lakbima.lk

වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් රෝගීන් පරීක්ෂා කළ කාන්තාවක් අත්අඩංගුවට

ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් වෙද නලාවක්ද භාවිතා කර රෝගීන් පරීක්ෂා කරමින් සිටි කාන්තාවක් ඊයේ (17) සවස ඇල්පිටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව අද (18) ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නො. 79 සී, කදුගොඩ, දෙල්ගොඩ ලිපිනයේ පදිංචි ජනනි පබසරා රත්නායක (27) නැමැති විවාහක කාන්තාවකි.

මෙම කාන්තාව අන් අයෙකු ලෙස පෙනී සිටීමේ චෝදනාව මත අත් අඩංගුවට ගත් බවත් එම චෝදනාව යටතේම අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඇල්පිටිය පොලීසිය කියයි. මෙම කාන්තාව ඊයේ (17) සවස 6.00 ට පමණ ඇල්පිටිය මූලික රෝහලේ අංක 02 වාට්ටුවේ වෙද නලාවක්ද තබමින් රෝගීන් පරීක්ෂා කිරීමේ යෙදී සිට ඇත. වෙනදා දැක පුරුදු වෛද්‍යවරියක නොවූ හෙයින් මේ සම්බන්ධයෙන් වාට්ටුව භාර වෛද්‍යවරයා විසින් ඇයගෙන් තොරතුරු විමසා ඇත.

එහිදී ඇය විසින් තමා දෙහිවල, කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන බව දැන්වූ බවත් කළුබෝවිල රෝහලේ කුමන අංශයේ සේවය කරන්නේද යන්නෙන් විමසූ විට ඒ සම්බන්ධයෙන් පැහැදිලි උත්තරයක් ලබා දීමට නොහැකි වූ බවත් ඇල්පිටිය මූලික රෝහලේ 02 වට්ටුව භාර වෛද්‍යවරයා විසින් ඇල්පිටිය පොලීසියට ප්‍රකාශ කර තිබේ. පසුව වෛද්‍යවරිය ලෙස පෙනී සිටි කාන්තාව රෝහල් කාර්යය මණ්ඩලය විසින් වැඩිදුර පරීක්ෂණ සදහා ඇල්පිටිය පොලීසියට බාර දී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ දෙල්ගොඩ පදිංචි මෙම කාන්තාව පෙරේදා (16) වන දින සිය ඥාතීන් පිරිසක් ජීවත් වන ඇල්පිටියේ ගණේගොඩ ප්‍රදේශයට පැමිණ තිබෙන බවත් ඒ අතරතුර මෙසේ ඇල්පිටිය මූලික රෝහලට පැමිණ රෝගීන් පරික්ෂා කිරීමේ නිරත වි තිබෙන බවත් ඇල්පිටිය පොලිසිය කියයි. ඇය උපදේශණය පිළිබදව පාඨමාලාවක් හදාරමින් සිට ඇති බවත් රෝගීන් පරීක්ෂා කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ප්‍රායෝගික අත් දැකීමක් ලබා ගැනීම සදහා මෙසේ රෝහලට පැමිණ රෝගීන් පරික්ෂා කල බවත් පොලිස් පරීක්ෂණ වලදී ඇය ප්‍රකාශ කළේ යැයි ඇල්පිටිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රසන්න, අපරාධ අංශයේ ස්ථානාධිපති ජනක සම්පත්, උප පොලිස් පරීක්ෂක සනත් මෙන්ඩිස් යන නිලධාරීන් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ජයකාන්ත ලියනගේ  -  බළපිටිය  

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.