lakbima.lk

කලකට ඉහතදී රට ගිනි තැබූ වචනයක් වූයේ මලයනාඩුය එම වචනය කරළියට ආවේ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රස් නායකව සිටි සෞම්‍යමූර්ති තොණ්ඩමන් ඇමැතිවරයා ජීවතුන් අතර සිටියදීය. ඔහු වතුකරය මලයනාඩුව ලෙස වෙනම රටක් තබා ගන්නා බවට දකුණේ දේශපාලකයෝ චෝදනා කළහ. වතුකරයේ සිටින්නේ ඉන්දීය දෙමළ ජාතිකයන් බැවින් මලයනාඩුවට ඉන්දියාවේ සහය ලැබෙන බවද එකල කියැවුණි. මලයනාඩුව දැන් යටට ගොස් බොහෝකල්ය. දැන් එවැනිම වචනයක් මුල් කරගනිමින් අලුත් අර්බුදයක් ඇති වී තිබේ. එම වචනය ඔරුමිත්තනාඩුවය.

“ලංකාව ඔරුමිත්තනාඩුවක් කරන්න ඉඩ නොදෙමු” මේ දිනවල ‍පොදුජන පෙරමුණ ඇතුළු දේශහිතෛෂී කණ්ඩායම්වල ප්‍රධාන සටන් පාඨය වී තිබේ. ඔරුමිත්තනාඩු වචනය සමාජයේ භාවිතයට එන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය හරහාය.

වත්මන් ආණ්ඩුව 2015 සැප්තැම්බර් මාසයේදී පත් වූ පසු ඉදිරිපත් කළ ප්‍රධාන කාරණයක් වූයේ ජාතික ගැටලුව නිරාකරණය කිරීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවය. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කළ අතර අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවක් ද පත් කෙරිණි.

එම මෙහෙයුම් කමිටුවට පක්ෂ විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරමින් සාමාජිකයන් පත් කළ අතර ඔවුන් විසින් උප කමිටු පත් කොට මහජන අදහස් සහ විද්වතුන්ගේ අදහස් මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ ද අදහස් ලබා ගත්හ.

එසේ ලබාගත් අදහස් අනුව සකස් කළ වාර්තාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කළ අතර මෙහෙයුම් කමිටුව මගින් එය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී. කථානායක කරු ජයසූරිය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපති වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා එහි සාමාජිකයෝ වූහ.

මෙහෙයුම් කමිටුව දිගින් දිගටම රැස්වූ අතර එහිදී තීරණය වූවේ විශේෂඥ කමිටුවක් මගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් වන දළ කෙටුම්පතක් සකස් කිරීමටය. ඔවුන් සකස් කළ දළ කෙටුම්පත සම්බන්ධයෙන්ද ගැටලු පැන නැගුණි. මහාචාර්ය ඒ.එන්. නවරත්න බණ්ඩා, මහාචාර්ය කවීනා ගුණරත්න, මහාචාර්ය සූරි රත්නපාල, නීතිඥ ඔස්ටින් පුල්‍ලේ, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හිටපු පීඨාධිපති නීතිඥ එස්. සෙල්වකුමාරන්, නීතිඥ සුරේන් ප්‍රනාන්දු, නීතිඥ නිරාන් අන්කටල්, මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කපිල පෙරේරා, නීතිඥ ශමින්ද්‍රි සපරමාදු සහ මූල්‍ය කොමිසමේ හිටපු සභාපති අශෝක ගුණවර්ධන යන පිරිසෙන් මෙම විද්වත් මණ්ඩලය සමන්විත වූහ.

එම දළ කෙටුම්පත ඉකුත් 11දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ වාර්තා තුනක් ලෙසය. එහි එක් වාර්තාවක ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් විය යුතුය යන්න සටහන් වේ. එය දෙමළ පරිවර්තනයේ සඳහන් වන්නේ ඔරුමිත්තනාඩු ලෙසය.

සිංහල පරිවර්තනයේ ඒකීය වචනය තිබෙන අතර දෙමළ පරිවර්තනයේ ඔරුමිත්තනාඩු වචනය තිබෙනා බව කී ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්දා ඔරුමිත්තනාඩු දෙමළ වචනයෙහි සිංහල තේරුම එක්සත් යන්න බව ප්‍රකාශ කළේය.

ඒකීය යන සිංහල වචනයෙහි දෙමළ පරිවර්තනය වන්නේ ඔට්ට්‍රච්චි බවත් ඔරුමිත්ත වෙනුවට ඔට්ට්‍රච්චි වචනය දළ කෙටුම්පතට ඇතුළත් කරන ලෙස ඉල්ලුවත් එය ඉටු නොවූ බවත් මන්ත්‍රීවරයා කීවේය. ඔරුමිත්තනාඩු වචනය ඇතුළත් කිරීමෙන් පෙනීයන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පදනම ෆෙඩරල් රාජ්‍යයක් බිහි කිරීම බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඔරුමිත්ත යන වචනයෙහි සැබෑ වචනාර්ථය කුමක්ද අපි විමසා සිටියේ යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල් ගෙනි. සියලුදෙනාම එක් අදහසකට පැමිණි යන සිංහල තේරුම ඔරුමිත්තනාඩු යන්නෙහි ගැබ්ව තිබෙනවා.

ඔරුමිත්ත සංස්කෘතික හෝ නිතර භාවිතා වන වචනයක් නොවෙයි. ඔරු කියන්නේ “එක” කියන අදහසයි. “මිත්ත” යනු මතික යන අදහස ගෙනනවා. ඒ ස්වාමිනාදන් විමල් දක්වන අදහසය. එක්සත් යන වචනයෙහි දෙමළ අර්ථය ඓක්‍යය වේ. එක්සත් ජාතික පක්ෂය ගත් විට එහි දෙමළ පරිවර්තනය ඓක්‍යය තේසිය කච්චි යන්නයි. එහිදී එක්සත් යන්නෙහි දෙමළ පරිවර්තනය ඓක්‍යය යන්න බව ඔහු කියයි.

එසේ නමුත් දෙමළ ජනතාව අතර ඔරුමිත්තනාඩු යන වචනය නිතර භාවිතා වන වචනයක් නොවන අතර එය දෙමළ දේශපාලන ශබ්ද කෝෂයේ පවතින වචනයක් ද නොවන බව ආචාර්යවරයා පෙන්වා දෙයි. මෙය අලුත් වචනයක් බැවින් එය භාවිතාවට ගැනීමෙන් පසු අගතිගාමී අදහස්වලින් බැහැර විය හැකි බව ඔහුගේ අදහසයි.

එසේනම් ෆෙඩරල් යන්නට තිබෙන දමිළ වචනය කුමක්දැයි මතුවිය හැකි ගැටලුවකි. ෆෙඩරල් යන්නෙහි දමිළ අරුත සමස්ති යන්නය. “සමස්ති” යන වචනය සිංහල දමිල ශබ්ද කෝෂයෙහි විමසූ විට සන්ධීය යනුවෙන් දක්වා තිබේ. ඒකීය රාජ්‍ය සෙවූ කළ දක්වන්නේ “ඔට්ට්‍රච්චි” යනුවෙනි. ඔට්ට්‍රච්චි යන්නෙහි සිංහල තේරුම ලෙස “ඔත්තේ” නැතිනම් බෙදිය නොහැකි යන අදහස දැක්වේ.

එසේනම් ඔරුමිත්තනාඩු යනු සන්ධිය හෝ ෆෙඩරල් හෝ නැතිනම් බෙදෙන රටක් ලෙස දක්වන්නේ කෙසේද යන ගැටලුව මතුවේ. එයට හේතුව මෙය දෙමළ සමාජයේත්, සිංහල දන්නා දෙමළ සමාජයේත් භාවිතා නොවන වචනයක්වීම බව සාමිනාදන් විමල් පෙන්වා දෙයි.

කෙසේ නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් හෝ වෙනත් කෙටුම්පතක් ගත් කළ අධිකරණය පිළිගන්නේ සිංහල පරිවර්තනයේ පවතින කොටසය. ඊට අමතර භාෂාවක් පිළිගත යුතු වන්නේ නම් එයද ව්‍යවස්ථාවට හෝ පනත් කෙටුම්පතට ඇතුළත් කළ යුතුය. එනම් සිංහල පරිවර්තනයට අමතරව දමිළ පරිවර්තනය ද පිළිගත යුතු බව එහි සඳහන් කළ යුතුය.

දෙමළ ජාතික සන්ධානයට ඒකීය රජයක් පිළිගැනීමට අවශ්‍ය නම් ඔට්ට්‍රච්චි නොදා ඔරුමිත්තනාඩු දැමුවේ මන්දැයි ඩග්ලස් දේවානන්ද විමසයි. මෙය සිංහල දෙමළ ජනතාව රැවටීම උදෙසා ඔවුන්ගේ උප්පරවැටිටියක් බව ඔහු කියයි.

නමුත් දෙමළ ජාතික සන්ධානය පවසන්නේ ඔරුමිත්තනාඩු යනු නොබෙදුන ශ්‍රී ලංකාවක් යන අර්ථය සඳහන් වන බැවින් එය යොදාගත් බවයි. ඒකීය කීවත් නොබෙදුනු කීවත් අර්ථය එකක් බව දෙමළ ජාතික සන්ධානය කියයි. දෙමළ ජනතාව එය දැනගත්ත ද සමහර දේශපාලනඥයන් එය පිළිගැනීමට අකමැති බවද ඔහු කියා සිටියි.

නොබෙදුනු රටක් යන්න ඔරුමිත්තනාඩු නම් එය බෙදුනු රටක් ලෙස හඳුන්වන්නේ කෙසේද යන ගැටලුව පවතියි. මෙය හුදෙක් දේශපාලන අවශ්‍යතා මත ප්‍රකාශ වන කරුණක් බව බොහෝ දෙනා හඳුන්වා දෙයි. ඔරුමිත්තනාඩු හෝ ඔට්ට්‍රච්චි හෝ කුමක් වුවත් රටට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට පවතින පාර්ලිමේන්තු බලය අනුව නොහැකි වෙයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් කැමති විය යුතුය. එසේම ජනමත විචාරණයකට ද යා යුතුය. පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති වුවහොත් ජනමත විචාරණයේදී ඊට ඉඩක් ඇතැයි කිව හැකිද යන ගැටලුව මතුවේ.

ලසන්ත වීරකුලසූරිය

  1. කොටුගොඩ මහනාහිමි ඉල්ලන සෙනට් සභාව
  2. නුදුටු ව්‍යවස්ථාවකට චෝදනා එල්ල කිරීම සාධාරණද? - මහාචාර්ය කේ.එන්. ඕ. සොයිසා
  3. ලෝක උරුම සිංහරාජය වනසමින් මාර්ග 02ක් ඉදිකෙරේ
  4. අපනයන නැංවීමෙන් රුපියල ශක්තිමත් කළ හැකිය
  5. සේනා මඩින්න ඩ්‍රෝන
  6. අයවැයෙන් වාර්තාගත සහන ලබාදිය නොහැක
  7. ඉතිහාසයෙන් අත්දැකීම් නැති ආර්ථිකයක් සමග නව වසරකට පා තැබීම
  8. රට කියන තරම් අගාධයකට වැටී නැත
  9. විදේශ මුදල් අලූතින් සොයා ගැනීමේ වගකීම
  10. විශ්වාසභංග යෝජනා නීතියට අනුව සම්මත වී නැහැ - නිතිඥ කණිෂ්ක විතාරණ
  11. දේශපාලන වියවුලෙන් ආර්ථිකයත් අවුලෙන් අවුලට
  12. දේශපාලන අර්බුදයක් වී පුපුරා ගියේ ආර්ථිකයේ දූෂණ සහ අක්‍රමිකතා
  13. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට එකඟයි - නීතිිඥ කණිෂ්ක විතාරණ
  14. ගෙදර ගැටුම් තිබියදී ණය දෙන්නේ කවුද?
  15. අලූත් ආණ්ඩුව හමුවේ ඇති ආර්ථික අර්බුද
  16. ආණ්ඩු පෙරළියේ පසුබිම් කතාව

Page 1 of 17

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.