lakbima.lk

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පි‍ල නම් කෙරේ නායකත්වය දිමුත්ට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීම දිමුත් කරුණාරත්නට පැවරීමට අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කළේය.

ටෙස්ට් නායකත්වයද උසුලන දිමුත්ගේ මෙම පත්කිරීමට ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතියද හිමිවී  ඇති අතර 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට ද අනුමැතිය හිමිවී තිබේ.

මරදාන ශා.ජෝසප් විදුහලින් ක්‍රිකට් පිටියට පිවිසි දිමුත් ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ පිල නියෝජනය කරමින් ජාත්‍යන්තර පිටියට පිවිසුණි.

ශ්‍රී ලංකා පි‍ලේ ටෙස්ට් ආරම්භක පිතිකරුවාගේ භූමිකාව සාර්ථකව ඉටු කළ දිමුත් එක්දින පිටියේ එතරම් දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකු නොවීය.

පසුගිය දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේදී දකුණු අප්‍රිකාව ඔවුන්ගේ රටේදීම තරග 2-0 කින් පරාජය කිරීමට නායකත්වය ලබාදීමත් සමගම ලෝක කුසලාන නායකත්වය සඳහා දිමුත්ගේ නම ද යෝජනා විය.

ඒ වන විට එක්දින පි‍ලේ නායකයාව සිටි ලසිත් මාලිංග නායකත්වය ලබාදුන් දකුණු අප්‍රිකානු එක්දින තරගාවලිය තරග 5-0 ක් ලෙස අන්ත පරාජයකට ලක්වීම නිසා නව නායකයකු කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය යොමුවිය.

ලසිත් මාලිංග සහ තිසර පෙරේරා අතර ඇතිවූ ප්‍රශ්නයත් සමගම කණ්ඩායමේ එකමුතුකම රැකගත හැකි නායකයකු කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය යොමුවිය.

මෙහිදී ඇන්ජලෝ මැතිව්ස්ට නායකත්වය ලබා ගැනීමට ආරාධනා කළද පුහුණුකරු හතුරුසිංහ යටතේ නායකත්වය දැරීම ඔහු ප්‍රතික්ෂේප කළ බවට වාර්තා පළවිය.

මේ අතර ශ්‍රී ලංකා පිල තෝරා ගැනීම සඳහා පැවති අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේදී පිතිකරුවකු ලෙස දිමුත් සාර්ථක දස්කම් දැක්වූ අතර ඔහු ලකුණු 165 ක් රැස්කර ප්‍රහාරක වේගයද 90 ක් ලෙස සටහන් කර තිබුණි.

අවසානයේදී කණ්ඩායමේ සමගිය ආරක්ෂා කළහැකි පුද්ගලයා ලෙස දිමුත්ට නායකත්වය පැවරීමට තේරීම් කමිටුව පියවර ගත්තේය.

මේ වන විට එක්දින තරග 17 ක් ක්‍රීඩා කර ඇති දිමුත් එක් අර්ධ ශතකයක් ලබා තිබේ. ඔහුගේ අවසන් එක්දින තරගය වන්නේ 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වෙලින්ටන්හි පැවති නවසීලන්තයට එරෙහි තරගයයි.

මේ අතර ලෝක කුසලාන සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතය නම් කළ අතර නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක,දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය, ඕෂද ප්‍රනාන්දු සහ කසුන් රාජිත ඉවත් කර තිබේ.

ලහිරු තිරිමාන්න, අවිශ්ක ප්‍රනාන්දු, ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, නුවන් ප්‍රදීප් සහ ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමට ඇතුලත් කර තිබේ.

ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය

දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, කුසල් ජනිත්, ලහිරු තිරිමාන්න, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩසේ, තිසර පෙරේරා, ඉසුරු උදාන, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන

මංගල ධර්මප්‍රේම

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.