lakbima.lk

ජනපති සමග යළි වැඩ කිරීමට සූදානම්

රට තුළ උද්ගතවී තිබෙන ව්‍යවස්ථානුකූල ප්‍රශ්නය කඩිනමින් විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වීමට තමන්ට අවස්ථාව ලබා දුනහොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග වැඩ කිරීමට තමන් සූදානම් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද හින්දු පුවත්පතට ප්‍රකාශ කළේය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග වැඩ කිරීමට සූදානම්ද යනුවෙන් ද හින්දු පුවත්පතේ මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයකට තරයේ පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ තමන්ට සිරිසේන ජනාධිපතිවරයා සමග වැඩ කිරීම පිළිබඳ ගැටලුවක් හෝ කිසිදු බාධාවක් නොවන බවයි.
පෞද්ගලික පූර්ව නිගමන හා විනිශ්චය කිරීම්වලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රතිපාදන වෙන් කර නැති බැවින් මාත් සමග වැඩ කිරීමට හැකිද යන්න ඔබ ජනාධිපතිවරයාගෙන් ඇසිය යුතුව තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා ද හින්දු පුවත්පතේ මාධ්‍යවේදියාට කීවේය.
එම පුවත්පත සමග පැවැති මෙම සම්මුඛ සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.
පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන්නේ තමන්ට බව අවධාරණය කළ රනිල් වික්‍රමසිංහ මහතා ඒ බහුතරය ඔවුන්ට නැති නිසා පාර්ලිමේන්තුව නොකැඳවා කල් මරමින් සිටින බවත්, මෙම කල් මැරීම මගින් රට තවදුරටත් අස්ථාවර භාවයට පත්වන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් අධිකරණයමය ක්‍රියාමාර්ගයකට නොයන්නේ මන්ද යනුවෙන් කළ විමසීමකදී උත්තරීතර අධිකරණ බලතල තිබෙන්නේ පාර්ලිමේන්තුවට බැවින් අධිකරණයට යෑමට හේතුවක් නොවන බවද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

රුක්මාල් සිල්වා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.