lakbima.lk

දේශපාලන අර්බුදයක් වී පුපුරා ගියේ ආර්ථිකයේ දූෂණ සහ අක්‍රමිකතා

රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් පිළිබඳ පෙරනිමිති මේ වන විටද ඇතිවී නොමැත. පාර්ලිමේන්තුවේ ඇතිවූ කාලගෝට්ටිය මෙරට ජනතාව මතු නොව විදේශයන්හි සිටින ජනතාවද සජීවීව නැරඹූහ. ඕනෑම දෙයක් ඇතිවීමට කිසියම් හේතුවක් බලපානු ලබයි. මේ හේතුඵල සම්බන්ධතාව දේශපාලකයන්  විසින් අවංකව වටහාගෙන ඇති බවක් නොපෙනේ. එම නිසා අර්බුදය විසඳීම පසෙක තබා බොරදියේ මාළු බෑමට ඇතැම්හු යොමුව සිටිති. රටේ දේශපාලන අර්බුදයක් ඇතිවීම දක්වා විධායක හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් වර්ධනය වූයේ මන්දැයි ගැඹුරින් විශ්‍ලේෂණය කරගත යුතුව ඇත.
කෙසේ වෙතත් අපගේ මෙම ව්‍යායාමය එකී දේශපාලන විශ්‍ලේෂණයේ යෙදීම නොව මෙකී අර්බුදය හමුවේ ආර්ථිකයට මුහුණදීමට සිදුවන අලකලංචිය පිළිබඳව විමසා බැලීමය. එහිදී දේශපාලන කරුණු කාරණාවන් පිළිබඳවද කතා කිරීමට සිදුවීම වැළැක්විය නොහැකිය. මක්නිසාදයත් ආර්ථික වර්ධනය හා සංවර්ධනය සඳහා දේශපාලන ස්ථාවරත්වයක් පැවැතීම අනිවාර්ය කොන්දේසියක් වන නිසාය. එය අනිවාර්ය කොන්දේසියක් වන්නේ අප සතුව ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හෝ වැඩපිළිවෙළක් නොමැති නිසාය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ව්‍යවස්ථාදායකය වෙනස් කොට නව අගමැතිවරයෙකු පත්කිරීමට කටයුතු කොට ඇත්තේද ආර්ථික කරුණු අරබයා රටේ ඇතිවූ ප්‍රශ්නකාරී තත්ත්වයට විසඳුම් අපේක්ෂාවෙන්ය.  (ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ ප්‍රකාශයට අනුව) මහ බැංකුව බැඳුම්කර සිද්ධියේ විත්තිකරුවන්ට නිසි දඬුවම් නොලැබිම, එම ගනුදෙනුව හරහා ජාතික ආර්ථිකයට සිදුවූ බරපතළ හානිය, ‍පොලී අනුපාතය ඉහළ යාම, ආයෝජන විශ්වාසය බිඳ වැටීම වැනි කරුණු සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයක් යොමු කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ලැබිය.
රාජ්‍ය දේ‍පොළ පෞද්ගලීකරණය කිරීම ඉන්ධන මිල සූත්‍රය, ආර්ථිකයේ භාණ්ඩ හා සේවා මිල ගණන් අඛණ්ඩවම ඉහළ යාම, විනිමය අනුපාතිකය දිගින් දිගටම  අවප්‍රමාණය වීම වැනි ආර්ථික ගැටලුවල පීඩනය සෘජුවම මහජනතාවගේ කරමත පැටවී තිබිම මෙහිදී අවධාරණය කරනු ලැබිය.

අය - වැය

අයවැය ‍ලේඛනයන් අභිමුඛව ව්‍යවස්ථාදායකයේ වෙනසක් ඇතිවූ විට ආර්ථිකයේ යම් සසලවීමක් සිදුවීම සාමාන්‍ය දෙයකි. දින කිහිපයක් ඇතුළත නව මුදල් අමාත්‍යවරයා විසින් සහන පැකේජයක් ජනතාවට ලබාදුන්නද ව්‍යවස්ථාදායකයේ අවුල් ඉන් නිරාකරණය වූයේ නැත. නව අග්‍රාමාත්‍යවරයාගේ හා කැබිනට් මණ්ඩලයේ (ආණ්ඩුවේ) පත්වීම අභියෝගයට ලක් කිරීමට  එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන කණ්ඩායම් විසින් පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමත් සමග තත්ත්වය වඩාත් ව්‍යාකූල විය.
මෙකී ව්‍යාකූලත්වය කෙටි කාලයක් තුළ නිමා කිරීමේ අරමුනින් පාර්ලිමේන්තුව විසුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරනු ලැබූ අතර මහා මැතිවරණය පවත්වන දිනයද ප්‍රකාශයට පත්කොට ගැසට් පත්‍රයක්ද නිකුත් කරනු ලැබිය. කෙසේ වෙතත් එකී ගැසට්  පත්‍රය බලරහිත කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන කණ්ඩායම් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු කරනු ලැබිය. එම පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය දෙසැම්බර් 4, 5 හා 6 දිනයන්හි පැවැත්වීමට තීරණය කොට දෙසැම්බර් 07 වෙනිදා දක්වා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය සඳහා අතුරු තහනම් නියෝගයක් පනවනු ලැබිය. තත්ත්වය වඩාත් උග්‍රවූයේ නොවැම්බර් 14 වෙනිදා යළි පාර්ලිමේන්තුව කැඳවීමත් සමගිනි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කුමක්වුවත් එකී තීන්දුව ලබාදීමට දෙසැම්බර් 06 වෙනිදා දක්වා වූ දීර්ඝකාලයක් ලබා නොගත්තේනම් මෙකී ව්‍යාකූල වාතාවරණය මේ තරම් උග්‍ර නොවනු ඇතැයි යන්න අපගේ හැඟීමයි. මක්නිසාදයත් රට තුළ දේශපාලන නොසන්සුන්තාවත්, අවිනිශ්චිතතාවත් තිබෙන තාක් එය ආර්ථිකයට විශාල හානියක් ගෙන දෙන හෙයිනි.
විශේෂයෙන්ම පවතින තත්ත්වය හමුවේ අතුරු සම්මත ගිණුමක් හෝ ඉදිරිපත්කොට රටේ ඉදිරි කාලවකවානුව සඳහා මුදල් වෙන්කර ගැනීමේ හැකියාවක් නොපවතී. පාර්ලිමේන්තුව විනාඩි ගණනකට වඩා පවත්වාගෙන යාමට පසුගිය දින කිහිපය පුරාවටම නොහැකිවිය. ආර්ථිකය හෝ එහි අනාගතය පිළිබඳව සිතීමට දේශපාලකයන්ට කලයක් ඉතිරී වී නොමැත. ඔවුන්ගේ මුළු කාලයම යෙදවා ඇත්තේ බලය තහවුරු කර ගැනීම උදෙසාය. රටකට ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හා වැඩ පිළිවෙළක් තිබිමේ වටිනාකම තීව්‍ර ලෙස පෙනෙන්නේ මෙවැනි අවස්ථාවලදීය. දැන් ඇමෙරිකන් ඩොලරයක් සඳහා රුපියල් 178 ක් ගෙවිය යුතුව ඇත. නමුත් මේ අවමන් සහගත අවප්‍රමාණය පිළිබඳ කතා කිරීමට අද දේශපාලකයන් කිසිවෙකුත් නැත. රුපිය‍ලේ පාවීම කොතනකින් නවතීද යන්න පිළිබඳව පුරෝකථන ඉදිරිපත් කළ නොහැක්කේ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් මේ දිනවල කිසිවෙකුත් කතා නොකරන නිසාය. එහෙත් මේ දේශපාලන ව්‍යාකූලත්වය කිසියම් හෝ දිනක පහවී ගියවිට ආණ්ඩුවක් ඉදිරියට ගෙනයාම සඳහා ආර්ථිකයක් තිබිය යුතුය. අප ආහාරවලින් ස්වයං ‍පෝෂිත නැත. රටවටා මහ මුහුදක් තිබුණද කරවල, හාල්මැස්සන් මතු නොව මාළු පවා ආනයන කරන්නෝ වෙමු. ඇඟලුම් කර්මාන්තය ගැන මහ ඉහළින් කතා කරනු ලැබුවද ඒ සඳහා අවැසි රෙදි, නූල්, බොත්තම්, ශිපර් ඇතුළු මෙකී නොකී සියලුම අමුද්‍රව්‍යය ආනයන කරන්නෙමු. අපේ කියා ඇත්තේ ශ්‍රමය පමණි. ඉන්ධන, ඖෂධ, යන්ත්‍රසූත්‍ර, රථවාහන සියල්ල පිටරටිනි. මී පැණි සහ කුරහන් ඕස්ට්‍රේලියාවෙනි. බඩ ඉරිඟු, ලොකු ලූනු ටික ඉන්දියාවෙන් හා පාකිස්තානයෙනි. අපේ දේශපාලකයන් ගහ මරා ගනු ලබන්නේ මෙවැනි රටක පාලන බලයක් වෙනුවෙනි.
 

හෙට දවස

පවත්නා තත්ත්වය දෙස බලන විට රටේ හෙට දවසේ ආර්ථිකය පිළිබඳව ඇත්තේ දැඩි අවිනිශ්චිතතාවයකි. ශ්‍රී ලංකා මහ බැංකුව 2018 වසරේ ආර්ථිකය සියයට 5කින් පමණ වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කොට තිබුණි. දැන් එම පුරෝකථනය වෙනස් කොට ආර්ථිකය සියයට 3.5කින් පමණ වර්ධනය වනු ඇතැයි ප්‍රකාශ කොට ඇත. ඇතැම්විට එය තව දුරටත් පහළ යා හැකිය. මක්නිසාදයත් මෙම වසර නිමාවීමට තවත් දින 40ක පමණ කාලයක් ඉතිරිව තිබෙන නිසාය. මේ දිනවල සිදුවන ක්‍රියාකාරකම් කිසිවක් ආර්ථිකය සම්බන්ධයෙන් සුබදායක නැත. පවතින දේශපාලන අවිනිශ්චිතතාව යටතේ කිසිදු විදේශ ආයෝජකයෙක් මෙරටට පැමිණ ස්වකීය  මුදල් ආයෝජනය කරනු ඇතැයි සිතිය නොහැකිය. අනෙක් පැත්තෙන් දේශීය ආයෝජකයන් පවා ස්වකීය ව්‍යාපාර පුළුල් කිරීමත් කෙරෙහි උනන්දුවේයැයි සිතිය නොහැකිය. ඔවුන් සියල්ලන්ම සිටින්නේ සිද්ධ වෙන්නේ කුමක්දැයි යන්න පිළිබඳ පැහැදිලි අදහසක් නොමැතිවය.

කෙසේ වෙතත් එළැඹෙමින් පවතින්නේ උත්සව සමයයි. නත්තල් උත්සව සමය හා වසර අවසානයත් සමග නව වසරක උදාව නිමිති කොට ගෙන වෙළෙඳ‍පොළ හරහා සිදුවන ගනුදෙනු ප්‍රමාණයේ සාපේක්ෂ ඉහළ යාමත් නිතැතින්ම සිදුවේ. විශේෂයෙන්  එළවළු, මස්, මාළු ඇතුළු ආහාර ද්‍රව්‍ය සඳහා වන ඉල්ලුම වෙළෙඳුන් හා ව්‍යාපාරිකයන් ස්වකීය වාසිය සඳහා යොදාගතහොත් පාරිභෝගිකයා අපහසුතාවයකට පත්වන්නේය. නියෝග නිකුත් කිරීමට හා පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුවක් තිබේද? නැද්ද? යන ගැටලුව රට හමුවේ පවති. මෙය බොහෝ දෙනෙකුට බොරදියේ මාළු බෑමට කදිම අවස්ථාවකි. නමුත් එය අහිතකර ප්‍රතිඵල බුක්ති විඳීමට සිදුවන්නේ සමස්ත ජනතාවටත් ආර්ථීකයටත්ය. 2018 වසර අගබාගයේ සිදුවන මෙම දේශපාලන හැල හැප්පිලිවල ප්‍රතිඵල 2019 වසර සඳහාද සෘජු ලෙසට බලපෑම් කරනු ඇත. මක්නිසාද යත් කැලැන්ඩරයේ දින 365 ක් නිමාවී වසර අවසන් වුවද ආර්ථිකයක් එසේ අවසන් නොවන නිසාය.

සාලිය ජනකකුමාර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.