lakbima.lk

ගෝඨාභය ඇතුළු විත්තිකරුවන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

 

නීතිපතිවරයා විසින්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් විත්තිකරුවන් ගොනුකර ලද මූලික විරෝධතාව, කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (11) ප්‍රතික්ෂේප කළේය.

ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා, තීරණය ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශ කළේ මෙම නඩුව විභාග කරන මෙන් අගවිනිසුරුවරයා විසින් නිකුත් කළ විධානයකට අනුව මෙම නඩු විභාගය පැවැත්වෙන බවයි. එබැවින් මෙම නඩුව විභාග කිරීමට තම අධිකරණයට තිබෙන බලය සම්බන්ධයෙන් තීරණයක් දීමට තමන්ට හැකියාවක් නොමැති බවයි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල සිය නියෝගයෙන් අවධාරණය කර සිටියේ.

ඒ අනුව විත්තිය විසින් ඉදිරිපත් කළ අදාළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කළේය.

එමෙන්ම විත්තිය විසින් ඉල්ලා සිටි පරිදි මෙම නඩුව විභාගයට ලෙස දන්වමින් අගවිනිසුරුවරයා විසින් නිකුත් කළ විධානයේ පිටපතක් විත්ති පාර්ශවය වෙත විවෘත කිරීමට ද අධිකරණය නියම කළේය.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේ නඩුවේ 6 වන විත්තිකරු ලෙස නම් කර සිටින මහින්ද සාලිය නැමැත්තා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ ඔහු අසනීපව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

ඒ අනුව නඩුව ලබන 22 දක්වා කල් දැමූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය එදිනට විත්තිකරුවන්ගේ උත්තර ඉදිරිපත් කරන මෙන් ද නියම කළේය.

 

වීරකැටිය මැදමූලන ප්‍රදේශයේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර අැත.

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.