියා තිබුණේ 2015 ජනාධිපති මැතිවරණයට දින කීපයකට පෙර චීන රජයේ ප්‍රධාන පෙළේ ආයෝජන සමාගමක් වන චයිනා හාබර් ඉංජිනියරිං නමැති ආයතනය ස්ටැන්ඩඩ් චාර්ටඩ් බැංකුව හරහා ඩොලර් දස ලක්ෂ 7.6ක මුදලක් එවකට බලයේ සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලබා දුන් බවයි.

මෙසේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලබා දුන් බව කියන එම මුද‍ලේ මෙරට වටිනාකම රුපියල් ලක්ෂ 11400ක් පමණ වේ. මෙහිදී ඩොලර් තිස් අට දහසක් මෙරට ප්‍රකට හිමි නමකට ලබාදී තිබූ අතර ඩොලර් 678000ක් ටී ෂර්ට් සඳහාද තවත් ඩොලර් 297,000ක් ආධාරකරුවන්ට තෑගි බෙදා දීම සඳහාද ලබාදී ඇතැයි එම වාර්තාවේ තවදුරටත් කියා තිබුණි.

මෙම පුවත පළවීමත් සමග මෙරට දේශපාලන ක්ෂේත්‍රය ගිනි ගත්තේය. ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මේ ගැන චෝදනාත්මක මුඛයෙන් කතා කරද්දී මහින්ද රාජපක්ෂ හිතවාදී කණ්ඩායම් ඊට පිළිතුරු දුන්නේ එකී ප්‍රවෘත්තිය සම්පූර්ණ බොරුවක් අතේ රෝලක් යැයි කියමින් ආණ්ඩු පක්ෂයේ සියලු චෝදනාවන්ද බැහැර කරමිනි.

කෙසේ වෙතත් ඒ වන විට රටේ ප්‍රධාන මාතෘකාව බවට පත්වී තිබූ ඤාණසාර හිමි සිරගත කිරීම, සන්ධ්‍යා එක්නැලිගෙඩ, බැඳුම්කරය, බඩු මිල ආදිය සියල්ල යට කරමින් මහින්ද රාජපක්ෂට චීනයෙන් මුදල් දීමේ කතාව රටේ ප්‍රධාන මාතෘකාව බවට පත්වූයේය.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ එම වාර්තාව මෙරට පුවත්පත්වල පළවීමත් සමගම හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන්ට නම් චීනයෙන් එවැනි මුදලක් නොලැබුණ බවයි. එසේම එය තමන්ටත්, තම පවුලටත් මඩ ගැසීමේ අරමුණින් යුතුව ගොතන ලද්දක් බවද හෙතෙම එම මාධ්‍ය නිවේදනය මගින් අවධාරණය කර තිබුණි.

මෙකී පුවත්පත් නිවේදනය ගැන ආණ්ඩු පාර්ශ්වයෙන්ද නොයෙක් දෙනා නොයෙක් ආකාරයේ උත්තර ලබා දුන්නේය. ආණ්ඩුවේ සම කැබිනට් ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න කළුතර පැවැති උත්සවයකදී මේ ගැන සඳහන් කරමින් කියා සිටියේ මහින්ද රාජපක්ෂ හන්දි ගානේ මයික්‍රෆෝන්වලට උත්තර නොදී නිව්යෝක් ටයිම්ස් පුවත්පතට සෘජුව පිළිතුරු සැපයිය යුතු බවයි. එසේම නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත හරහා එළියට පැන ඇත්තේ රාජපක්ෂවරු කළ වංචා හා දූෂණවලින් සුළු කොටසක් පමණක් බවද ඔහු එහිදී කියා තිබුණි.

වෙනදා හැම දේටම කට ඉස්සර කරගන්නා විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මන්ත්‍රී දෙපළ මෙම සිද්ධියේදී නිහඬව සිටීම ගැනද රාජිත එහිදී විමල් වීරවංශ ඔය වගේ පත්තරයක් කියවල තියා එහෙම එකක් තියෙනවද කියලවත් දන්නේ නැතුව ඇතැයි කියා තිබුණි.

මේ අතර තලතා අතුකෝරල අමාත්‍යවරිය නිවිතිගල ප්‍රදේශයේ පාලමක් සඳහා මුල්ගල තැබිමේ උත්සවයකට සහභාගිවෙමින් කළ කතාවේදීද ප්‍රමුඛතාව දී තිබුණේද මහින්ද රාජපක්ෂට චීනයෙන් මුදල් ලැබුණේ යැයි කියන කාරණය ගැනය.

නිව්යෝර්ක් ටයිම්ස් පත්තරේ කියන මේ මුදල් ඔක්කොම මහින්දගෙ අතට ආවේ හම්බන්තොට වරාය හදපු දක්ෂිණ අධිවේගී මාර්ගය හදපු, මත්තල ගුවන්තොටුපළ හදපු චයිනා හාබර් සමාගම හරහා. චීනයෙන් ආපු මේ මුදල් ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ කියන මෙරට සිටින ඇමෙරිකානු පුරවැසියන් දෙදෙනා තමයි පරිහරණය කළේ. චීනය ලංකාවේ මොනව කළත් ඇමෙරිකාවට කමක් නෑ. නමුත් තමන්ගේ පුරවැසියන් දෙදෙනෙක් චීන සල්ලිවලින් මේ රටේ දාන සෙල්ලම ගැන සොයා බැලීමට ඇමෙරිකාවට අවශ්‍යයි. ඒකයි ඒ අය මේ බෝම්බය අපට දමල ගැහුවේ යැයිද ඇමැතිවරිය කියා සිටියේ රාජපක්ෂවරුන්ට චීන මුදල් ලැබුණේ යැයි කියන කතාවට නව අර්ථකථනයක් ද සපයමිනි.

පුරවැසි සංවිධාන එකමුතුවේ දඹර අමිල හිමියන් මාධ්‍යයට කතා කරමින් කියා තිබුණේ බැඳුම්කර වංචාව සොයා බැලීම සඳහා පත්කළ ආකාරයේ පූර්ණ බලතල සහිත ජනාධිපති කොමිසමක් මෙකී මුදල් ගනුදෙනුව සොයා බැලීම සඳහාද පත්කළ යුතු බවයි. ඉන් නොනැවතුන උන්වහන්සේ මෙම කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් දිවා රාත්‍රී දෙකෙහිම පවත්වා එය රටේ ජනතාවට බලා ගැනීමට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කළ යුතු බවද උන්වහන්සේ එහිදී කියා තිබුණි.

අර්ජුන් ඇලෝසියස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 116 දෙනෙකුට මුදල් දුන්නේ යැයි කියන සිද්ධියේදී උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පුනපුනා කියා සිටියේ තමන් මුදල් නොගත් බවට මන්ත්‍රීවරුන් දිවුරුම් පෙත්සම් ලබාදිය යුතු බවය. ඒ පිළිබඳව මතක් කළ අමිල හිමියන් මෙකී චීන සමාගමෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මුදල් ලබා නොගත්තේ නම් ඔහුද ඒ බවට දිවුරුම් පෙත්සමක් මගින් තහවුරු කළ යුතු බවද කියා සිටියේය.

දුමින්ද දිසානායක ශ්‍රීලනිප හිටපු මහ‍ලේකම්වරයා මාධ්‍ය කළ විමසීමකදී කියා සිටියේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ කරුණු හා එම ලිපියේ සඳහන් කරන කාලයේදී මෙරට ප්‍රායෝගිකව සිදුවූ දේ අතරෙත් වෙනසක් නැති බවයි. එනම් එම පුවත්පතෙන් කියන දේ ඒ කාලයේ මෙහි සිදුවූ බවයි. ඔය කාලයේ ඔය කියන සාරි, ඔරලෝසු මටත් ලැබුණා. ඒවා තවමත් මගේ අතේ තියෙනවා යි ඔහු කියන්නේය.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ පාර්ශ්වයෙන් මෙම නිව්යෝර්ක් ටයිම්ස් ලිපිය ගැන කියා තිබුණේ බැඳුම්කර මගඩියෙන් හෙම්බත්ව සිටින ආණ්ඩුවට මෙය ඉඩෝරයට වට මහ වැස්සක් බඳුය යනුවෙනි.

ආණ්ඩුවට මොකුත්ම කරගන්න බැරි තැන ජාත්‍යන්තර මාධ්‍ය යොදාගෙන අපට මඩ ගහනවා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ ගැන අදහස් දක්වමින් කියා සිටියේය.

ඔය නිව්යෝර්ක් ටයිම්ස් පත්තරේ පළවන ප්‍රවෘත්තිවල සත්‍ය අසත්‍ය භාවය ගැන අද ලෝකය පුරා බොහෝ දෙනා කතා කරනවා. ඒ වගේම ඔය පත්තරේ නොයෙක් දෙනාගේ දේශපාලන ඕනෑ එපාකම් ඉෂ්ටකරගන්න ඔය පත්තරේ උදව් කරනව කියල ලෝකේ ඕනෑම කෙනෙක් දන්නවා. අනික මේ සිද්ධියේදී ආණ්ඩුව කියනදේම පත්තරේ කියන්නෙත්. පත්තරේ කියන දේමයි ආණ්ඩුව කියන්නෙත්. දෙගොල්ල අතරේ සම්බන්ධය ඒකෙන්ම පේනවා යැයිද මන්ත්‍රීවරයා කියන්නේය.

ඒත් මෙම පුවත්පත එසේ නොව වගකීමකින් යුතුව කටයුතු කරන්නක් බව, විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව කියන්නේ සිය අත්දැකීම් හා සම්බන්ධ කරගනිමිනි. තමන් බටහිර ‍ලේඛකයෙකු ලෙස එම පුවත්පතට ලිපියක් සැපයීමේදී ලිපියේ අන්තර්ගත දේ සම්බන්ධයෙන් තමන් වගකීම බාරගන්නා බවට ලිඛිතව ‍පොරොන්දු වීමට සිදුවූ බව කියන සමරජීවයන් මාණ්ඩලික ‍ලේඛකයෙකුට ඊටත් වඩා වගකීමක් බාරගෙන වැඩ කළ යුතු බව තමන් දන්නා බව ද කියා සිටින්නේය.

මේ අතර විදෙස් මාධ්‍ය පවසන්නේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත බොරු ආරංචි හා ප්‍රවෘත්ති පළ කරන්නේ යැයි කියන බවයි.

මේ අතර සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේ තමන් මාරියා අබි සමග මේ සම්බන්ධයෙන් දුරකථනයෙන් කතා කළ බවයි. එසේම මෙම ලිපිය ලිවීම සඳහා පාදක වූ තොරතුරු සොයා ගැනීමේදී සී.අයි.ඩී.යෙන් තොරතුරු උපයාගත් බවට ඇය ඔහු සමග කියා සිටි බවද ඔහු කියන්නේය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල් තැබිමේ විවාදයක් පවත්වන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මේ කතාව සත්‍ය නම් සී.අයි.ඩී.ය රාජ්‍ය රහස් පිටට දීම පිළිබඳව එම ආයතනයට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව මහින්ද රාජපක්ෂ පාර්ශ්වයෙන් ඉල්ලීමක් කරන්නේය.

මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කතාව සම්බන්ධයෙන් පිළිතුරු දෙන ආන්දෝලනයට තුඩු දුන් ලිපිය ලියූ මාරියා අබි සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ නියෝජ්‍ය අමාත්‍යවරයා තමන් සමග දුරකථනය ඔස්සේ කතා කළද තමන්ගේ ප්‍රවෘත්ති මූලාශ්‍ර ඔහුට හෙළි කළේ නැති බවයි. එසේම තමන් කී දෙය රන්ජන් රාමනායක වෙනස් ආකාරයකට අර්ථ දක්වා ඇති බවද ඇය කියන්නීය. මහින්ද රාජපක්ෂ පාර්ශ්වයෙන් මේ පිළිබඳව කියන දේ සම්බන්ධයෙන් පිළිතුරු දෙන ඇය ඔවුන් කියන පරිදි දේශපාලන මඩගැසීම්වලට සම්බන්ධ වීමට තමාට කිසිදු අවශ්‍යතාවක් නැති බවද කියා සිටින්නීය.

මේ අතර චීන තානාපති කාර්යාලයද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ වාර්තාව දේශපාලන අරමුණු ඔස්සේ සකස් කළ එකක් මිස නිසි සාක්ෂි මත පදනම්ව සකස් වූවක් නොවන බවයි.

මෙම ලිපිය සකස් කිරීමේදී ලංකාවේ සිට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ පහසුකම් සපයා දෙමින් උදව් කළේ දරීෂා බැස්ටියන් සහ ආතර් වාමනන් සහ මුජිබ් මාර්ෂල් යන අයයි. චීනයේ සිට එම කටයුත්ත ඉටු කර ඇත්තේ කීත් බෑඩ්ෂර් සහ සුයි ලී වී යන අයයි.

මෙම මාධ්‍යවේදිනිය ගැන සඳහන් කරමින් ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා ඔවුන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සමග එක්ව ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ඉටුකර ඇති බව කියා සිටියේය. එසේම ඔවුන්ගේ දේශපාලන පසුබිම ගැනද මන්ත්‍රීවරයා කතා කළේය. මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයෙන් පසුව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් එහි ජාත්‍යන්තර සංස්කාරක මයිකල් සැලැක්්මන් සිය ට්විටර් ගිනුමේ සඳහන් කර ඇත්තේ මෙකී ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් අපහසුතාවයට පත්වන අයුරින් මෙරට පාර්ලිමේන්තු නියෝජිතයන් ප්‍රකාශ කර ඇතත් තම පුවත්පතේ පළවූ ලිපිය ගැන ගැටලුවක් ඇත්නම් ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජනය නොකර තම පුවත්පතේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කතුවරුන්ට ඒ පිළිබඳව කතා කළ යුතු බවයි.

මේ අයුරින් මාධ්‍යවේදීන් බියවැද්දීම පිළිගත නොහැක. මෙවැනි දේ මගින් උත්සහ දරා ඇත්තේ මාධ්‍ය නිදහස මර්දනයටත් අවසානයේදී මහජනයාට වැදගත්වන කාරණා පිළිබඳව ශ්‍රී ලාංකිකයන් දැනුවත් වීම වැලැක්වීමත් බවත් එම නිවේදනයේ සඳහන් වී ඇත්තේය.

කෙසේ වෙතත් මේ ලිපිය සම්බන්ධයෙන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට එන්තරවාසියක් යවන බව සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා කියා ඇත්තේය. මෙම එන්තරවාසිය සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා මගින් යවන්නේ අදාළ ගනුදෙනුව සිදුවූ කාලයේ එක්සත් ජනතා නිදහස සන්ධානයේ මහ ‍ලේකම්වරයා වූයේ ඔහු බැවිනි.

මේ අතර මහින්ද රාජපක්ෂ පාර්ශ්වයෙන් කියන්නේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ මෙම ලිපියේ අඩංගු කරුණු මීට වසර තුනකට පමණ පෙර මෙරට පුවත්පතක් විසින් එල්ල කළ චෝදනාවටම සමාන සාවද්‍ය තොරතුරුවලින් සමන්විත ලිපියක් බවයි.

මේ සියලු දේටම පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා පසුගියදා. පාර්ලිමේන්තුවේදී කියා සිටියේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපිය පිළිබඳ සොයා බැලීමේ වගකීම අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවට බාර දුන් බවයි.

මොකක්ද මේ නිව්යෝර්ක් ටයිම්ස් පත්තරේ

පසුගියදා  ශ්‍රී ලංකාව සම්බන්ධව ආන්දෝලනාත්මක තොරතුරු වාර්තා කළ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මුලින්ම ආරම්භ වන්නේ 1851 සැප්තැම්බර් මාසයේ ඇමෙරිකාවේදීය. ඒ දේශපාලනඥයකු හා මාධ්‍යවේදියකු වන හෙන්රි ජාවිස් රේමන්ඩ් සහ බැංකුකරුවෙකු වූ ජෝර්ජ් ජෝන්ස්ගේ මූලිකත්වයෙනි. 1896දී ජෝර්ජ් ජෝන්ස් මියගිය අතර ඉන්පසු එහි හිමිකාරත්වය ඔක්ස් සල්ස්බර්ග් අතට පත් විය.

නිව්යෝර්ක් නුවර කේන්ද්‍ර කරගත් පුවත්පත අද ලොව පුරා ජනප්‍රියත්වයට පත් වූවක් වන අතර දිනපතා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ අලෙවිය පිටපත් 571500ක් ලෙසත් ඉරිදා කලාපයේ අලෙවිය පිටපත් 10,87500ක් හැටියටත් වාර්තා වේ. එසේම අලෙවිය අතින් ලෝකයේ 17 වැනි තැන ගන්නා පුවත්පත හැටියට පිළිගැනෙන්නේද මෙම නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතයි.

මේ වන විට ලොව පුරා ප්‍රවෘත්ති ‍ලේඛකයෝ 1300 දෙනෙකුගේ සේවය ලබන මෙම පුවත්පත 125වතාවක් හොඳම පුවත්පත සඳහා වන පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

කවුද මේ මාරියා අබි හබිබ්

චීනය ලංකාවෙන් වරායක් ලබාගත් හැටි (How china got Sri lanka cough up a port) නමැති ගවේෂණාත්මක ලිපිය නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ලියූ මාරියා අබි හබිබ් කැනඩාවේ මොන්ට්‍රියෙල් හි කොන්කෝඩියා විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියෙකි. 2007 වසරේ ඇය සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ ඩුබායිහි පර්සියන් ගල්ෆ් පුවත්පතේ වාර්තාකාරිනියක් හැටියටය. මේ වන විට නවදිල්ලියේ සිටින නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ දකුණු ආසියානු වාර්තාකාරිනියක වන ඇය නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට සම්බන්ධ වීමට පෙර ඇමෙරිකාවේ වෝල් ස්ටී්‍රට් ජර්නල් (wall street journal) හි මැද පෙරදිග වාර්තාකාරිනිය වූවාය. 
2012 වසරේදී, ඇමෙරිකානු හමුදා ජනරාල්වරුන් දෙදෙනකු අතින් පාලනය වූ ඇෆ්ගනිස්ථානයේ ප්‍රධානතම හමුදා රෝහලක සිදු වූ කෲරකම් මාධ්‍යය ඔස්සේ හෙළි කිරීම නිසා ඇය එම වසරේ ගවේෂණාත්මක මාධ්‍යවේදියාට හිමි වන ඩැනියෙල් පර්ල් සම්මානය සඳහාද ඇය නම් කෙරිණි. ඇගේ එම හෙළිදරව්ව නිසා එකී හමුදා  නිලධාරීන් දෙදෙනා රැකියාවෙන්ද නෙරපනු ලැබුවේය. රෝහල ප්‍රතිසංස්කරණය කෙරිණි.

උපාලි තිලකරත්න

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.