lakbima.lk

සා/පෙ ඉහළින් ජයගත් විශිෂ්ඨයෝ සහ දිස්ත්‍රික්ක

2018 වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව උසස්‍ පෙළ සඳහා පෙනී සිටීමට සියයට 71.66ක් සුදුසුකම් ලබා තිබේ.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් 656,984 ක් අයදුම්කර ඇති අතර, අපේක්ෂකයින් 518,184 ක් විභාගයට පෙනී සිට ඇත.

A සාමාර්ථ 9ක් ලබා ගත් සිසුන් සංඛාව 9413 වන අතර සියයට 64.11ක ප්‍රතිශතයක් ගණිතය සමත්ව ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර සිටි. 

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිනේ පළමු ස්ථානය කොළඹ විශාක විද්‍යාලයේ නිලක්නා දිසිවරී වරුෂවිතාන ශිෂ්‍යාව දිනා ගැනීමට සමත් වී ඇති අතර දෙවන ස්ථානය සඳහා ශිෂ්‍යාවන් තිදෙනෙකු තේරී පත් වී තිබේ.

ඒ විශාකා බාලිකා විද්‍යාලයේ ගරසිංහ ආරච්චිගේ සචිති හංසදී, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ප්‍රතාප මුදියන්සේලාගේ සංජානි දිලේකා කුමාරි හා මාතර සුජාතා විද්‍යාලයේ කළුආරච්චි කංකානම්ගේ මින්දි රෙබෙකා ශිෂ්‍යාවන්ය.

දෙවන ස්ථාන 3 ක් දිනා ගැනීම හේතුවෙන් මෙවර තෙවන සිව්වන ස්ථානයක් වෙන් නොවු අතර පස්වන ස්ථානය සඳහා කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ලිහිණිකඩු ආරච්චිලාගේ ගයාත්‍රී හර්ෂීලා ලිහිණි කඩුආරච්චි ශිෂ්‍යාව විසින් දිනා ගෙන ඇත.

හය වන ස්ථානයන් 5ක් හිමි කර ගැනීමට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සඳලි මුතුනිමා රත්නායක, කොළඹ රාජකීය විද්‍යාලයේ සමරකෝන් රාළලාගේ සහන් යසංක සමරකෝන්, එම විද්‍යාලයේම කන්දෙ කන්කානම්ලාගේ කවිරු මෙත්නුක, ගාල්ල මහින්ද විද්‍යාලයේ ශස්මිත ආකාශ්වර ලියනගේ, හොරණ තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලයේ සමරසිංහ පතිරණගේ හිමාෂි එරංදිකා සමරසිංහ යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් හිමි කර ගෙන තිබේ. 

මේ අතර දිස්ත්‍රික්ක පදනමින් වැඩිම සමත් ප්‍රතිශතය මෙවරත් වාර්තා කිරීමට දකුණු පළාතේ දිස්ත්‍රික්ක වන ගාල්ල, මාතර හා හම්බන්තොට සමත් වී තිබේ. මෙවර දිවයිනේ ඉහළම සමත් ප්‍රතිශතය වාර්තා කිරීමට මාතර දිස්ත්‍රික්කය (79.89%) සමත්ව ඇති අතර දෙවන ස්ථානය ලබා ගැනීමට හම්බන්තොට දිස්ත්‍රික්කය (79.24%) සමත් වී ඇත. තෙවන ස්ථානය කොළඹ දිස්ත්‍රික්කයට (77.73%) හිමි වී ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කය (77.13%) සමත් ප්‍රතිශතයෙන් සිව්වෙනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.