lakbima.lk

විශ්වාසභංග යෝජනා නීතියට අනුව සම්මත වී නැහැ - නිතිඥ කණිෂ්ක විතාරණ

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අගමැතිවරයෙක් පත්කිරීම සම්න්ධයෙන් ඇතිවූ ගැටලකාරී තත්ත්වයන් මේවන විට අධිකරණය හමුවේ මෙන්ම පාර්ලිමේන්තුව හමුවේද සාකච්ඡා කරමින් තිබේ. පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය පිළිබද විවේචනාත්මක අදහස් ඉදිපත්වෙමින් තිබියදීම කථානායකවරයා කටයුතු කළ ආකාරය සම්බනධයෙන්ද විවේචන ඉදිරිපත් වෙයි.
පාර්ලිමේන්තුවේ ඇතිවන ගැටුම්කාරී තත්ත්වයන්ට හේතු වන්නේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කටයුතු කර තිබේද යන්නයි.
පාර්ලිමේන්තුවේ කටයුතු සිදු කළ යුතු ආකාරය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින්ම පැහැදිලිිව දක්වා තිබේ.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 78(2) වගන්තියේ මෙසේ පනවා ඇත.
පනත් කෙටුම්පතක් හෝ යෝජනා සම්මතයක් පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුකූලව සිදු කළ යුත්තේ ය. ස්ථාවර නියෝගවලින් නියම කර ඇති අවස්ථාගත කරුණු යටතේ ද, එසේ නියම කර ඇති ආකාරයට ද කවර වූ හෝ ස්ථාවර නියෝගයක් නැතහොත් ස්ථාවර නියෝග වැඩි ගණනක් පාර්ලිමේන්තුව විසින් අත්හිටුවිය හැක්කේ ය.
වත්මන් ස්ථාවර නියෝග 2018 අපි‍්‍රයෙල් 15 වන දින සිට බලාත්මක කර ඇත.
විශ්වාස භංගයක් යනු විරුද්ධ පක්ෂය විසින් ආණ්ඩු පක්ෂයට එරෙහිව ගෙන එන යෝජනාව කි. ඒ අනුව විශ්වාස භංග යෝ්ජනාවක් ද සම්මත කළ යුතු වන්නේ වෙනත් යෝජනාවක් සම්මත කරන ආකාරයටමය. ඒ ස්ථාවර නියෝගවලට අනුකූලවය.
ස්ථාවර නියෝග 27(1) අනුව ගෙන එනු ලබන සෑම යෝජනාවක් පිළිබඳව ම පූර්ව දැනුම් දීමක් සිදු කළ යුතුය. එසේ කළ යුත්තේ දැනුම් දෙනු ලබන මන්ත‍්‍රීවරයාගේ අත්සන දරන ලියවිල්ලක් මහ ලේකම්වරයාගේ නමට ලිවීමෙනි. එය නීතියට හා ව්‍යවස්ථාවට අනුකූලද යන්න ලේකම්වරයා විසින් සලකා බැලිය යුතුය. පසුව දින 7 ක් ඇතුළත න්‍යාය පුස්තකයට ඇතුළත් කළ යුතුය. දැනුම් දෙන ලද දින සිට සම්පූර්ණ දින පහක් ඉකුත් වී ඇතොත් මිස, ඒ සම්බන්ධව විවාදයක් පවත්වනු නොලැබිය යුත්තේ ය.
ස්ථාවර නියෝග 27(4)ට අනුව කිසියම් කාරණයක් දැනුම් දෙන අවස්ථාවේ දීම විවාදයට ගත නොහැක. 24(5) ට අනුව න්‍යාය පත‍්‍රයට ඇතුළත් කර නොමැති කිසිදු කාරණයක් ද විවාදයට ගත නොහැකි ය. ස්ථාවර නියෝග 28 අනුව ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනා පිළිබඳව එවැනි දැනුම් දීමක් කිරීම අනිවාර්යය.
පසුගිය නොවැම්බර් 14 දින පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී විරුද්ධ පක්ෂයට කඩිමුඩියේ විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා ඔවුන්ට නිසි ක‍්‍රමවේදය මග හැරිය යුතු විය. ඒ සඳහා ටී.එන්.ඒ ජ.වි.පෙ. එ.ජා.ප. හා විරුද්ධ පක්ෂයේ වෙනත් මන්තී‍්‍රවරුන්්, කථානායකවරයා සමග එක්ව පූර්ව සැලැස්මක් කි‍්‍රයාත්මක කළ බව පෙනී යන ලදී.
වහාම සුමන්තිරන් මන්ති‍්‍රවරයා ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවක් ගෙන ආවේය. එහෙත් එම යෝජනාව ගෙන ආවේ ස්ථාවර නියෝග වලට පටහැනිව ය. අවශ්‍ය අවස්ථාවලදී ස්ථාවර නියෝග අත්හිටුවා කටයුතු කිරීමට පාර්ලිමේන්තුවට හැකිය. එසේ සිදුකළ යුත්තේ ස්ථාවර නියෝග 135 ට අනුවය. එහි මෙසේ පනවා ඇත.
”පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයන් බහුතරයක් විසින් යම් රැස්වීමක දී දැනුම් දීමෙන් අනතුරුව ඉදිරිපත් කරනු ලබන යෝජනාවක් මගින්, යම් විශේෂ කටයුත්තක් තීරණය කිරීමට හෝ සුදුස්සක් කර අවසන් කිරීමට හැකිවනු පිණිස ස්ථාවර නියෝග එකක් හෝ ඊට වැඩි ගණනක් අත්හිටවනු ලැබීමට හැකි ය:
එසේ වුව ද, මෙම ස්ථාවර නියෝගය යටතේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකු විසින් ඉදිරිපත් කරනු ලබන්නේ නම් මිස, බෙදීමකින් තීරණය කරනු ලැබිය යුතු අතර, බහුතරයේ මන්ත‍්‍රීවරයන් විසි දෙනෙකුට අඩු සංඛ්‍යාවක් යෝජනාවට පක්ෂව ඡුන්දය ප‍්‍රකාශකොට ඇති බව පෙනී යන්නේ නම් එම යෝජනාව නිෂ්ඵල බවට ප‍්‍රකාශ කරනු ලැබිය යුත්තේ ය.
පළමුව එම යෝජනාව පිළිබඳව නිසි දැනුම් දීමක් සිදුකළ යුතු ය. මෙහි දී එවැනි දැනුම් දීමක් සිදුකර නොමැත. ස්ථාවර නියෝග අත්හිටුවන්නේ කුමන විශේෂ කටයුත්තක් තීරණය කිරීමට ද යන්න හෙළිදරව් කළ යුතුය. කුමන ස්ථාවර නියෝග අත්හිටුවීමට අදහස් කරන්නේ ද යන්න ද එම යෝජනාවට ඇතුළත් කළ යුතුය. එහෙත් එම කිසිවක් සිදු කළේ නැත.
මෙසේ දෝෂ සහිත අත්හිටුමේ යෝජනාව මුල පටන් ම බලශූන්‍ය ය. එය සම්මත කිරීමට ඉදිරිපත් කිරීමට වත් නොහැකි ය. එහෙත් කථානායක වරයා විසින් එය ඉදිරිපත් කරන්නට හැරියේය. ස්ථාවර නියෝග අනුව එම යෝජනාව බෙදීමකින් ගත් ඡුන්්දයකින් මගින් තීරණය කළ යුතු විය. සුමන්තිරන් මන්තී‍්‍රවරයා ම බෙදීමක් ඉල්ලා සිටියේ ය. ඒ අනුව කථානායකවරයා ස්ථාවර නියෝග 47(2) අනුව ඡුන්දය දිය යුතුය.
ස්ථාවර නියෝග 47 හි පනවා ඇත්තේ ඡුන්දය දෙන ක‍්‍රමවේදය ය. ඒ මෙසේ ය.
”47. (1) කථානායකවරයා විසින් ප‍්‍රශ්නය විමසනු ලැබිය යුතු අතර, ”පක්ෂය” සහ ”විරුද්ධයි” යනුවෙන් කටහ`ඩවල් අනුව ඡුන්දය ලබාගෙන කථානායකවරයා විසින් ප‍්‍රතිඵලය ප‍්‍රකාශ කරනු ලැබිය හැකි ය.
(2) කථානායකවරයාගේ තීරණය සමග යම් මන්ත‍්‍රීවරයකු එකඟ නොවන්නේ නම්, කථානායකවරයා විසින් නිශ්චය කරනු ලැබිය හැකි මතු සඳහන් කවර හෝ ක‍්‍රමයකට ඡන්දයක් සඳහා බෙදීමක් ඉල්ලා සිටිනු ලැබිය හැකි ය. එවැනි අවස්ථාවක දී, බෙදුම් සීනු මිනිත්තු පහක් නාද කරනු ලැබිය යුතු අතර, ඉන් අනතුරුව -
(අ)    මන්තී‍්‍රවරයන් එක් පේළියෙන් පේළිය බැගින් තම ස්ථානවලින් නැගීසිට සභාව ඉදිරියේ තිබෙන යෝජනාවට පක්ෂව හෝ විරුද්ධව ඡුන්දය භාවිතා කිරීම, ගණන් කිරීමෙන් කරනු ලැබිය යුතුය
(ආ)     විද්‍යුත් ඡුන්ද සටහන් කිරීමේ යන්ත‍්‍රය භාවිතයෙන් ඡන්දය ගනු ලැබිය යුත්තේ ය. මෙහිදී මන්ත‍්‍රීවරයන් කථානායකවරයා විසින් ඉඩදෙනු ලබන කාල සීමාව ඇතුළත ඔවුන්ගේ තීරණය දැක්වීම සඳහා අදාළ බොත්තම එබීමට කටයුතු කරනු ලැබිය යුත්තේ ය
(ඇ)     මහ ලේකම්වරයා විසින් එක් එක් මන්තිි‍්‍රවරයාගෙන් එම මන්ති‍්‍රවරයා ඡුන්දය දීමට රිසි කවර ආකාරයෙන් ද යන්න විමසා ඒ අනුව ඡුන්ද සටහන් කර ගනු ලැබිය යුත්තේ ය. මහ ලේකම්වරයා විසින් පළමුව අග‍්‍රාමාත්‍යවරයාගේ ද, ඉන්පසු අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ගේ ද, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයන්ගේ ද, ඉන්පසු අනෙකුත් මන්ත‍්‍රීවරයන්ගේ ද ඡුන්දය ඔවුන්ගේ නම්වල අකාරාදී අනුපිළිවෙළට විමසනු ලැබිය යුතු අතර, යම් මන්ත‍්‍රීවරයකු ඡුන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටීමට අදහස් කරන්නේ නම්, ඒ බව මහ ලේකම්වරයාට ප‍්‍රකාශ කරනු ලැබිය හැකි ය.
ඉහත නියෝගය අනුව පෙනී යන්නේ කටහඩවල් අනුව ලබාගත් ඡුන්දය වලංගු වන්නේ සියලූම මන්තී‍්‍රවරුන් එහි තීරණය සමග එකග වන්නේ නම් පමණක් බවය. එසේ ම මන්තී‍්‍රවරයෙකු විසින් බෙදීමක් ඉල්ලා සිටි අවස්ථාවක දී කට හඩවල් අනුව ඡුන්දයක් ලබා ගත නොහැකි ය. එවිට පේළිය බැගින් හෝ විද්්‍යුත් ක‍්‍රමයට හෝ ලේකම්වරයා විසින් මන්ති‍්‍රවරුන්ගෙන් නම් අනුව විමසා ඡුන්දය ලබා ගත යුතු ය. අනෙක් අතට නමින් ඡුන්දය ගැනීමේ අවශ්‍යතාවයක් හා ඉල්ලීමක් තිබෙන විටක දී ද කටහඩින් ඡුන්දය ගත නොහැකි ය.
එම දිනයේ දී මන්තී‍්‍රවරුන් විසින් නමින් (බෙදීමකින්) ඡුන්දය ගන්නා ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ දී කථානායක විසින් කියා සිටියේ එසේ ගැනීමට අවශ්‍ය වුවද කටහඩින් ඡුන්දය ගන්නා බවයි. මෙසේ කිරීම ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීම කි.
මෙහි දී කථානායකවරයා විසින් ම ස්ථාවර නියෝග උල්ලංඝනය කර තිබීම ඉතාම ඛේදනීය සිද්ධියකි. ස්ථාවර නියෝග අනුව කටහඩින් ඡන්දය ලබා ගැනිමක් එම අවස්ථාවේ දී කළ නොහැකිය. එසේ තිබිය දී කථානායක විසින් ඔහු විසින් ම හිතින් මවා ගන්නා ලද තීරණයක් අත්තනෝමතික ලෙස ප‍්‍රකාශ කර ඇති බව (අසංශෝධිත හැන්සාඞ් වාර්තාවට අනුව) පෙනේ.

ස්ථාවර නියෝග අනුව කටහඩවල් අනුව ගත්ත ඡුන්දයේ වුව ද ප‍්‍රතිථලය ප‍්‍රකාශයට පත් කළ යුතුය. හැන්සාඞ් සටහන අනුව නිසි පරිදි ඡුන්දයක් ගෙන නොමැත. ප‍්‍රතිථලයක් ද ප‍්‍රකාශයට පත් කර නැත. බහුතරය එකගයි යන්න පැවසීමෙන් එම අවශ්‍යතාව ඉටු නොවේ. ස්ථාවර නියෝග 47(3) හි ඒ බව වඩාත් තහවුරු කර ඇත.
”(3) කථානායකවරයා විසින්, තීරණයට පක්ෂව හා විරුද්ධව ප‍්‍රකාශ කරනු ලැබ ඇති ඡුන්ද ගණන නිවේදනය කරනු ලැබිය යුතු අතර, ඡුන්ද සංඛ්‍යා සමාන නම්, කථානායකවරයාට තීරක ඡුන්දය දෙනු ලැබීමට හැකි ය. කථානායකවරයා විසින්, ඉන්පසු ඡුන්ද විමසීමෙහි ප‍්‍රතිඵලය ප‍්‍රකාශ කරනු ලැබිය යුත්තේ ය.”
ඒ අනුව 14 වන දින දී ස්ථාවර නියෝග අත්හිටුවීමක් සිදුව නොමැත. ඒ අනුව අනුර කුමාර දිසානායක මන්ති‍්‍රවරයා ගේ (ඊනියා) විශ්වාස භංග යෝජනාව එම අවස්ථාවේ දී ම විවාදයට ගැනීමට හෝ ඡුන්දය සඳහා ඉදිරිපත් කිරීමට නොහැකි ය. එහෙත් එසේ කිරීම මගින් ස්ථාවර නියෝග උල්ලංඝනය වී ඇත.
එම දිනයේ දී විශ්වාස භංග යෝජනාවේ පිටපත් මන්තී‍්‍රවරුන්ට ලබා දී නොමැත. අනෙක් අතට එහි දී නමින් ඡුන්දය ගැනීමේ අවශ්‍යතාවයක් තිබූ බව කථානායක විසින් ම පවසා ඇත. මන්තී‍්‍රවරුන් විසින් දෙවරක් ම බෙදීමක් ඉල්ලා ඇත. එසේ තිබිය දී හඩ අනුව ඡුන්දය ලබා ගත් බවට කථානායක විසින් ප‍්‍රකාශ කර ඇත. එහි දී ද ලබාගත් බවට කියන ඡුන්දයේ ප‍්‍රතිථලය ප‍්‍රකාශ කර නොමැත.

මෙම දිනයේ දී අදාළ යෝජනා ඉදිරිපත් වූ අවස්ථාවේ දී ඒවාට පක්ෂ මන්තී‍්‍රවරුන් ” යනුවෙන් ප‍්‍රකාශ කර ඇති බවට අසංශෝධිත හැන්සාඞ් වාර්තාවෙි සඳහන් ව ඇත. එහෙත් එවැන්නක් පාර්ලිමේන්තු සැසිය සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වූ විඩියෝ දර්ශනවල නිරීක්ෂණය වන්නේ නැත. එබැවින් හැන්සාඞ් වාර්තාවේ එම කරුණු නිවැරදිව සටහන් ව ඇත්තේ ද යන්න පිළිබඳව නැවත විමසා බැලීය යුතු ය.
නොවැම්බර් 16 වන දින දී සිදුවු යේ ද 14 දින වූ සිදුවීම් ය. එම දිනයේ දී ද සුමන්තිරන් මන්ති‍්‍රවරයා විසින් නැවතත් ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවක් ඉදිරිපත් කර ඇත. එම දිනයේ දී නම් ස්ථාවර නියෝග 27 අත්හිටුවන බවට පවසා ඇත. එහෙත් මුල් දිනයේ දී මෙන් ම එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ද පූර්ව දැනුම් දීමකින් තොරව ය. එසේ අත්හිටුවන්නේ කුමන කාරණයකට යන්න ද යෝජනාවේ සඳහන් වන්නේ නැත. එම දිනයේ දී ද කටහඩින් ඡුන්දය ගැනීමට නොහැකි ය. හේතුව මන්තී‍්‍රවරයකු විසින් ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවක් ගෙන ආ විට එය අනිවාර්යයෙන් ම බෙදීමකට යා යුතු බැවිනි.
පුදුමය නම් එම දිනයේ දී අඩුම තරමින් කටහඩින් හෝ ඡුන්දයක් ලබා ගෙන නොමැති වීමයි. අදාල (ඊනියා)යෝජනාව ස්ථීර කළ බව ප‍්‍රකාශ කිරීමෙන් පසුව කථානායක විසින් ඡුන්දයක් විමසන්නේ නොමැතිව ම කෙළින්ම පූර්ව දිනයේ දී ගෙන ආ ඊනියා විශ්වාස භංග යෝජනාවට (ජනාධිපති ඉදිරියේ එකග වූ පරිදි) සංශෝධනය ක් කර ඉදිරිපත් කරන බවට ප‍්‍රකාශ කර ඇත. එබැවින් එදින ද ස්ථාවර නියෝග අත්හිටුවීමක් සිදුවී නොමැත.  එසේම අනුර කුමාර දිසානායක මන්තී‍්‍රවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව කථානායක විසින් හඳුන්වා දෙන ලද්දේ වැරදියට ය. ඒ අනුව එම යෝජනාවේ අන්තර්ගතය පිළිබඳව නිවැරදි දැනුමක් මන්ති‍්‍රවරුන්ට තිබුණේ නැත.

එම දිනයේ දී ද නම්වලින් ඡුන්දය ගැනීමේ අවශ්‍යතාවයක් තිබිය දී එසේ කිරීමට බැරි බව කථානායක විසින් ප‍්‍රකාශ කර ඇත. එදින පාර්ලිමේන්තුවේ කටයුතු සිදු කර ඇත්තේ පොලීසියේ ද ආරක්ෂාව ඇතිව ය. හැන්සාඞ් වාර්තාවට අනුව හා කථානායකවරයාගේ පිළිගැනීම අනුව නමින් ඡන්දය ලබා ගැනීමේ හැකියාක් පාර්ලිමේන්තුවේ නොතිබුණි. පාර්ලිමේන්තුව කථානායකගේ පාලනයේ නොතිබූ එවන් අවස්ථාවක දී එහි කරගෙන ගිය කටයුතු හා ලබා ගත් ඡුන්දය බලශුන්‍ය ය. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ය.
ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාවල කිසිදු තැනක ආණ්ඩුව විසින් සිදුකරන ලද බවට කියන කිසිදු වරදක් සඳහන් නොවේ. මුල් දින යෝජනාවේ ඇත්තේ ගරු ජනාධිපති විසින් ප‍්‍රකාශයට පත් කරන ලද (පූර්ව අගමැති ඉවත් කිරීම හා නව අගමැති පත් කිරීම පිළිබඳ) ගැසට් පත‍්‍ර නීති විරෝධි බැවින් ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නොමැති බවය. දෙවැනි දිනයේ දී ඉදිරිපත් කළ ඊනියා යෝජනාවේ සඳහන් වන්නේ මුල් දිනයේ දී සම්මත කරන ලද (බවට කියන ඊනියා) විශ්වාස භංගය කරණකොට ගෙන (නැවතත්) ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නොමැති බවය. එසේ නමි දෙවන විශ්වාස භංගයට අනුව 2018.11.16 දින වන විට දී ද ආණ්ඩුව නිරුපදි‍්‍රතව පැවත ඇත.

පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය අනුව කථානායකවරයාගේ වම් පසින් විරුද්ධ පක්ෂයත් දකුණු පසින් ආණ්ඩු පක්ෂයත් අසුන්ගත යුතුය. 16 වන දින කථානායක අසුන්ගත් ස්ථානයට සාපේක්ෂව ඔහු දෙපසින් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අසුන්ගෙන නොසිටින ලදී. ඒ අනුව සම්ප‍්‍රදාය අනුව එම දිනයේදී වලංගු පාර්ලිමේන්තුවක් රැස් වී නොමැත.
එම දිනයේ දී සිදුවූ තවත් අවධානයට යොමුවිය යුතු කරුණක් වන්නේ කථානායක අසුන්ගත් ස්ථානයට පාර්ලිමේන්තුව දර්ශනය නොවීමයි. සුමන්තිරන් මන්ති‍්‍රවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ස්ථිර කරන ලද්දේ ද යන්න ද අසලින් සිටි තැනැත්තෙකුගෙන් විමසා සිටීමට කථානායක ට සිදුවිය. ඊට පිළිතුරු දුන් අයකු ද දර්ශනය නොවී ය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.