lakbima.lk

ආපදාවලින් 12ක් මරුට පවුල් 17303කට පීඩා

දිවයින පුරා දිස්ත්‍රික්ක දහසයකට බලපා තිබෙන වැසි ආපදා තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව ඊයේ (10දා) සවස වන විට දොළහක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පස්කඳු කඩා වැටීම් හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙදෙනෙක්, කළුතර හය දෙනෙක්, දියේ ගිලීම නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙක් සහ කොළඹ එක් පුද්ගලයෙක්, ගස් කඩාවැටීම හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙක් සහ රත්නපුර එක් අයෙක් මෙලෙස ජීවතක්ෂයට පත්ව ඇත.  ඊට අමතරව වැසි ආපදා හේතුවෙන් දහඅටදෙනෙකු තුවාල ලබා ඇති අතර පවුල් දාහත් දහස් තුන්සිය තුනකට අයත් පුද්ගලයන් හැටනවදහස් පන්සිය අසූ තුන්දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසීය.

එමෙන්ම මේ හේතුවෙන් තවත් පවුල් දෙදහස් හයසිය හතළිස් එකකට අයත් පුද්ගලයන් දොළොස්දහස් හාරසිය පනස් තුන්දෙනෙකු අවතැන් වී ඇති අතර ඔවුන් තාවකාලික ආරක්ෂිත ස්ථාන විසිඅටක රඳවා ඇත. පස්කඳු කඩා වැටීම්, ජල ගැලීම් සහ ගස් කඩා වැටීම හේතුවෙන් මේවන විට නිවාස තිස්නවයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස එක්දහස් අටසිය අනූනවයක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇත. බෙංගාල බොක්ක ආශ්‍රිතව පසුගිය දිනවල වර්ධනය වූ ටිට්ලි සුළි කුණාටුව ඊයේ සවස වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර එක්දහස් එකසියයක දුරින් ස්ථාපිතව තිබිණි.

එය තවදුරටත් සුළිකුණාටුවක්ව වර්ධනය වෙමින් ඉන්දියාව දෙසට ඇතුළු වනු ඇති බවත්, ඒ හේතුවෙන් අද (11දා) දිනයෙන් පසු නිරිතදිග කොටසට බලපෑ තද වැසි තතත්වයේ අඩුවක් බලා‍පොරොත්තු වන බවත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් බස්නාහිර, මධ්‍යම, දකුණ, සබරගමුව යන පළාත්වල අද දිනයේදීත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැස ඇතිවිය හැකි අතර සෙසු පළාත්වල සවස් කාලයෙදී ගිගුරුම් වැසි ඇති විය හැකිය. දකුණ, ඌව පළාත්වලත්, කළුතර, රත්නපුර දිස්ත්‍රික්කවලත්, ඇතැම් විට මිලිමීටර 75 පමණ තද වැසි ඇතිවිය හැකිය. 

ගයාත්‍රි ගීගනආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.