lakbima.lk

විපක්ෂයේ සිටියදී තමන් ඉදිරිපත් කළ යෝජනා ඉරා කුණු බක්කියට දැම්මා

ආර්ථික වශයෙන් විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා විපක්ෂයේ සිටියදී තමන් ඉදිරිපත් කළ යෝජනාව එවකට පාලකයන් විසින් කැබලිවලට ඉරා කුණු බක්කියට විසි කළ බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

බුදු දහමේ අභිවෘද්ධිය පිළිබඳව වේදිකාවේ මහත් උජාරුවෙන් කතා කරන එම පාලකයන් බුද්ධාගම සංවර්ධනය කිරීම සඳහා හැකියාව තිබියදීත් සිය අවධානය යොමු නොකළ බව මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

තෙල්දෙණිය කරල්ලියද්ද ශ්‍රී උපෝසථාරාම විහාරස්ථානයේ පිළිමගෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර එහි පැවති උත්සවසභාවේදී අමාත්‍යවරයා මෙසේ සඳහන් කළහ.

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විහාරස්ථාන සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළා. රජයක් විසින් විහාරස්ථාන පද්ධතියට නිසි අනුග්‍රහය ලැබිය යුතුයි. විහාරස්ථාන සංවර්ධනය සඳහා නිසි ක්‍රමවේදයක් ද දියත් විය යුතුයි.

සම්පත් ඌනතාවය නිසා අද විහාරස්ථාන හා දහම් පාසල් විශාල වශයෙන් වැසි යන තත්ත්වයක් තිබෙනවා. අද ඇතැම් දහම් පාසල්වල දරු දැරියන් අධ්‍යාපනය ලබන්නේ ගස් යට.  ඔවුන්ට නිසි ගොඩනැගිලි පද්ධතියක් නැහැ. ඒවා ඉදිකිරීම පිළිබඳව පැවති රජයන් අවධානය යොමු කර නැහැ. බුදුදහම සුරක්ෂිත කරන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වී තිබුණත් ඇතැම් අවස්ථාවක දී එය ලියවිල්ලට පමණක් සීමා වී ඇති බවයි දැකිය හැක්කේ.  ජාති ආලය පිළිබඳව වේදිකාවේ අදහස් දක්වන බොහෝ දෙනෙක් ජාතිය, ආගම, මහා සංඝරත්නය පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ.

විහාරස්ථාන ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීම සඳහා අවම වශයෙන් එක් විහාරස්ථානයකට කුඹුරු අක්කර දෙකක් හෝ පූජා ඔප්පුවකින් පරිත්‍යාග කළ යුතු බව යෝජනා කළා.  විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වශයෙන් මා ඉදිරිපත් කළ එම යෝජනාව කෑලි කෑලිවලට ඉරා පාර්ලිමේන්තුවේ කුණු බක්කියට විසි කළා. විපක්ෂය නියෝජනය කළ අපිට හිමි වූ තත්ත්වය එයයි.

දිවයිනේ විහාරස්ථාන දෙසීය හැටක රුපියල් ලක්ෂ හතළිහක් වටිනා දහම් පාසල් ගොඩනැඟිලි ඉදිකිරීම මා විසින් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.  ගස් යට අධ්‍යාපනය ලබන දරුවන්ට පහසුකම් වලින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදිකර ලබා දීමයි මගේ අරමුණ. මෙම වැඩපිළිවෙළ දැනට වසර දහයකට පහළොවකට කලින් ආරම්භ කළා නම් දරුවන්ට අද ගස් යට අධ්‍යාපනය ලබන්නට සිදුවෙන්නේ නැහැ.

වසර තුනක් තුළ දිවයින පුරා චෛත්‍ය එක්දහස් එකසිය විසිපහක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. පළමු වසරේ දිස්ත්‍රික්කයකට එක බැගින් චෛත්‍යය විසිපහක් ද,  දෙවන වසරේ දී දිස්ත්‍රික්කයකට හතර බැගින් චෛත්‍යය සියයක් ද තෙවන වසරේදී සෙසු චෛත්‍ය ප්‍රමාණය ඉදිකිරීමට සැලසුම් කර හමාරයි. විශේෂත්වය වන්නේ මේ සඳහා කිසිදු මුදලක් රජයෙන් ලබා නොගෙන සම්පූර්ණ මුදල් පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් යෙදවීමට ක්‍රියා කිරීම යැයි  අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කරල්ලියද්ද ශ්‍රී උපෝෂථාරාම විහාරාධිකාරී පූජ්‍ය කැටකුඹුරේ ධම්මාරාම හිමි ප්‍රධාන මහා සංඝරත්නය ද එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා, එම පක්ෂයේ තෙල්දෙණිය ආසන සංවිධායක චන්න ගලප්පත්ති මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

නදීක දයා බණ්ඩාර - මහනුවර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.