lakbima.lk

ඉතිහාසයෙන් අත්දැකීම් නැති ආර්ථිකයක් සමග නව වසරකට පා තැබීම

ශී‍්‍ර ලංකාව ඉතිහාසයේ කවරදා හෝ නොතිබුණ අනපේක්ෂිත යුගයකට ඇතුළු වී තිබේ. ආර්ථික, සමාජ හා දේශපාලන ව්‍යුහය සංකීර්ණ තැනකය. එය කොතැනකින් ආරම්භ වී කවර ස්වභාවයක අවසානයක් කරා ගමන් කරන්නට ඉඩ තිබේදැයි පැහැදිලි නැත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්ති තිබේ. අධිකරණයට වගන්ති ගැන තර්ක කළ හැකිය. ව්‍යවස්ථාදායකය කි‍්‍රයා කරන අන්දම ප‍්‍රශ්න සහගත බව පෙන්වන්නට විධායකට හැකියාව තිබේ. විධායකය ක‍්‍රියාත්මක වන ආකාරය නරක බව ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන්ට පෙන්වාදිය හැකිය. ගැටලූව එය නොවේ. ස්වාධීනව හැසිරීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම ශක්තිමත් කළ යුතු ආයතන තුනක් එකිනෙකාගේ ‘‘බාහු බලය’’ පෙන්වන අවස්ථාවක රටට අත්පත් විය හැකි ඉරණම ගැනය. එය කුමක් විය හැකි දැයි යන්න ගැන අතීතයෙන් උදාහරණ නැත.

එකට සන්ධාන ගත වූ පක්ෂ දෙකක යාන්ත‍්‍රණයකින් රට විශාල, යහපත් පරිවර්තනයකට යොමු වනු ඇතැයි ජනතාව බලා සිටියේය. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කොටසක් හා එක්සත් ජාතික පක්ෂය එකතු වී සන්ධාන රජයක් පිහිටුවන්නේ පළමු වතාවටය. ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ සංධානය යන දේශපාලන පක්ෂ ද එයට කැමැත්ත පළ කරන තැනක සිටියේය. මුස්ලිම් කොංග‍්‍රසය සන්ධාන ආණ්ඩුවේ පාර්ශ්වයක් විය. ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ එයින් පිටත වෙනස් කණ්ඩායමක් වශයෙන් සිටි අතර එම පිරිස ගේ අපේක්ෂාව වූයේ සන්ධාන රජයේ පොදු විපක්ෂයේ භූමිකාව සඳහා වූ අරගලය ජය ගැනීමය. ජනාධිපති, අගමැති හා කැබිනට් මණ්ඩලය ස්ථාවර ආරම්භයක් ගත් පළමු අවස්ථාව අනුව ආසියානු කලාපයේ විශිෂ්ට තැනක් දක්වා වේගවත් සංවර්ධනයක් ලබා ගත හැකි වනු ඇතැයි ජනතාවගේ අභිලාෂය විය.

නමුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්ති හා එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්ති අතර නොගැලපීමක් තිබුණි. අගමැති හා ජනාධිපති අතර බෙදුම් රේඛාවක් පැහැදිලිව දැක ගත හැකි විය. ආර්ථිකය සම්බන්ධ තීරණ ගැනීමේ දී පාර්ශ්ව දෙක අතර තිබුණ අනවබෝධය විද්‍යමාන වූ අතර පරස්පරතා නිසා නොයෙක් ව්‍යාකූලතා ඇති කළේය. ඔක්තෝබර් 26 වැනිදා තීරණය එහි උච්ච අවස්ථාවයි. අගමැති ධුරය ඇතුළු කැබිනට් මණ්ඩලය විසුරුවා හරින ලද ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා වශයෙන් පත් කර වරින් වර කැබිනට් මණ්ඩලය පත් කරන්නට පියවර ගත්තේය.  පත්කරන ලද අලූත් ආණ්ඩුවට බහුතරය පෙන්වන්නට අසමත් බව නිරීක්ෂණය කළ හැකි වූ අතර ආණ්ඩුව විසුරුවා හරින ගැසට් නිවේදනයක් නිකුත් කරන්නේ එයින් අනතුරුවය. ගැසට් නිවේදනයට විරුද්ධව පාර්ශ්ව දහ තුනක් අධිකරණයේ නඩු පවරා තිබේ. අධිකරණ තීරණය අනුව විසුරුවා හැරීම ගැන පක්ෂව හෝ විපක්ෂව දෙන තීන්දුව වැදගත් නැත. මන්ද තවත් නඩුවකට අනුව අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ කටයුතු වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ගෙන තිබේ.

අධිකරණයෙන් පනවන ලද අතුරු තහනම් නියෝගය අනුව කැබිනට් මණ්ඩලයේ තනතුරු තාවකාලිකව බලරහිත වී ඇත. අගමැති පත් කිරීම හා කැබිනට් මණ්ඩලය ගැන තීරණ ගැනීමේ නඩු කටයුත්ත විභාග කිරීම 2019 ජනවාරි 16 සිට 18 දක්වා කල්දමා ඇත. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව විසරුවා හැරීමේ ගැසට් නිවේදනය ගැන අධිකරණ තීරණය කුමක් වුවත් අගමැති හා කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් නඩු තීරණයක් ලැබෙන තුරු අලූත් ආණ්ඩුවක් පත් කිරීමට ඉඩක් නැත. සාවධානව කල්පනා කළ යුතු තත්ත්වය එයයි.

ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන අවස්ථාවක භාරකාර ආණ්ඩුවක් තිබේ. කැබිනට් මණ්ඩලය එහි සාමාජිකයන්ය. අලූත් ආණ්ඩුවක් බලයට පත්වන තෙක් රජයේ අත්‍යවශ්‍ය වියදම් සඳහා රජයේ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් සැපයිය හැකිය. රාජ්‍ය ආයතනවල ක‍්‍රියාකාරිත්වයට බාධාවක් නැත. නමුත් අධිකරණය මගින් ක‍්‍රියාකාරිත්වය නතර කර ඇති අවස්ථාවක 2019 වසරට මුහුණ දෙන්නේ කෙසේදැයි  පූර්වාදර්ශ රටට නැත. අගමැති ධුරය වෙනස් කළ අවස්ථාවේ සිට ආර්ථිකය දරුණු අන්දමට පිරිහෙන බව එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයන් නගන තර්කයකි.  ලබන වසරේ සිට රජයේ අත්‍යවශ්‍ය වියදම්, ණය ලබා ගැනීම සහ ණය ගෙවීම යනාදිය අඩාල වන අතර එය ආර්ථිකයට විශාල ගැටලූ ඇති කරන බව කියැවෙයි. අඩුම තරමින් බැංකු වල පොලිය ගෙවීම ද කඩා වැටී ප‍්‍රශ්න මතු විය හැකි බවට භීතියක් මතු කර තිබේ. අගමැති ධුරය ඇතුළු කැබිනට් මණ්ඩලය තාවකාලිකව බල රහිත කරන තීරණය කෙසේ වෙතත් පවතින නීති අනුව කිසිම අර්බුදයකට නොයා තත්ත්වය පාලනය කරගන්නට ව්‍යවස්ථානුකූල පසුබිමක් පවතින බව අනෙක් පාර්ශවයේ තර්කයයි. මෙම තර්ක වලින් ආර්ථිකය ශක්තිමත් කළ හැකිද?

එ.ජා.ප. ශී‍්‍රලනිප ජාතික ආණ්ඩුවක් කෙරෙහි ජනතාව මහත් බලාපොරොත්තු තබන ලද නමුත් 2017 වසර අවසන් වූයේ වසර දහසයකට පසු අඩුම ආර්ථික වර්ධනය වාර්තා කරමින්ය. එය සියයට 3.1 ක අඩු වර්ධනයකි. එම වසර තුළ මාලදිවයින සියයට 8.8 ක, නේපාලය සියයට 7.5 ක හා ඉන්දියාව සියයට 6.6 ක ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන තිබුණි. අඩු වර්ධන වේගයේ පීඩනය ජනතාවට දැණින. භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ හැකියාව අඩු විය. රජයේ ආදායම පහත වැටුණ අතර එයට විකල්පයක් වශයෙන් බදු වැඩි කළේය. මිල සූත‍්‍ර හªන්වා දුන්නේය. කෙසේ වෙතත් පසුගිය වසර දෙස ආපසු හැරී බලන පොදු ජනතාව එය සාර්ථක ආර්ථිකයක් බව ප‍්‍රකාශ කරන්නේ  නැත. ගෙවී යන 2018 වසර ද සියයට හතරක වර්ධනයක් අපේක්ෂා කරන නමුත් පවතින උග‍්‍ර අර්බුදය එය සාක්ෂාත් කරන්නේ නැත. ජනතාව විමතියෙන් සිටිති. ව්‍යාපාරිකයෝ සිය අලෙවිය පහත වැටී ඇති බව දක්වති. උද්ධමනය ඉහළ ගොස් ඇත. ඔක්තෝබර් 26 වැනි දා සිට අද දක්වා රජයේ මුදල් සැපයුම සියයට 61 කින් නැග ඇති බව මහ බැංකුවේ වාර්තා පෙන්වයි. රජයේ ණය ගැනීම ඉහළගොස් ඇති අතර තවදුරටත් පොලී අනුපාත ඉහළ යාම වලක්වනු සඳහා භාණ්ඩාගාර බිල්පත් හා බැªම්කර වෙනුවෙන් අලූත් මුදල් නෝට්ටු නිකුත් කරමින් සිටී. මුදල් වැඩිවන විට මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප‍්‍රමාණය පහත වැටේ. එය දිගින් දිගටම පැවැතීම නරක තත්ත්වයකි.

2001 වසරේ දී ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සෘණ 1.4 ක තත්ත්වයට පත්විය. සංවර්ධනය ආපසු හැරිණ. එයට හේතු වූයේ ත‍්‍රස්තවාදයයි. රජයේ ආර්ථික පාලනය දුර්වල වූ අතර එය බරපතළ තත්ත්වයක් විය. 2019 වසර වෙනුවෙන් නිසි සංවර්ධන සැලැස්මක් රහිත, නිෂ්පාදන වැඩපිළිිවෙළ අඩාල වූ හා අය වැය යෝජනාවක් සම්මත නොවන අවස්ථාවක ආර්ථිකය තව දුරටත් පහළ වැටෙන්නට බැරිකමක් නැත.

පවතින අවිනිශ්චිත වාතාවරණය තවදුරටත් පැවැතියහොත් අඩුම තරමින් තාවකාලික ඇස්තමේන්තුවක් හෝ අනුමත කරගත නොහැකි වුවහොත් රජයේ අත්‍යවශ්‍ය වියදම්වලට පවා ප‍්‍රශ්න ඇති විය නොහැකි යැයි සඳහන් කරන්නට හැකියාවක් නැත. ඉතිහාසයට අනුව එවැනි අත්දැකීම් රටට නැත. වගකිව යුතු මහජන නියෝජිතයන් වශයෙන් රට එවැනි ආර්ථික අගාධයකට තල්ලූ කිරීම නුසුදුසුය. විපතකට පත් කර එයින් පසු ලබාගන්නා ජයග‍්‍රහණය පිරිසිදු, ප‍්‍රජාතන්ත‍්‍රවාදී එකක් යැයි තර්ක කළ හැකිද?  ආණ්ඩුවක් හෝ විපක්ෂයක් යන අනුමාන පැත්තකට දැමිය යුතුය. ශ‍්‍රී ලංකාව 2019 වසරට සූදානම් වන්නේ කෙසේදැයි තීරණය කිරීම වැදගත් මහජන මන්තී‍්‍රවරුන්ගේ යුතුකමකි. ලබන වසරේ ජනවාරියේ දී ඇමෙරිකානු ඩොලර් මිලියනයක විදේශ ණය ගෙවන්නට නියමිතව ඇත. එය අඩාල කරන්නට හැකියාවක් නැත. රට තුළ පාර්ලිමේන්තුවේ ගැටුම ජාත්‍යන්තර වශයෙන් විශාල අපකීර්තියකට යොමු කළ යුතුද? පාර්ලිමේන්තුවේ නියෝජිතයෝ මේවා ගැන අවධානය යොමු කළ යුතුය. ව්‍යවස්ථාව හා දේශපාලන අර්බුදය අනෙකකි. එහි ඇත්ත නැත්ත විසඳා ගැනීම සඳහා අධිකරණයේ නඩු විභාග වෙයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, කැබිනට් මණ්ඩලය බල රහිත කිරීම යනාදිය ගැන විසªමක් අපේක්ෂා කරයි. නමුත් එම ගැටලූ ඉදිරියේ රටට බලපාන ආර්ථික තීන්දු ප‍්‍රාණ ඇපයට ගැනීම අනුචිතය.

ශ‍්‍රී ලංකාවේ පොදු ජනතාව බුද්ධිමත්ය. දවස් පනස් හතරක් යනු විශාල කාලයකි. එම කාලය තුළ සෑහෙන ඉවසීමකින් ජනතාව බලා සිටියහ. පාර්ලිමේන්තුවේ අර්බුදය විසඳා ගැනීමට පාර්ලිමේන්තු නියෝජිතයන් ප‍්‍රඥාවන්ත වනු ඇතැයි ජනතාවගේ තක්සේරුව විය. එදිනෙදා කාර්ය අඩාල කළේ නැත. රජයේ සේවකයෝ නිසි වගකීමක් සහිතව ක‍්‍රියා කර තිබේ. දේශපාලන පක්ෂවල ගැටුම රාජ්‍ය යාන්ත‍්‍රණය තුළට ඇතුළු කරගත්තේ නැත. එයින් ලැබුණ යහපත, වාසිය තක්සේරු කළ යුතුය. එකී ස්වභාවයට නිසි ගෞරවය ලබා දීම මහජන මන්තී‍්‍රවරුන්ගේ වගකීමකි. නීති වගන්ති හුවා දක්වමින් රටේ මුලික වියදම හරස් කර රට ආර්ථික අතින් තුනී කිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය.

ජී.කේ.ජී. සරත්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.