lakbima.lk

‘එළුවා’ට වෙඩිතැබිම ගැන මදුෂ්ගේ ගෝලයන් දෙදෙනෙක් දැ‍ලේ

රද්දොළුගම නිවාස සංකීර්ණයේ ක්‍රීඩාංගණය අසලදී එළුවා නැමැත්තෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පාතාල නායකයෙකු වන මාකඳුරේ මදුෂ්ගේ ආධාරකරුවන් දෙදෙනෙකු විදේශීය රටක නිෂ්පාදිත රිවොල්වරයක්, යතුරුපැදියක් සමග පෙරේදා (10) දින කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ රද්දොළුගම පදිංචි වයස අවුරුදු 41 හා වයස අවුරුදු 29ක පුද්ගලයින් දෙදෙනෙකි.
විසිනව හැවිරිදි පුද්ගලයා මෙහි ප්‍රධාන සැකකරුය. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළෙකු ලෙස වසර 11ක් සේවය කර ඇති අතර එහිදී යුද හමුදා නිලධාරියෙකුට පහරදීම සම්බන්ධයෙන් ඔහුගේ සේවය අත්හිටුවා ඇති බවද ‍පොලීසිය පවසයි.
යතුරුපැදිය පැදවූ පුද්ගලයා ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියැදුරෙකි.
මොවුන් දෙදෙනා විසින් ඉකුත් 07 දා රාත්‍රී 9.00ට පමණ රද්දොළුගම, ගල්ලවත්ත පදිංචි නිලංග මහේෂාන් හෙවත් එළුවා නැමැති තිස් හය හැවිරිදි පුද්ගලයෙකු මෝටර් රථයකින් පැමිණ රද්දොළුගම ක්‍රීඩාංගණය අසල සිටියදී යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පලා ගොස් තිබුණි. එහිදී එකී පුද්ගලයා තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කෙරුණි.
මේ සම්බන්ධයෙන් විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බස්නාහිර උතුර භාර නියෝජ්‍ය ‍පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා විසින් පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් යොදවනු ලැබිය. ඒ අනුව කැලණිය කොට්ඨාස භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති උපාලි ජයසිංහ මහතා යටතේ ක්‍රියාත්මක කැලණිය කොට්ඨාස අපරාධ මර්දන අංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා, ‍පොලිස් පරීක්ෂක ජයකොඩි, ‍පොලිස් පරීක්ෂක බණ්ඩාර, උප ‍පොලිස් පරීක්ෂක අජිත්, උප ‍පොලිස් පරීක්ෂක සමීර, ‍පොලිස් සැරයන් ධර්මසිරි (33507), ‍පොලිස් කොස්තාපල්වරුන් වන අබේනායක (23310), හෙන්නායක (88617), බුලත්සිංහල (77551), චින්තක (9444), ‍පොලිස් කොස්තාපල් රියදුරු සම්පත් (1451) යන නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.
මීට මාස හයකට පමණ ඉහතදී මොහු විසින් සීදුව ‍පොලිස් වසමේදී නිශාන්ත කුමාර නොහොත් බයිටා නැමැත්තෙකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට මීට මාස තුනකට පමණ පෙර ඇප ලබා පැමිණ තිබේ.
මොහු ඝාතනය කළ බයිටා බන්ධනාගාර ගතව සිටින ප්‍රබල මංකොල්ලකරුවෙකු වූ ලකී නැමැත්තාගේ මිතුරෙකි. ලකී යනු මාකඳුරේ මදුෂ්ගේ ප්‍රබල ගෝලයෙකි. ලකී බන්ධනාගාර ගතව සිටිමින් ගිනි අවි ජාවාරම හා හෙරොයින් ජාවාරම සිදු කරමින් සිටින පුද්ගලයෙකු බවද මේ වන විට ‍පොලීසියට තොරතුරු අනාවරණය වී තිබේ.
ලකීගේ මිතුරාගේ ඝාතනයේ පලිය ගැනීමට මදුස්ගේ අනුදැනුම මත ලකී විසින් මෙම පුද්ගලයින් දෙදෙනා යොදවා ඇති බවත් යතුරුපැදිකරුට ත්‍රිරෝද රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් හා අමතරව රුපියල් පනස්දහසක් ලබා දී ඇතැයිද පැවසේ.
මෙම සකකරුවන් රද්දොළුගමදී හා හැඳල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රධාන සැකකරුගේ නිවසේ තිබි ගිනිඅවිය සොයාගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් ඊයේ (11) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48ක රැඳවුම් නියෝග ලබා ගෙන වැඩිදුර විමර්ශන සඳහා රද්දොළුගම ‍පොලීසියට භාර දී තිබේ.

ශානිකා මාධවී, පත්මසිරි රණතුංග - බියගම
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.