lakbima.lk

ජනපතිට එරෙහි මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරන්න බැහැ - නීතිපති

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපතිවරයා ගත් තීරණය නීතිවිරෝධී බව ප්‍රකාශ කරනැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට බලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට නොමැති බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා අද(05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂය, ජනාතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පාර්ශව 13ක් විසින් ගොනු කොට ඇති පෙත්සම දෙවන දිනටත් අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගය ගත් අවස්ථාවේදී නීතිපති මෙසේ පැවසීය.

නීතිපතිවරයා වැඩිදුරටත් පවසාසිටියේ පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් තුලින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට චෝදනා කර ඇති බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනාධිපති විසින් උල්ලංඝනය කර තිබෙන අවස්ථාවක ඊට අදාලව ගතයුතු ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 38(2) (අ) වගන්තිය තුළ දක්වා ඇති බව නීතිපතිවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව ජනාධිපතිවරයා ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇත්නම් ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් සම්මත කර ඒ හරහා ජනාධිපතිට එල්ල වී ඇති චෝදනා විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතු බව නීතිපතිවරයා ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ජනාධිපති වෙත එල්ල කර ඇති චෝදනා පිළිබඳ විභාගයක් පවත්වා ඒ පිළිබඳ අවසන් වාර්තාවක් කතානායකවරයා වෙත යොමු කළ යුතු බව ද පෙන්වා දුන්නේය. එම ක්‍රියාදාමයෙන් බැහැරව මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව නීතිපතිවරයා විසින් පෙන්වා දෙන ලදී. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බව ද ජයසූරිය මහතා පැවසීය.

Comments  

0 #1 chamin 2018-12-05 14:00
ජනාධිපති පාර්ලිමේන්තුව වීසිරුවම ජනාධිපතිට එරෙහිව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරන්නේ කොහොමද?
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.