lakbima.lk

“හොඳ රටක් හොඳ හෙටක්“ වෙනුවෙන් බිහි වුණ BEYOND 2020 SRI LANKA වෙතින් රට හදන්න යෝජනා 20ක්

ජනතාවට මීට වඩා හොඳ ජීවන තත්ත්වයක් මේ පවතින තත්ත්වය තුළම ලබා දීම උදෙසා ක්‍රියා කරන BEYOND 2020 SRI LANKA, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අප්‍රේල් 29දා ජනගත කෙරේ. මේ ඒ සම්බන්ධයෙන් එහි ජාතික කැඳවුම්කරු වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා සමග කළ කතා බහකි.

මොකක්ද මේ BEYOND 2020 SRI LANKA කියන්නේ?

මේ සමාජ ගනුදෙනුව ඇතුළේ ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් ලබා දෙන්න හැකියාවක් තිබෙනව. ඒ අවස්ථාව යටපත් වෙලයි තිබෙන්නේ. අන්න ඒ වඩා යහපත් ජීවිතයක් ජනතාවට ලබා දීම අරමුණු කරගෙනයි මේ කටයුත්ත සිදු කෙරෙන්නේ. සරල කාරනාවක් කියන්නම් මම අපි ඇත්තටම දියුණුද කියල හිතන්න.

ඔබත් මමත් හොඳ පාසලකට ඇතුළත් කිරීමට ඔබෙත් මගෙත් දෙමාපියන් ගත් වෙහෙසට වඩා වැඩි වෙහෙසක් ඔබටත් මටත් අපේ දරුවන් හොඳ පාසලකට ඇතුළත් කිරීමට වෙහෙස දරන්න අද සිද්ධවෙලා තියෙනව.

ඔබටත් මටත් යහපත් අනාගතයක් නිර්මාණය කිරීමට ඔබේත් මගේත් දෙමව්පියන් වෙහෙස  ප‍්‍රමාණයට වඩා වැඩි වෙහෙසක් වැඩි අවධානමක් ඔබෙත් මගෙත් දරුවන්ට යහපත් අනාගතයක් උදාකරන්න වැඩි වෙහෙසක් දරන්නට අද අපිට සිද්ධවෙලා තියෙනව. නමුත් ඔවුන්ගේ අනාගතය යහපත් වෙයි විශ්වාස කළ හැකි පරාසයත් සීඝ‍්‍රයෙන් අඩුවෙමිනුයි තියෙන්නේ. එහෙම බැලුවාම අපේ දෙමාපියන් අපි පාසල් යවන අවදියේ තිබුණ දියුණුවවත් අද වෙද්දි නැහැ.

ඔබ ඔය කියන කාලයට වැඩිය අද අපේ රට දියුණු බවක් බැලූ බැල්මට පේන්න තිබෙනව. නමුත් ඔබ ඔය කියන දුෂ්කරතා දිනෙන් දින ඉහළ ගොස් ඇති බවත් සැබෑවක්. ඇයි මෙහෙම වෙන්නේ?

ඒකට හේතුව තමයි මේ පවතින ක්‍රමය තුළ පිටතින් පෙනෙන ප්‍රශ්න දහයක් පහළොවක් එදිනෙදාට විසඳමින් සිටීම. නමුත් ඒවායේ මූලයන් සොයල නිසියාකාර විසඳුහමක් දීල නැති නිසයි දිනෙන් දින මේ ප්‍රශ්න උග්‍ර වෙන්නේ. ඉතින් අපි ඒ මූලයන්ට නිසි පිළිතුර දෙනවානම් වරින් වර මේ ප්‍රශ්න මතුවෙන්නේ නැහැ.

අනෙක බොහෝ දේශපාලඥයින් සහ ඒ වටා එකතුවුණ පිරිසක් හොරකම් කරනව. බදු බර දිනෙන් දින වැඩි වෙනව. ඇයි මෙහෙම වෙන්නේ. මේවා පිළිබඳව ගැඹුරින් සොයා බැලිය යුතුයි.

BEYOND 2020 SRI LANKA මේ සඳහා ඉදිරිපත් කරන විසඳුම් මොනවාද?

ඒ සඳහා දැනට කරුණු 20න් යුතු යෝජනා මාලාවක් තිබෙනවා. ඒ පමණක් නෙවෙයි ජනතාවට මේ ගැටළු සම්බන්ධයෙන් යෝජනා ඉදිරපත් කිරීමේ අවස්ථාවකුත් අපි සලසා දෙනවා.

BEYOND 2020 SRI LANKA ඉදිරිපත් කරනු ලබන යෝජනා මාලාව පහතින් දැක්වේ.

01 ජාති, ආගම් කුල සහ ප‍්‍රාදේශිය වශයෙන් පදනම් වු දේශපාලන පක්ෂ වලින් තොර රටක් නිර්මාණය කරමු. දේශපාලන පක්ෂයක මුඛ්‍ය පරමාර්ථය වූයේ සමස්ත රට වැසියාගේ පොදු යහපත විනා ගෝත‍්‍රිකත්වය මත පදනම්ව කටයුතු කිරීම නොවේ. එම නිසා ජාතික වශයෙන් පිළිගත හැකි පදනමක් සහිත ප‍්‍රතිපත්ති මාලාවකින් සමන්විත වූ දේශපාලන පක්ෂ පමණක් ඉතිරි කරගනිමින් සහ ඉදිරියටත් එවැනි දේශපාලන පක්ෂ පමණක් බිහිවන ආකාරයේ නීති සැකැස්මක් සාදාගත යුතුය. ලෝකයේ දියුණු රටවල් එවැනි නීති සම්පාදනය කරගෙන ඇති අතර නිරන්තරයෙන් ගැටුම් තිබූ රටවල්ද ඒවායෙන් මිදීම සඳහා එවැනි නීති සම්පාදනය කර ගෙන කටයුතු කරයි. මෑත කාලීන හොඳම උදාහරණය රුවන්ඩාවයි.
 
 02. බහු විධ බුද්ධි සංකල්පය පිළිගනිමින් සෑම වෘත්තියකටම නිසි ගරුත්වයක් හිමිවන සමාජ ක‍්‍රමයක් නිර්මාණය කරගමු. මිනිසා සතුව පවතින්නේ මේ වනවිට අනාවරණය කරගෙන ඇති පරිදි (Multiply intelligence) විවිධ වූ බුද්ධීන් 10 කි. පාසැල් විභාග තුළින් මනිනු ලබන්නේ බුද්ධීන් වර්ග කිහිපයක් වන බැවින් පාසැල් විභාග අසමත්වන දරුවන්ට ශාරිරික වශයෙන් නිර්මාණශීලි සහ නායකත්ව ගුණාංගවලින් පිරිපුන් අනෙකුත් බුද්ධීන් පිහිටා තිබේ. ඒ නිසා ඒ පිළිබදව සමස්ත සමාජය දැනුවත් කිරීමත් ඒ මත පිහිටා ප‍්‍රතිපත්ති සැකසීමත් කළ යුතුය. ලෝකයේ ඉතා සාර්ථකත්වයට පත් බොහෝ ක‍්‍රීඩකයන්, බොහෝ කලාකරුවන්, බොහෝ ව්‍යාපාරිකයන් පාසැල් විභාග අසමත් වී ඇත.
 
 03. සෑම පුරවැසියෙකුටම එකම නීතියක් සහ එක සේ සැමට නීතිය ක‍්‍රියාත්මක වන රටක් ගොඩ නගමු. රටේ සෑම පුරවැසියෙකුටම මහ මාර්ගයේ ද, මූල්‍ය ආයතනවලදී, ඉඩම් විකිණීමේදී හා මිලදීගැනීමේදී මෙන්ම විවාහ හා දික්කසාද සඳහා ද එකම නීතියක් බලපැවැත්විය යුතු අතර, ඒවා ක‍්‍රියාත්මක කිරීමේදී සමාජ තත්වය හෝ ජාතිය, ආගම, කුලය මත පදනම්ව වෙන්ව නොසැලකිය යුතුය.
 
 04. උසස් අධ්‍යාපන අවස්ථා සහ වෘත්තීය පුහුණු අවස්ථා දෙගුණ කරමින් ගුණාත්මකභාවය ඉහළ නංවමු. වසරකට 330000 පමණ දරුවන් බිහිවන අතර 160000 ට අධික ප‍්‍රමාණයක් විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබුවද එයින් බඳවා ගනු ලබනුයේ 30000 ක් පමණි. එමෙන්ම වෘත්තීය පුහුණු ක්‍ෂේත‍්‍රයට 100000 ක් පමණ බඳවා ගත්තද තවත් 100000 ක් පමණ දරුවන් ඉදිරි මඟ පෙන්වීමක් නොමැතිව සමාජයේ අතරමං වේ. විශ්වවිද්‍යාල හා වෘත්තිය පුහුණු ආයතන මෙලෙසම පවත්වා ගනිමින් අධ්‍යයන කාර්ය මණ්ඩල ප‍්‍රමාණය 10% න් පමණ වැඩි කර එම පාඨමාලාම හවස් වරුවේ සහ සති අන්තයේ ආරම්භ කිරීමෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රමාණය 60000ටත් වෘත්තීය පුහුණු ක්‍ෂේත‍්‍රයට 200000 කුත් බඳවා ගැනීමට හැකිවනු ඇත. STEN (විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, ගණිතය) අධ්‍යාපනයට ප‍්‍රමුඛතාවයක් ලබාදීමෙන් රැකියා විරහිතභාවය වළක්වා ගත හැක.
 
 05. සෑම පුරවැසියෙකුටම වෘත්තිය නිපුණතාවය ලබාදීම. අධ්‍යාපනය මෙන්ම පරිගණක අධ්‍යාපනය සැමට ලබාදීමෙන් විශාල සමාජ ප‍්‍රතිලාභ අත්කරගන්නා සේම වර්තමාන සහ අනාගත ලෝකයට සාර්ථකව මුහුණු දීමට නම් එදිනෙදා ජීවිතයේ ගනුදෙනු කරනු ලබන යන්ත‍්‍ර සූත‍්‍ර සහ උපකරණවල ක‍්‍රියාකාරීත්වය හා නඩත්තුව පිළිබද මූලික දැනුමක් සෑම කෙනෙකුම සතු වීම
 
 06. දරුවන්ට කාන්තාවන්ට වැඩිහිටියන්ට සහ ආබාධිතයන්ට මනෝ සක‍්‍රීය සුරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීම සහ වයස අවුරුදු 60 ඉක්මවූ අය සඳහා විශ‍්‍රාම වැටුපක් හෝ රක්ෂණයක් හිමිවන ක‍්‍රමවේදයක් සකස් කිරීම.
 
 07. නිපුණ ශ‍්‍රමිකයන් හා වෘත්තිකයන් විදෙස් රැකියා වලට යැවීම ප‍්‍රවර්ධනය කිරීම සහ නුපුහුණු ශ‍්‍රමිකයින් සහ ගෘහ සේවිකාවන් රැකියා සදහා විදෙස් ගතවීම 2020 අවසන් වනවිට තහනම් කිරීම.
 
 08. පෙර පාසැල් ගුරුවරුන් සහ දිවා සුරුකුම් පාලිකාවන් මෙම වසර අවසන් වන විට මුලික සුදුසුකම් රාමුවකට ගෙන ඒමට සහ විධිමත් නියාමනයක් ඇති කිරීම.
 
 09. කොළඹ ඇතුළු තදාසන්න නගරවල දේශීය ඉංජිනේරුවන්ගේ දායකත්වයෙන් රේල් බස් ක‍්‍රමයක් ඇති කිරීම.
 
 10. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල ප‍්‍රධානීන්ගේ කාර්යක්ෂමතාවය වසරකට වරක් ඇගයීමක් සිදුකොට ප‍්‍රමාණවත් නොවන ප‍්‍රධානීන් එම තනතුරුවලින් ඉවත් කිරීම.
 
 11. ත‍්‍රීරෝද රථ රියදුරන් සඳහා බහු නිපුණතා වෘත්තීය පුහුණුව ලබා දීම.
 
 12. විවිධ වැඩකටයුතු සදහා නිපුණ ශ‍්‍රමිකයින් සොයා ගැනීම පහසු කරන මොබයිල් ඇප් එකක් හඳුන්වා දීම. උදාහරණ :- වඩු කාර්මික ශිල්පී, ජල නල කාර්මික ශිල්පී විදුලි කාර්මික ශිල්පී
 
 13. විදේශ විනිමය ගෙන ආ හැකි දේශීය ව්‍යාපාරිකයන් 100 ක් රජයේ සහයෝගයෙන් බිහි කිරීම.
 
 14. මහජන මුදලින් කෙරෙන සංවර්ධය කටයුතු සදහා ප‍්‍රදර්ශනාත්මක වියදම් නතර කිරීම ප‍්‍රමිති ගත කිරීම. උදාහරණ :- මුල් ගල් තැබීම, විවෘත කිරීමේ උත්සව
 
 15. ජාත්‍යන්තර මට්ටමේ කලා සංස්කෘතික හා විද්‍යාත්මක නිර්මාණ කඩිනමින් සිංහල සහ දමි ලභාෂාවන්ට පරිවර්තනය කරන යාන්ත‍්‍රණයක් හඳුන්වා දීම
 
 16. අවශ්‍ය වූ විටදී තම තමන් වෙනුවෙන් සහ රට වෙනුවෙන් අරගල කිරීම
 
 17. උපන් දිනයට පැළයක් සිටවමු සංකල්පය සමාජ ගත කිරීම.
 
 18. සෑම පුරවැසියෙකුටම ලස්සන මතුපිටක් සහ හොඳ ගුණාත්මක අභ්‍යන්තරයක් පවත්වා ගෙන යාම
 
 19. කවුද හරි ලෙස නොව කුමක්ද හරි ලෙස සිතන සමාජයක් ගොඩ නැගීම 
 
 20. ඔබ දැකීමට කැමති වෙනස පළමුව ඔබ තුලම ඇති කර ගන්න

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.