lakbima.lk

දේශපාලන වියවුලෙන් ආර්ථිකයත් අවුලෙන් අවුලට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ වැදගත් ප‍්‍රවෘත්ති දෙකක් පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානයට ලක් විය.  එකක් අරමුදල මගින් කෙන්යාවට නිකුත් කර තිබුණ තාවකාලික ණය සංචිතයක් අත්හිටුවීමය. කෙන්යා රාජ්‍යයේ අය වැය පරතරය පාලනය කරගන්නා සේ අනතුරු අඟවා තිබුණ අතර එහි පාලකයෝ දිගින් දිගටම එය නොසලකා හැරියහ. සපයන ලද ණය සංචිතය අත්හිටුවනු හැර විකල්පයක් මූල්‍ය අරමුදලට තිබී නැත. එය ආන්දෝලනයට ලක් විය. අනෙක ශ‍්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබුණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හයවැනි වාරිකය ප‍්‍රමාද විය හැකි බවය. මෙම තොරතුුරු රොයිටර් පුවත් සේවය අනාවරණය කර තිබුණ අතර එයට අමතර වශයෙන් තවත් පුවතක් කියා සිටියේ පවතින දේශපාලන ආරවුල් හේතුවෙන් විදේශ ආයෝජකයන් ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කර තිබූ රුපියල් බිලියන තිහක් ඉවත් කරගැනීමේ වාර්තාවකි.

ශ‍්‍රී ලංකාවේ දේශපාලනය තුළ දරුණු ආරවුලක් හටගෙන තිබේ. තවත් පැය විසි හතරකට පසු එනම් ස`දුදා වන විට ගැටලූවට මුල් වූ අගමැති වශයෙන් මහින්ද රාජපක්ෂ පදවි ප‍්‍රාප්ත වී එක මාසයක් හමාර වනු ඇත. කෙන්යා බලධාරීන්ට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම අවලංගුවීම ප‍්‍රශ්නයක් නොවන අතර අලූත් පාලකයෝ නැවතත් ඒ ගැන අරමුදලේ නියෝජිතයන් සමග සාකච්ඡුා කරන්නට ඉඩ තිබේ. ශ‍්‍රී ලංකාවේ ස්වභාවය එයට වෙනස්ය. පවතින ආණ්ඩුව මූල්‍ය අරමුදලේ ඇතැම් නිර්දේශ නොසලකා හැර තිබේ. අලූතින් සාකච්ඡුා කරන්නට සූදානමක් ඇති බවක් පෙනෙන්නේ නැත. දැනට පවතින අවිනිශ්චිත දේශපාලන වාතාවරණය එයට හේතු වී තිබේ.

ලෝක බැංකුව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට දේශපාලනයේ සෑහෙන චරිත බව පෙනේ. ඉතිහාසයේ සිට බලයට පත් වූ හැම ආණ්ඩුවක්ම මෙම ආයතන වල ක‍්‍රියා පටිපාටි නිසා මට්ටු වී තිබේ. සන්ධාන ආණ්ඩුව බලයට පත් වූ වහා මූල්‍ය අරමුදලේ ණය සංචිතයක සහාය ඉල්ලා සිටි අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් සහ එයට ඇතුළත් වූ කොන්දේසි රටට අනුමත කර තිබුණි. තාවකාලික ණය සංචිතය ආර්ථිකයේ ගැටලූ නිරාකරණය කරන ලද නමුත් කොන්දේසි ක‍්‍රියාවට නංවන විට ජනතාව තුළ නොසන්සුන් තත්ත්වය ඉහවහා ගියේය. ආර්ථිකය අඩාල විය. ජීවත්වීම අසීරු වූ අතර මැදි ආදායම් මට්ටමේ ජනතාව ගේ අපේක්ෂා පාලනය කරන තද නීති පැනවීය. පැවැති ආණ්ඩුවේ ජනප‍්‍රියතාවය සෑහෙන ප‍්‍රතිශතයකින් අඩු කරන්නට මූල්‍ය අරමුදලේ බලපෑම හේතු වූ බව නිසැකය. රජයේ ආදායම වැඩි කරගැනීම සඳහා බදු නැංවූ අතර ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව පාලනය කිරීම එහි වක‍්‍ර අරමුණ සේ සැලකිය හැකිය. මිල දී ගැනීම අඩුවන අවස්ථාවක ආනයන පාලනය වන අතර එය විදේශ විනිමය ආරක්ෂා කරගැනීමට මගකි. ඉන්ධන මිල සූත‍්‍රයක් ජනතාව මත පැටවෙන්නේ මූල්‍ය අරමුදලේ අත පෙවීම අනුවය. රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව 2019 අය වැය ලේඛනය ඉදිරිපත් කළේ නම් විදුලිය මිල සූත‍්‍රයක් ද පැනවෙන අතර තව දුරටත් ජනතාව මත බදු පීඩනය එල්ල වන අන්දමට දේශීය ආදායම් පනත ක‍්‍රියාවට නැංවීම සිදුවනු ඇත. ජනතාවගේ පීඩනය මතු කර ආණ්ඩුවෙන් ඉවත්වීම මතු පිටින් දැක්වෙන නමුත් අභ්‍යන්තරයේ දී සෑම පුද්ගලයෙකුම ආර්ථික පීඩාවක සිටි බව රහසක් නොවේ.

ප‍්‍රධාන පක්ෂ දෙක එකතු වී සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම මගින් රට තුළ පැවැති ප‍්‍රධාන ප‍්‍රශ්න  ගණනාවකට විසඳුම් සෙවීම පහසු වනු ඇතැයි විශ්වාසයක් තිබුණි.  යුද්ධයෙන් පසු එළැඹි සාමකාමී වාතාවරණය නිසි සේ උපයෝගී කර ගැනීම එකකි. උතුර හා දකුණ සංහිඳියාවක් ඇති කර එකතුකරන අතරවාරයේ අලූත් ව්‍යවස්ථාවක් මගින් බලය බෙදාහැරීම එක අපේක්ෂාවකි. විධායක බලතල ඉවත්කරන, යහපත් මැතිවරණ සංස්කෘතියක් ඇති කරන අලූත් ව්‍යවස්ථාවක් ද අරමුණු අතර තිබුණි. ආර්ථිකය නගා සිටුවන තීන්දු, අලූත් ආයෝජන, වැඩිපුර රැුකියා අවස්ථා, අඩු ජීවන වියදම සහ විශේෂයෙන් යහපාලනය අපේක්ෂා කළෝය. ඒවා එකක්වත් අවසානයක් කරා ළඟා වූයේ නැත. ජනතාව තුළ අතෘප්තිය හා වික්ෂිප්ත භාවය ඇති විය. අලූතින් යමක් වෙනුවට සුපුරුදු ජාත්‍යන්තර අරමුදල් වල බලපෑම තියුණු මුහුණුවරක් ගත්තේය. එකිනෙකාට ප‍්‍රතිවිරුද්ධව සිටි දේශපාලන කණ්ඩායම් එකතුවීමෙන් රට වෙනුවෙන් ඉතාම නිවැරදි තීරණ ගැනීමට පසුබිම සකස් වනු ඇතැයි පැවැති විශ්වාස තුරන් කර ආර්ථිකය අඩාල කරන්නට ජාත්‍යන්තර ප‍්‍රධානක ආයතන වලට හැකියාව ලැබුණි. ශ‍්‍රී ලංකාවේ ඉල්ලූම පාලනය කරනු සඳහා ආර්ථික වේගයට සීමා කළ මූල්‍ය අරමුදල එය දහසය අවුරුද්දකට පසු අඩුම ආර්ථික වර්ධනය දක්වා පහතට ඇද දමා ආණ්ඩුව විනාශ කළේය. එදිනෙදා ජීවත්වීමේ සටන ජනතාවට විශාල වශයෙන් දැනී තිබුණ වකවානුවක පාලකයෝ ක‍්‍රියා කළ ආකාරය එපමණ සුදුසු වූයේ නැත.

ලෝක බැංකුව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නරක ආයතන නොවේ. නමුත් හොඳ හිතින් සහාය දෙන මෙම ජාත්‍යන්තර සංවිධාන ශ‍්‍රී ලංකාවේ සමාජ සංස්කෘතික පසුබිම හදාරන්නේ නැත. වාසනාවකට ශ‍්‍රී ලංකාව මැදි ආදායම් රටක මට්ටමේ හෙයින් ලෝක බැංකුවේ මැදිහත්වීම අඩුය. සංවර්ධන අවශ්‍යතා සඳහා ව්‍යාපෘති ණය පමණක් ලබා ගනී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හදිසි අවස්ථා වල දී  තාවකාලික ණය සපයන අතරවාරයේ ප‍්‍රතිපත්ති තීරණ වෙනස් කිරීම සඳහා යැයි කියමින් කොන්දේසි ද ඉදිරිපත් කරයි. එම කොන්දේසි රටට ගැළපෙන ඒවා නොවේ. 

සන්ධාන ආණ්ඩුව බලයට පත් වූ වහා එවකට මතුවෙමින් තිබුණ ගෙවුම් ශේෂය සම්බන්ධ ගැටලූ යටපත්කර ආර්ථික ස්ථාවරත්වය උදෙසා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් ශ‍්‍රී ලංකාවට අනුමත කළේය. 2019 වසර මැද දක්වා වාරික හතකින් එම සංචිතය ලබා ගැනීමට ශ‍්‍රී ලංකාව ගිවිසුමක් අත්සන් කර තිබුණි. දැනට වාර්තා වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප‍්‍රමාද කරන්නේ එහි හයවැනි වාරිකයයි. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් බව දැක්වෙයි. එය සෑහෙන මුදලකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ඉකුත් සැප්තැම්බර් 13 වැනි දා මෙරටට පැමිණියේය. ආණ්ඩුවේ දේශපාලන ප‍්‍රධානීන් හා රජයේ නිලධාරීන් සමග සාකච්ඡුා කරන ලදී. ආර්ථිකයේ ස්වභාවය ගැන සෑහීමකට පත් වූ අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක් වන හයවැනි වාරිකය ගෙවීමට හැකි බව දන්වනු ලැබීය. නමුත් එයින් පසු උද්ගත වූ තත්ත්වය මගින් එම වාරිකයේ ලැබීම ප‍්‍රමාද කර තිබේ. අලූත් ආණ්ඩුව මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට එකඟ ද යන්න දැනගැනීමට විය හැකිය. ඛනිජ තෙල් මිල සූත‍්‍රය අහෝසි කර අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල පහත හෙලූ ආණ්ඩුව අංශ ගණනාවක පැවැති බදු අඩු කර තිබේ. එයින් රජයේ ආදායම අඩු විය හැකිය. මූල්‍ය අරමුදල සමග කලින් එක`ග වී සිටි ස්වභාවය පැත්තකට කිරීමකි. එවැනි අවස්ථාවක අලූත් ආණ්ඩුවට අලූතින් සාකච්ඡුාවට ඇතුල් විය හැකි පරිදි වාරිකය ප‍්‍රමාද කිරීම ප‍්‍රශ්නයක් නොවේ. නමුත් මෙවැනි තීරණයක් අභිමුවෙහි එයට මුහුණ දිය හැකි පරිදි ආර්ථික තීන්දු ගැනීමට රටට අලූත් වැඩ පිළිවෙළක් අවශ්‍යය.

දේශපාලන ව්‍යාකූලතාව හෙයින් පාර්ලිමේන්තුව නිසි පරිදි රැුස්වීමක් නැත. 2019 අය වැය වාර්තාවක් ඉදිරිපත් නොවන බව ප‍්‍රකාශ වෙයි. තාවකාලික ඇස්තමේන්තුවක් ඉදිරිපත් විය හැකියි. එයින් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති අනාවරණය නොකෙරේ. එය ගැටලූවකි. ආණ්ඩුව වහා සිය ඉදිරි දැක්ම ප‍්‍රකාශයට පත් කළ යුතුව ඇත. ආයෝජන සම්බන්ධයෙන්

අනුගමනය කරන ප‍්‍රතිපත්ති නිරවුල්ව දැක්වීම අවශ්‍යය. බදු ප‍්‍රතිපත්ති අනාවරණය කළ යුතුය. ආර්ථිකයේ පහසු සන්සුන් භාවය ඇති කළ යුතු අතර එයින් තොර විකල්පයක් නැත. ශ‍්‍රී ලංකාව තමන්ගේ ප‍්‍රතිපත්ති හා වැඩපිළිවෙළ සකස් කරගෙන එයින් පසු එම වැඩපිළිවෙළ වෙනුවෙන් ජාත්‍යන්තර සහාය පැතීම සුදුසුය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි කෙසේ වෙතත් එතැනින් ලැබෙන ණය සංචිතයේ පොලි අනුපාත දියුණුවන රටකට ඉතාම වැදගත්ය. දැනට අයකරන පොලිය සියයට දශම හයකි. එය වාණිජ පොලී අනුපාත වලට වඩා ඉතා අඩු අගයක් බව සඳහන් කළ යුතුය. ශ‍්‍රී ලංකාව සංවර්ධන බැඳුම්කර වශයෙන් ලබාගන්නා ණය වලට සියයට 6.5 දක්වා පොලියක් වාර්ෂිකව අය කෙරේ. නොබෝදා මෝඩි ආර්ථික විශ්ලේෂකයන් සිය ශ්‍රේණිගත කිරීම අනුව ශ‍්‍රී ලංකාව ණය ගෙවීම සම්බන්ධයෙන් බී දෙක වැනි ස්ථානයක් දක්වා පහළට දැමීය. එම ශ්‍රේණිගත කිරීමේ ආයතනය මෙරට කටයුතු අවධානයට ගත් 2010 වසරේ සිට පළමු වතාවට බව සඳහන් කළ යුතුය.  මෙකී අවදානම සමග මෙරට ණය පොලිය සියයට දහයක පමණ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. ආර්ථික ප‍්‍රතිපත්තිය සකස් කර ඒ වෙනුවෙන් පිිළිගත් ආයතන සමග සාකච්ඡුා කර ආධාර වලට ගියහොත් මෙම පොලීකාර ව්‍යූහය මට්ටු කළ හැකිය. නමුත් දැන් පවතින අර්බුදකාරී දේශපාලනය එයට කිසිසේත් ඉඩක් දෙන්නේ නැත. අලූතින් සකස්වන වැඩපිළිවෙළකට හැර ආර්ථික විශ්වාසය ඇති කළ බවක් නොපෙනේ. එය වඩාත්ම දුෂ්කර තැනකට ශ‍්‍රී ලංකාව පත් කරනු ඇත. විශේෂයෙන් 2019 පළමු මාස හතර තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන  1500ක සංවර්ධන බැඳුම්කර නිදහස් කරන්නට රටට සිදුවනු ඇත. එ් වෙනුවෙන් විනිමය නැති හෙයින් නැවතත් ණය ගැනීම හැර විකල්පයක් නැත. එම අලූත් ණයවලට පොලිය ඉතා ඉහළ මට්ටමක් වනු ඇති අතර අන්තිමේදී මෙකී අතවර වලට වන්දි ගෙවන්නේ පොදු ජනතාවය.

ජී.කේ.ජී. සරත්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.