lakbima.lk

ජනාධිපති විසින් ඉකුත් 9 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. එය සිදු කර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33(2*(ඇ) හා 62(2) ව්‍යවස්ථා සමග කියවනු ලබන 70(5) ව්‍යවස්ථාව යටතේ ය (පහසු ව පිණිස වගන්ති යන වචනය භාවිතා කරනු ලැබේ). එම වගන්ති මෙසේ පෙළගැස්විය හැකිය.

33 (2) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප‍්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව, ජනාධිපතිවරයාට -

(ඇ) පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේය.

62 (2)  සෑම  පාර්ලිමේන්තුවක්ම පළමු වරට රැුස්වීමට නියමිත දින පටන් පස් අවුරුද්දකට නොවැඩි කාලයක් පවත්නේය. එහෙත් නියමිත කාල සීමාව ඉකුත්වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ ය. එකී පස් අවුරුදු කාලය ඉකුත්ව ගිය විට ම පාර්ලිමේන්තුව විසිර ගියාක් සේ සැලකෙන්නේ ය.

70(5) (අ) පාර්ලිමේන්තුව විසුරුවා හරින ප‍්‍රකාශනයෙහි, අභිනව පාර්ලිමේන්තුවට මන්ත‍්‍රීවරයන් තෝරාපත් කර ගන්නා දිනය හෝ දින නියම කොට තිබිය යුත්තේය. එසේ ම, එකී ප‍්‍රකාශනය නිකුත් කළ දින සිට මාස තුනක් ගත වන්නට පෙර දිනයකට අභිනව පාර්ලිමේන්තුවේ පළමුවන රැස්වීම ඒ ප‍්‍රකාශනයෙන්ම කැඳවිය යුත්තේය.

(ආ)      62 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනු ව්‍යවස්ථාවේ විධිවිධාන ප‍්‍රකාර පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ විට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන් තේරීම සඳහා ප‍්‍රකාශනයක් මගින් නොපමාව දිනයක් හෝ දින නියම කොට අභිනව පාර්ලිමේන්තුව, ඒ ප‍්‍රකාශනයේ දින සිට තුන් මාසයකට පසු දිනයක් නොවන දිනයක රැස්වන ලෙස කැඳවිය යුත්තේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වසර 4 1/2 කින් පමණක් සිදුකළ හැකි බව සඳහන් වන්නේ 70(1) වගන්තියේය. එසේම පාර්ලිමේන්තුවේ වාරයක් අවසන් කරනු ලැබ ඇති විටද එය විසුරුවා හැරීම සිදුකළ හැක්කේ 70(1) වගන්තියට යටත්ව බවට 70(3) හි සඳහන්ව ඇත. ඒවා මෙසේ දැක්විය හැකිය.

  1. (1) ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේ ය:

එසේ වුවද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත‍්‍රීවරයන් ද ඇතුළුව මුළු මන්ත‍්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප‍්‍රථම රැුස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේ ය.

     70 (3) එසේ වුවද පාර්ලිමේන්තුවේ වාරයක් අවසන් කොට ඇති කවර වූ හෝ අවස්ථාවක-

(සස) මේ ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව ප‍්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හෝ ජනාධිපතිවරයාට බලය ඇත්තේය.

ඉහත වගන්ති අතුරින් 70(3) හැරුනු කොට සෙසු සියලූ වගන්ති 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සංශෝධනය කර තිබේ. 19 වන සංශෝධනයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තිබූ එකම වගන්තිය වූයේ 70 (1) යි. 19 සංශෝධනයෙන් 33 (2) (ඇ) වගන්තිය අලූතින්ම එකතු කරන ලදී.

ඒ අනුව සලකා බැලිය යුත්තේ එම සියලූ වගන්ති එකිනෙකට බද්ධ වී තිබේද නැතහොත් වෙන් වෙන්ව බලාත්මක කළ හැකි ද යන්නයි. එහිදී පැන නගින වැදගත්ම කාරණය වන්නේ 33 (2) (ඇ) හා 62 (2) වගන්තිවලින් අදහස් කරන විසුරුවා හැරීමේ බලතල 70 (1) ට යටත්ව කි‍්‍රයාත්මක කළ යුතුද යන්නයි.

ඒ සඳහා 33 (2) (ඇ) හි සැකැස්ම හා ස්ථානගත කිරීම පිළිබඳව සලකා බැලිය යුතුය. එහි ඇති  ”ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප‍්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව” යන වචන මගින් මෙම වගන්තිය ව්‍යවස්ථාවේ සඳහන් අනෙක් වගන්ති වල බලාත්මක භාවයට ඉහළින් තබා තිබේ. මෙම ස්ථානගත කිරීම අරථනිරූපණ සිද්ධාන්ත වලින්ද තහවුරු වෙයි. ඒ අනුව 70 (1) හි සඳහන් සාමාන්‍ය විසුරුවා හැරීමේ බලයට අමතරව හා ස්වාධීනව 33 (2) (ඇ) මගින් සුවිශේෂ විසුරුවා හැරීමේ බලයක් ජනාධිපතිට ලබාදී තිබේ.

33 වන වගන්තියේ සඳහන් වන්නේ ජනාධිපතිවරයාට ලබා දී ඇති සුවිශේෂී බලතලයි. පැරණි එංගලන්ත ව්‍යවස්ථා සම්ප‍්‍රදායට අනුව විධායකයේ ප‍්‍රධානියා වූ රජු වෙත පැවැරී තිබූ පරමාධිකාරී බලතලම එම වගන්තියට ඇතුළත් කර ඇත. පාර්ලිමේන්තුවේ එක් එක් සැසිවාරය ආරම්භයේදී ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කිරීම, මංගල රැස්වීම්වල මුලසුන දැරීම, තානාපතිවරුන්, මහ කොමසාරිස්වරයන්, රාජ්‍ය දුතයන් පත් කිරීම, යුද්ධය හා සාමය ප‍්‍රකාශ කිරීම යනා දීය  ඉන් කිහිපයකි. පරමාධිකාරි බලතල කි‍්‍රයාත්මක කිරීමට නෛසර්ගික බලයක් රජුට තිබුණි. ඒවා අතුරින් එකක් වූයේ පාර්ලිමේන්තුව විසුරුවා හිරීමේ බලයයි. එම බලතල කි‍්‍රයාත්මක කිරීමට වෙනත් විශේෂ නීතියක් අවශ්‍ය නැත.

2002 වර්ෂයේදී එවකට රජය විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70(1) වන වගන්තියට සංශෝධනයක් ගෙන එමින් මේ ආකාරයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට ඇති බලය සීමා කිරීමට උත්සාහයක් ගන්නා ලදී.  ඒ එවකට ගෙන ආ 19 වන සංශෝධයෙනි.  එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් හත්දෙනෙකු විසින් තීරණය කරන ලද්දේ විධායකයේ හා ආණ්ඩුවේ ප‍්‍රධානියා වූ ජනාධිපතිගේ එකී විසුරුවා හැරීමේ බලය සීමා කිරීම ජනතාවගේ පරමාධිපත්‍ය බලය උල්ලංඝනය කිරීමක් බවයි.

33 (2) (ඇ) වගන්තිය වනාහී එම වගන්තිය මගින්ම පමණක් කි‍්‍රයාත්මක වන්නකි. එය 70 (1) ට හෝ 70 (3) ට යටත් කළ නොහැකිය. ඒ අනුව සැසි වාරයක් අවසන් කර ඇති විටකදී වුවද 33 (2) (ඇ) යටතේ විසුරුවා හැරීමක් සිදුකළ හැකිය.

ඒ අනුව 19 වන සංශෝධනය මගින් 33 (2) (ඇ) වගන්තිය අලූතින් එකතු කිරීමත් සමගම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ක‍්‍රම දෙකක් නිර්මාණය වී තිබේ. 70 (5) (අ) හි සඳහන් වන්නේ 70 (1) වගන්තිය යටතේ සිදුකරනු ලබන සාමාන්‍ය විසුරුවා හැරීම යි. 70 (5) (ආ) හි සඳහන් වන්නේ 62 (2) යටතේ අවුරුදු 5 ක් ගත වීමට පෙර  ඕනෑම අවස්ථාවකදී කරනු ලබන (විශේෂ) විසුරුවා හැරීමයි. 62(2) අනුව විසුරුවා හැරීම කළ යුතු වන්නේ ජනාධිපති විසිනි. එසේ කළ හැක්කේ 33(2) (ඈ) යටතේ පමණි.

ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට අවස්ථා තුනක් යටතේ බලය තිබේ - එනම්

(අ)       පළමු රැස්වීමේ සිට අවුරුදු 4 1/2 ක් ගතවන තෙක් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර කැමැත්ත මත (70(1) වගන්තිය_

(ආ)      පළමු රැස්වීමේ සිට අවුරුදු 4 1/2 ක් ගතවූ පසුව (70(1) වගන්ති ය)

(ඇ)      පළමු රැස්වීමේ සිට අවුරුදු පහක් ගත වීමට පෙර  ඕනැම අවස්ථාවක දී (33(2) (ඇ) හා 62(2) වගන්ති)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සුවිශේෂ කරුණු තිබිය යුතුය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශාරදයෙකු වන බි‍්‍රතාන්‍ය ජාතික ඒ.වී.ඩයිසි විසින් ප‍්‍රකාශ කර ඇත්තේ ව්‍යවස්ථාදායකයේ අපේක්ෂාවන් මහජනතාවගේ අපේක්ෂාවන්ගෙන් වෙනස් බව සාධාරණ ලෙස නිගමනය කළ හැකි අවස්ථාවන් හී දී විසුරුවා හැරීමක් සිදු කළ හැකි බවයි. ඔහු ට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පරමාර්ථය වන්නේ ව්‍යවස්ථාදායක ගේ අභිප‍්‍රායන් ජනතාවගේ අභිප‍්‍රායන් සමග සමාන කිරීමයි.

බි‍්‍රතාන්‍යයේ මෙන් නොව ශී‍්‍ර ලංකාවේ පරමාධිපත්‍ය බලය ජනතාව සතුව ඇත. ඊට පාලන බලතල (ආණ්ඩු බලතල) ද ඇතුළත්ය. (3 වන වගන්තිය) . එහිදී විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනාධිපතිවරයා විසින් කි‍්‍රයාත්මක කළ යුත්තේය (4(අ) වගන්තිය). ජනතාවගේ ඡන්ද බලය කි‍්‍රයාත්මක කිරීමේ එක් ආකාරයක් වන්නේ ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමය (4(ඉ) වගන්තිය) . ජනාධිපතිවරයා රජයේ ප‍්‍රධානියා ද, විධායකයේ ප‍්‍රධානියා ද, ආණ්ඩුවේ ප‍්‍රධානියා ද වන්නේ ය( 30(1) වගන්තිය). ආණ්ඩුවේ පාලනය මෙහෙය වීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේය (42(1) වගන්තිය).

ඒ අනුව තමා විසින් පත් කරනු ලබන අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයක් හරහා ආණ්ඩුව මෙහෙය වීමේ යුතුකම හා වගකීම ජනතාව විසින් සෘජුව භාර දී ඇත්තේ ජනාධිපති වරයාට පමණි. එම බලය වෙනත් ආයතනයකට හෝ තැනැත්තෙකුට පවරා ගත නොහැකිය. තම විධායක බලය ජනතාවගේ සුබසිද්ධිය පිණිස කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපති ජනතාව වෙත වගකීමෙන් බැඳී සිටියි. ආණ්ඩුවේ යාන්ත‍්‍රණය අගමැති හා කැබිනට් මණ්ඩලය ඔස්සේ සැකසී තිබේ. එබැවින් පවතින කැබිනට් මණ්ඩලය මගින් ජනතා අපේක්ෂාවන් ඉටුකරගත නොහැකි බව පෙනී යන විට දී හෝ තම විධායක බලය නිසි පරිදි කි‍්‍රයාත්මක කිරීමට බාධා සිදුවන විටදී වෙනත් අගමැතිවරයෙකු හා කැබිනට් මණ්ඩලයක් ඔස්සේ ආණ්ඩුවේ බලය මෙහෙයවීමේ බලය හා යුතුකම ජනාධිපති වෙත පැවැරී තිබේ.

කැබිනට් මණ්ඩලය සමන්විත වන්නේ පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්තී‍්‍රවරුන්ගෙනි. ජනාධිපති හා කැබිනට් මණ්ඩලය සුසංයෝගයෙන් සැකසෙන ආණ්ඩුව නිසි ලෙස පවත්වාගෙන යාමට පාර්ලිමේන්තුවේ සහය අවශ්‍ය වේ. ඒ ආණ්ඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය වියදම් ඇතුළත් අය-වැය හා ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන වෙනත් නීති සම්මත කර ගැනීමටය. යම් හෙයකින් පාර්ලිමේන්තුවේ පවතින සංයුතිය මත තවදුරටත් තම ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකි බව ජනාධිපතිට පෙනී යන අවස්ථාවකදී තම පරමාධිකාරි බලය කි‍්‍රයාත්මක කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය, යුතුකම හා වගකීම ජනාධිපති වෙත ව්‍යවස්ථාවේ 33(2)(ඇ) වගන්තියෙන් ලබා තිබේ. රට අකර්මණ්‍ය කරමින් ආණ්ඩුව කඩා වැටීමෙන් වළක්වා ගැනීමට එසේ කිරීමට සිදුවේ.

ඒ.වී.ඩයිසි ගේ නියමය අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්තී‍්‍රවරුන්ගේ අපේක්ෂාවන් ජනතාවගේ අපේක්ෂාවන්ගෙන් ඈත් වූ විට ජනතා අපේක්ෂාව ඉටු කරවා ගත හැකි ව්‍යවස්ථාදායකයක් පිහිටුවා ගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි වේ. මෙම පදනම ආදේශ කිරීමේදී පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ජනතාව විසින් ප‍්‍රකාශ කරන ලද කැමැත්ත මත තක්සේරුවක් කිරීමට ජනාධිපතිවරයා ට බලය හා අයිතිය තිබේ.

33(2)(ඈ) යටතේ පරමාධිකාරි බලය කි‍්‍රයාත්මක කිරීමේදී ඒ සඳහා පාර්ලිමේන්තුව විමසීමට ජනාධිපතිවරයා බැඳී නොමැත. 33(2) යටතේ ඇති කිසිදු බලයක් කි‍්‍රයාත්මක කිරීම සඳහා එවැනි අවශ්‍යතාවයක් නොමැත. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු ක‍්‍රමය මෙන් නොව ශී‍්‍ර ලංකාවේ විධායකයේ හා ආණ්ඩුවේ ප‍්‍රධානියා වන ජනාධිපතිවරයා හේතු දැක්වීමට බැඳී ඇත්තේ ජනතාව වෙත පමණි.

ආණ්ඩුවේ නීත්‍යනුකූලභාවය හබ කළ හැකි ද?

පාර්ලිමේන්තුව විසුරුවන්නට ආසන්නතම හේතුව වන්නේ කථානායකවරයා විසින් අභිනව අගමැතිගේ ධුරය හා ආණ්ඩුවේ නීත්‍යනුකූලභාවය සෘජුව හා ව්‍යංගව අභියෝගයට ලක් කිරීමයි. එහෙත් කථානායකට ජනාධිපතිගේ තීරණය අබිබවා යාමට නොහැකිය. එසේ නොහැකි වන්නේ කථානායක ගේ බලතලත් අගමැති ඇතුළු ආණ්ඩුවේ බලතලත් එකිනෙකට වෙනස් ලෙස සම්භවය වන බැවිනි.

ජනාධිපති විසින් අගමැතිව පත් කරනුයේ විධායකයේ හා ආණ්ඩුවේ ප‍්‍රධානියා ලෙස තම  බලතල පාවිච්චි කිරීමෙනි. ඔහු විසින් කැබිනට් මණ්ඩලය පත් කරනුයේද එම තත්ත්වයෙන්ම වේ. ආණ්ඩුව මෙහෙයවීම හා පාලනය කැබිනට් මණ්ඩලය වෙත බාර වී තිබේ. ඒ අනුව ජනාධිපති, අගමැති හා කැබිනට් මණ්ඩලයෙන් සංයුක්ත වන ආණ්ඩුව සෑදී තිබෙන්නේත්, කි‍්‍රයාත්මක වන්නේ ත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තිය යටතේ සාරෝපණය වන ජනතාවගේ විධායක බලයෙනි. එම (විධායක) බලය පවරනු ලබන්නේ ජනාධිපතිවරණයක් මගිනි.

කථානායකව පත්කරනුයේ පාර්ලිමේන්තුවෙනි. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව වෙත සාරෝපණය වන්නේද කි‍්‍රයාත්මක කරනු ලබන්නේ ව්‍යවස්ථාවේ 4(අ) වගන්තිය යටතේය. එම (ව්‍යවස්ථාදායක) බලය පවරනු ලබන්නේ මහ මැතිවරණයක් මගිනි.

2018.10.26 හා 2018.11.10 දක්වා අතර කාලයේදී පත් කරනු ලැබූ අගමැතිගෙන් හා ඇමැතිවරුන්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයෙන් හා ජනාධිපතිගෙන් සැදුම් ලත් ආණ්ඩුව ව්‍යවස්ථානුකූලය/ නීත්‍යනුකූලය. එම ආණ්ඩුව අහෝසි කළ හැකිව තිබුණේ විශ්වාසභංග යෝජනාවක්  සම්මත කිරීමෙන් පමණි. ඒ හැරුනු කොට හුදෙක් වැඩි මතය විමසා ආණ්ඩුවක පැවැත්මට වෙනසක් සිදුකිරීමට පාර්ලිමේන්තුවට බලයක් නොමැත.

ශී‍්‍ර ලංකාවේ පරමාධිපත්‍ය බලය විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ඔස්සේ පැහැදිලිව ම ව්‍යවස්ථාවේ 4 වන වගන්තිය මගින් බෙදා වෙන් කර ඇත. ඒ ඒ බලතල වෙන් වෙන්ව ක‍්‍රියාත්මක කරන ආයතනවලට (ව්‍යවස්ථාවෙන් අවසර ලබාදී ඇති ප‍්‍රමාණයට හැර) වෙනත් ආයතනයක බලතලවලට බලපෑමක් ඇති කළ නොහැකිය. ඒ අනුව ව්‍යවස්ථාදායකට විධායකය විසින් කරන ලද කි‍්‍රයාවක් අභියෝගයට ලක් කිරීමට හෝ ප‍්‍රතික්ෂේප කිරීමට නොහැකිය. එබැවින් ව්‍යවස්ථාදායකයේ කොටසක් වන කථානායකට විධායකයේ ප‍්‍රධානියා වන ජනාධිපති විසින් පිහිටුවන ලද වත්මන් ආණ්ඩුවේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක් කිරීමට ව්‍යවස්ථාමය බලයක් නොමැත. එසේ කිරීම නීති විරෝධී හා බල ශූන්‍ය ය. එම කථානායකවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත් සමගම සිය පදවියෙන් ඉවත් වී ඇත (ව්‍යවස්ථාවේ 64(2)).

Page 1 of 9

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.