lakbima.lk

විශේෂ අධිකරණ මගින් නීතියේ ආධිපත්‍යයට හානි

ශ්‍රී ලංකාවේ විශේෂ අධිකරණ ස්ථාපිත කිරීමෙන් නීතියේ අධිපත්‍යයට බරපතළ හානි සිදුවන බව  මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා කේම්බ්‍රිජ් සරසවියේ පැවැත් වූ විශේෂ දේශනයකදී සඳහන් කර ඇත. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණයක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ පීරිස් මහතා එම සම්ම්නත්‍රණයේදී මේ බව සඳහන් කර ඇත.  රටවල් 85ක් නියෝජනය කරමින් විද්වතුන් 1800ක් පමණ සහභාගි වී සිට ඇත. 'යුක්තිය ඉටු කිරීම සඳහා පවත්වන යාන්ත්‍රණයේ ප්‍රමාණාත්මකතාවය' යන මැයෙන් පැවැත් වූ එමදේශනයේදී පීරිස් මහතා මෙසේද සඳහන් කර ඇත.
' ශ්‍රී ලංකාවේ විශේෂ මහාඅධිකරණය ස්ථාපිත කර තිබෙන්නේ  සාමාන්‍ය අධිකරණ රාමුවෙන් පිටතයි. එය නීතියේ ආධිපත්‍යයට බරපතළ හානි සිදු කිරීමක් වන අතර එහි අවසන් ප්‍රතිඵලය වන්නේ නීතියේ ආධිපත්‍ය පිළිබඳ මහජන විශ්වාසය බරපතළ ඛාදනයකට ලක් වීමයි. සංවර්ධනය වෙමින් පවතින කලාප තුළ නැවත වරක් අතිශය වැදගත් මූලික ආයතන අසාමාන්‍ය ලෙස දේශපාලනීකරණයට ලක් වීමේ ගැටලුව මතු වෙමින් තිබෙන බව මාගේ නිරීක්ෂණයයි. මෙය අයිතකර ධ්‍රැවීකරණයේ ප්‍රතිඵලයක්. ශ්‍රී ලංකාවේ තෝරා ගන්නා ලද පිරිසක් මූල්‍ය අපරාද සම්බන්ධයෙන් චෝදනාවට ලක් කර අදාළ නඩු විභාග කිරීම සඳහා පසුගියදා ආරම්භ කළ විශේෂ මහාධිකරණය මීට උදාහරණයක්. මෙම රජයට විරුද්ධ පාර්ශ්ව බිය ගැන්වීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරන ලද කූඨ උපක්‍රමයක්. මේ තත්ත්වය අතිශය ගෞරවයට පාත්‍ර වුණු අධිකරණ පද්ධතියට සිදු කළ මහා අසාධාරණයක්.
ශ්‍රී ලංකාවේ විශේෂ අධිකරණ පිළිබඳව පවතින්නේ අපකීර්තිමත් ඉතිහාසයක්. අපිට අමතක කරන්නම බැහැ ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවේ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කර ජනාධිපතිවරණයට තරග කිරීමට පවා අවස්ථාව අහිමි කළ තීරණය. එම තීරණය ගත්තේ එවක රජය විසින් මේ ආකාරයෙන්ම පත් කළ විශේෂ ජනාධිපති කොමිෂමක් මගින්. එදා මෙවැනි තත්ත්වයක් ඇති කළේ සාමාන්‍ය අධිකරණ පද්ධතිය මගින් එම කරුණු සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීමට තිබූ අවස්ථාව අහේතුකව මගහරිමින් බව කිව යුතුයි.
ඒ වගේම දේශපාලකයන් විසින් සාමාජිකත්වය දරණ කමිටුවකින් ඉදිරිපත් කරන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නමින් විශේෂ ‍පොලිස් ඒකකයක්ද ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර තිබෙනවා.  එය මුළුමනින්ම නීති විරෝධී බව ශ්‍රී ලංකාවේ නීති විශාරදයන් විසින් පෙන්වා දී ඇති අතර හිටපු අගවිනිසුරුවරයා විසින්ද ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීති විරෝධී ආයතනයක් බව පෙන්වා දී ඇත.
සමස්තයක් විදිහට ගත් කළ අපට පැහැදිලිවම පෙනී යන්නේ දූෂණයට එරෙහිව කටයුතු කිරීමේ මුවාවෙන් ප්‍රතිවාදීන් දඩයම් කිරීමේ දේශපාලන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බවයි.
මෙම සම්මන්ත්‍රණය සඳහා ග්‍ලේන් ගෝවාහී රාජකීය නීතිඥ ඩේවිඩ්සන් සාමිවරයාත් බ්‍රිතාන්‍යයේ සාමි මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රකාශකවරයාත්, බ්රේව්හි රාජකීය නීතිඥ කාලි සාමිවරයාත්, බ්‍රිතාන්‍යයේ සහ වේල්සේ අභියාචනාධිකරණ විනිසුරු සර් රුපට් ජැක්සන් ඇතුළු ලෝකප්‍රසිද්ධි ආරාධිතයෝ රැසක් සහභාගි වූහ.

ජයසූරිය උඩුකුඹුර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.