lakbima.lk

තරග පාවාදීම් හෝ දූෂණ ගැන කිසිදු ක්‍රීඩකයෙකුට චෝදනා එල්ල වී නැහැ

ක්‍රිකට් තරග පාවාදීම් හෝ වෙනත් දූෂණයක් ගැන කිසිදු ක්‍රිඩකයෙකුට චෝදනාවක් මතෛක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයෙන් කරන පරීක්ෂණයෙන් තහවුරු වී නැතැයි පළාත් සභා හා පළාත් පාලන සහ ක්‍රිඩා ඇමැති ෆයිසර් මුස්තා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කළේය.

ක්‍රිකට් තරග පවාදීම් ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඇති වන වංචා දුෂණ අවම කිරීම සඳහා අල්ලස් පනතට සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරන බවද ක්‍රිඩා අමාත්‍යවරයා කීවේය. ක්‍රිඩකයන් සහ ක්‍රීඩා සංගම්වල නිලධාරින් රාජ්‍ය නිලධාරින් සේ සලකා අල්ලස් පනතට යටත් කරමින් එම නීති සම්පාදනය කරන බවද හෙතෙම සඳහන් කළේය.

ඒ ගැන නීතිපතිවරයා සමග සාකච්ඡා කර ඇති අතර අවසන් එකඟතාවයකට මතෛක් පැමිණ නැති බවද ඇමැතිවරයා පැවැසීය.

මේ දිනවල ක්‍රිකට් තරග පාවාදීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයන් ඉලක්ක කර ගනිමින් විවිධ ප්‍රචාර පැතිරෙන බැවින් එහි සත්‍යතාවයක් තිබේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

එහිදී තවදුරටත් කරුණු දැක්වූ ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා මෙසේද කීය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් දූෂණ වංචා සම්බන්ධයෙන් වාර්තාවක් රජයට ලබාදී නැහැ. සියලු විමර්ශන ඔවුන් කරන්නේ රහසිගතවයි. පරීක්ෂණ අවසන් වුණත් ඔවුන් පරීක්ෂණය සිදුවන රටට එම වාර්තාව ලබා දෙන්නේ නැහැ. ඔවුන් පරීක්ෂණ අවසානයේ කරුණු හෙළිදරව් කොට දඬුවම් කරන එක තමයි ඔවුන් කරන්නේ. එතෙක් කිසිවක් කියන්නේ නැහැ.

අපි තරග පාවාදීම් සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට නීති ගෙනෙන පනත් කෙටුම්පතක් සැකසීිමට කටයුතු කරමින් යනවා. ඊට අදාළ සාකච්ඡා අවසන් කර තිබෙන්නේ. එය කර අවසන් වන තෙක් අල්ලස් කොමිසමට බලය ලැබෙන සංශෝධනයක් ගෙන එන්න අපි බලා‍පොරොත්තු වෙනවා. ක්‍රීඩා නීතිය සංශෝධනය කරන්නත් සාකච්ඡා කරමින් සිටිනවා. ක්‍රිකට් විකාශන අයිතියේදී ඩොලර් 187000ක් හා ඩොලර් මිලියන 5 ක මුදලක් වෙනත් ගිණුමකට මාරු කිරීමක් ගැන නම් පරීක්ෂණයක් සිද්ධ වෙනවා. එහි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබනවා.

අනුර දිසානායක මහතා - ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂණ අවසන් වන තුරු කරුණු හෙළි කරන්නේ නැහැ කියලා ඇමැතිතුමා කිව්වා. නමුත් ලංකාවට පැමිණ සිටින මේ කණ්ඩායම ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ක්‍රිඩා ඇමැතිවරයාත් හමුවෙලා තියෙනවා. එයින් පේන්නේ භයානක තත්ත්වයක් තිබෙන බවයි.

ඇමැති - ඔවුන් මාත් හමුවුණා. අපේ තරුණ කණ්ඩායමක් තමයි අද ක්‍රීඩා කරන්නේ.  ඒ අය ආරක්ෂා කර ගත යුතු බව තමයි ඔවුන්ගේ අදහස වෙන්නේ. නමුත් තරග පාවාදීම් ගැන චෝදනාවක් කිව්වේ නැහැ. අපට දූෂණ මර්දන ඒකකයක් පිහිටුවන්න තාක්ෂණික සහය දෙන් කියලා ඉල්ලුවා. අපට ඉන්නේ තරුණ ක්‍රිඩකයන් ඒ නිසා මේ වගේ කතා පැතිරෙන්න පුළුවන්. නමුත් ඒවයේ කිසිදු සත්‍යතාවයක් නැහැ. එක එක මාධ්‍යවල අපේ ක්‍රිඩකයන්ගේ නම් පළවෙනවා. මමත් ඒවා දැකලා තියෙනවා. මේක අපේ ක්‍රිඩකයන්ගේ ආත්ම ගෞරවයට ඒක බරපතළ ප්‍රශ්නයක්.  අයි.සී.සී. එකට සම්බන්ධ  දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් ජනාධිපතිතුමා අගමැතිතුමා හා මා හමුවුවත් ඒ අය අපේ කිසිදු ක්‍රීඩකයෙකුගේ නමක් සඳහන් කළේ නැහැ. ඒ අය කිව්වේ අවදානමක් තියෙනවා කියලා විතරයි. අපි ඒක අවම කරගන්න අවශ්‍ය නීති ගේනවා.

ලසන්ත වීරකුලසූරිය, ප්‍රසාදිකා ජයවර්ධන

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.