lakbima.lk

රිය පදවන කාලසීමාවටත් නීතිරීති

රියැදුරුට නින්ද යාම හේතුවෙන් සිදුවන අනතුරු පසුගිය කාලයේදී බහුල වීම නිසා එක දිගටම රිය පැදවීමේ ක්‍රමවේදය වෙනස් කරමින් රිය පැදවීමේ නිශ්චිත කාලසීමාවක් ගෙන ඒමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව යෝජනා ඉදිරිපත් කර තිබේ.

මෑත කාලයේ ශ්‍රී ලංකාවේ සිදුවූ රථවාහන අනතුරු බහුතරයට හේතුවී ඇත්තේ රියැදුරන්ගේ අධික තෙහෙට්ටුව, අවිවේකී බව යන කාරණා හේතුවෙන් ඇතිවන ක්ෂණික නින්ද බව අනාවරණය වී තිබේ. ඒ හේතුවෙන් අඛණ්ඩව විශාල කාලපරාසයක් හා විශාල දුර ප්‍රමාණයක් රිය පැදවීමේ ක්‍රමවේදය වෙනස් කර එකදිගට රිය ධාවනයේ යෙදිය හැකි නිශ්චිත කාලසීමාවක් නියම කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය හා එක්ව සාකච්ඡා පවත්වා තිබේ.


ඒ අනුව පැය 4-6ත් අතර උපරිම අඛණ්ඩ ධාවන කාලයක් ශ්‍රී ලංකාවේ රියැදුරන් සඳහාද නියම කිරීමට යෝජනා වී තිබේ. එහි මූලික අදියරයක් ලෙස ‍පොදු ප්‍රවාහනයේ යෙදෙන රියැදුරන්ට එම කාලසීමාව පැනවීමටත් ඉන් අනතුරුව ධාවනයේදී වෙනත් රියැදුරකු යොදා ගැනීමටත් යෝජනා ඉදිරිපත්ව තිබේ.


ජපානය, චීනය මෙන්ම බහුතරයක් යුරෝපා රටවල ධාවනයේ යෙදිය හැකි උපරිම කාලය පැය 4කට සීමා කර ඇති බවත් ඉන් අනතුරුව ධාවනයේ යෙදිය හැක්කේ විවේක කාලයක් ගතකිරීමෙන් අනතුරුව බවත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ පෙන්වා දෙයි.


එසේම මෙම ක්‍රියාවලිය නිසි පරිදි සිදුවන ආකාරය නියාමනයටත් එය රියැදුරන් වෙත හඳුන්වාදීම, විවේක ස්ථාන ඇති කිරීම ආදී කාරණා පිළිබඳව හා එය නෛතික රාමුවකට අනුගත කිරීම සම්බන්ධව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව යෝජනා සකස් කරමින් පවතියි.

 මිහිරාන් කරුණාරත්න
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.