lakbima.lk

ඊළඟ ආණ්ඩුවේ වැඩි බලතල හිමිවන්නේ අගමැති ධුරයටයි

ලබන 24වෙනිදා ඇමරිකාවේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරයේදී මම අලූත් යෝජනාවක් ඉදිරිපත් කරනවා එම යෝජනාවේ කරුණු  දැන්ම කියන්නේ නෑ. එය රටේ සංවාදයට ලක්වන බොහෝ විට විවිධ පාර්ශ්වවලින් මාව විවේචනයට ලක්වන කරුණක් වන්න පුළු‍වන්. මම එදින (24දා) එක්සත් ජාතීන්ගේ සංවිධානයට  ඉදිරිපත් කරන එම යෝජනවට අනුව එහිදී  අපේ ත‍්‍රිවිධ හමුදාවට තිබෙන චෝදනා, මානව හිමිකම් චෝදනා, ඉවත් කර ගැනීම, ඒ වගේම එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදයට එරෙහිව අපි ගෙනෙන වැඩ පිළිවෙළ පිළිබඳවත්  අපි මොන වගේ වැඩපිළිවෙළක්ද ඉදිරිපත් කරන්නේ කියා මානව හිමිකම් කොමිෂන් සභාවට යෝජනා කරනවා. එය බොහෝ විට චෝදනාවටත් ලක්විය හැකි බවද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. ජනාධිපතිවරයා ඒ බව පවසා සිටියේ පසුගියදා නිවිතිගල ශ‍්‍රීලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමිනි. එදින පැවැති මෙම බල මණ්ඩල රැස්වීම සංවිධානය කර තිබුණේ් ජනාධිපතිතුමාගේ පාර්ලිමෙන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් හා නිවිතිගල ශ‍්‍රීලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක මියුරු භාෂිත ලියනගේ මහතා විසිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.
 ”මේ ළඟදී පොහොට්ටුවේ මහත්වරු කොළඹ ලොකු විරෝධතාවක් තිබ්බා. ඒ විරෝධතාවය පිළිබඳව පොහොට්ටුවේ අය කියන්නේ ඒක ඒ අයගේ ලොකු ජයග‍්‍රහණයක් කියලා, එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඒක ජයග‍්‍රහණයක් නෙවෙයි බංකොලොත් එකක් බවයි. පොහොට්ටුවත් එක්සත් ජාතික පක්ෂයත් මේ දෙගොල්ලොම ඔවුන් ගැන දේශපාලනික වශයෙන් අධිතක්සේරුවකයි ඉන්නේ. පොහොට්ටුව හිතනවා ඒගොල්ලන්ට තනියෙන් ආණ්ඩුවක් හදන්න පුළු‍වන් කියලා. ඒක මිථ්‍යාවක්. එ.ජා.පක්ෂය  හිතනවා ඒ අයටත් තනි ආණ්ඩුවක් ලෙස ඉස්සරහට යන්න පුළු‍වන් බව. ඒකත් මිථ්‍යාවක්. ඔය දෙගොල්ලන්ටම ආණ්ඩුවක් හදන්න ශ‍්‍රීල.නි.පක්ෂය නැතුව බෑ. ඒක මම බොහොම පැහැදිලිව කියනවා.
පහුගිය පළාත් පාලන ඡන්දයේදී පොහොට්ටුව ගත්ත ඡුන්ද ප‍්‍රමාණය පසුගිය මහ මැතිවරණයට සංසන්දනය කර බැලූ විට ලොකු ජයග‍්‍රහණයක් ලැබූ  පොහොට්ටුවට එන්නේ ආසන 102යි. ආසන එකසිය දෙකෙන් ආණ්ඩුවක් හදන්න බෑ. ශ‍්‍රීලංකා නිදහස් පක්ෂය ඡන්ද ලක්ෂ 15ක් ගත්තා.
පසුගිය සතියේ අපි පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු පටන් ගත්තා. පසුගිය සතියේ එය සාර්ථකව ක‍්‍රියාත්මක වුණා . සමිති නිලධාරීන් තෝරන රැස්වීම්වලට දෙතුන් දාහ සෙනඟ ආවා. අපි මේවන විට අපිට තිබුණ ඡන්ද ලක්ෂ 15 ඡුන්ද ලක්ෂ 20ට ගෙනත් තිබෙනවා. මේ නිසා පොහොට්ටුවටවත් එ.ජා.පක්ෂයටවත් අපි නැතිව ආණ්ඩු කරන්න බැරිබව මම  බොහොම පැහැදිලිව කියනවා. ඒ නිසා අපි පක්ෂයේ සංවිධාන ශක්තිය වැඩිකරගෙන ඉදිරියට යා යුතුයි. පක්ෂයක් වුණහම දර්ශනයක් ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි.
පසුගිය දවසක රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් කියලා තිබුණා ඉක්මනින් ජනාධිපතිවරණයක් එන බව. තව තව අය ඒ ගැන අදහස් දක්වා තිබුණා. නියමිත කාලයට කලින් ජනාධිපතිවරණයක් ගැන කතා කරන්න කාටවත් අයිතියක් නෑ. ඒක තීන්දු කරන්න පුළුවන් මට විතරයි. මම නියමිත කාලයට වඩා එක දිනයකටවත් කලින් ජනාධිපතිවරණයක් තියන්නේ නෑ කියන එක මම බොහොම පැහැදිලිව කියනවා. අනික් කාරණය තමයි මීළඟට හදන ආණ්ඩුවක වැදගත් වන්නේ මොන තනතුරද කියන එකයි. අපි 2015දී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සිදුකළා. ඒ අනුව ජනාධිපතිවරයාගේ බලතල රැසක් ඉවත් කළ බව බොහෝ අය දන්නවා. ඒ අනුව ඊළඟ ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපතිවරයාගේ බලතල ඉතාම සීමිත වෙනවා. ඊළඟට පත්වන ජනාධිපතිවරයාට තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාං ශය පමණයි. දැනට තිබෙන බලතල නෑ. ඒ නිසා මීළඟ ජනාධිපතිවරණයේදී ප‍්‍රධාන වන්නේ අගමැති ධුරයයි. මේ අනුව රටේ ජනතාව අතර සංවාදයට ලක්විය යුත්තේ ඊළඟ ජනාධිපතිවරයා කවුද කියන එක නෙවෙයි ඊළඟ අගමැතිවරයා කවුද කියන එකයි. මේ රටට හොඳ අගමැතිවරයෙක් පත්කර ගැනීම ජනතාවගේ වගකීමක්. හොඳ අගමැතිවරයෙක් කියන්නේ රටට ආදරය කරන, දේශීයත්වය අගය කරන, අපේ සංස්කෘතියට අගයක් වටිනාකමක් දෙන, ඉතිහාසය එක්ක හොඳ අවබෝධයකින් හා වගකීමකින් කටයුතු කරන, අවංක, දුෂණයෙන් වංචාවෙන් තොර අගමැතිවරයෙකුටයි. ඒ නිසා ජනාධිපතිවරණයක් ගැන කියන අය කල්පනා කළ යුත්තේ රටට හොඳ අගමැතිවරයෙක් තෝරා ගැනීම පිළිබඳවයි. රට ඉස්සරහට ගෙන යන්න නම් හොඳ අගමැතිවරයෙක් පත්කර ගත යුතුයි. ජනතාව අතර සංවාදයට ලක්විය යුත්තේ එයයි.
2015 ජනාධිපතිවරණයේදී මම පොරොන්දුවක් දුන්නා ජනාධිපති බලතල අඩුකරන බවට. ඒක මම කරල තිබෙනවා. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බව මම රටට ලෝකෙට පෙන්වල තිබෙනව. ලෝකයේ කිසිම නායකයෙක්  බලයට ඇවිත් බලයේ ඉන්දෙද්දී බලතල අඩුකර නෑ. මා ඒ දේ කර තිබෙනවා. මට මොන විවේචන එල්ල කළත්, සමාජ වෙබ් අඩවි මගින් මට මොන අපහාස සිදුකළත් ප‍්‍රතිවාදීන් මොනදේ කිව්වත් ඇතුළේ සිටින පිට සිටින කවුරුන් හෝ මම නොකරපු දේවල් ගැන කතා කළත් රාජාණ්ඩු ක‍්‍රමය යටතේ ලෝකයේ කිසිම නායකයෙක් නොකළ දේවල් මම ඉෂ්ට කර තිබෙනවා.
බලයට පත්වුණු සෑම රජයක්ම රත්නපුර දිස්ත‍්‍රික්කයට යම් යම් වැඩ කර තිබුණත් මේ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන ප‍්‍රශ්නය විසඳන්න බලයට පත්වුණ  සෑම ආණ්ඩුවක්ම අසමත්වෙලා තිබෙනවා. පසුගිය කාලය තුළ මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. පරිසර විනාශයත් සමග රත්නපුරේ ගංවතුර උවදුර ඇතිවෙලා තිබෙනවා. මේ තත්ත්වය විසඳීමට අපි ගත යුතු ක‍්‍රියා මාර්ග පිළිබඳව අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළා . මෙම ගංවතුර උවදුරින් රත්නපුරට හා කළුතර දිස්ත‍්‍රික්ක වලට මහා විනාශයක් සිදුවනවා. 1950 ගණන්වල වාරිමාර්ග දෙපාර්තමේන්තුව  සිදුකළ ශක්‍යතා අධ්‍යයන වාර්තා තිබෙනවා. රත්නපුරේ ගංවතුර වැළැක්වීම පිළිබඳව ගත් තීරණත් තිබෙනවා. නමුත් ඒවා ඉටුකිරීමට බලයට පත්වුණුු සෑම රජයකටම අවස්ථාව ලැබුණේ නෑ. මේ ව්‍යාපෘතිවලට ඉඩම් පවරා ගැනීමේදී ඇති වූ ජනතා විරෝධතා නිසා ඒවා ක‍්‍රියාත්මක කරන්න බැරිවුණා. නිමල් සිරිපාල මහතා වාරිමාර්ග ඇමැති කාලෙත් ගෙනා
යෝජනා ජනතා විරෝධය හමුවේ පසු බැස්සා. අපි රජයක් විදිහට පසුගියදා තීන්දු කළා මේ විරෝධතා ඇතිකරන ජනතාවට කරුණු පැහැදිලි කර රත්නපුර හා කළුතර දිස්ත‍්‍රික්කවල මහා විනාශයක් සිදුකරන ගංවතුර උවදුර වළක්වා ගැනීමට. ඒක කළ යුත්තේ කළු ගඟ යෝජනා ක‍්‍ර‍මය ක‍්‍රියාත්මක කිරීම හරහායි. අපි කළුගඟ හැරවීම ඉක්මනින්  කළ යුතුයි. මේ සඳහා විදේශ ආධාර අර ගන්න අපි මේ වන විට සාකච්ඡා කර තිබෙනවා. සාර්ථක ප‍්‍රතිඵල මේ වන විට ලැබී තිබෙනවා.  අපි මූලික වශයෙන් බලාපොරොත්තු වනවා මල්වල වැව සෑදීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න ඉඩම් පවරා ගන්න. ඒ යටතේ ඇඹිලිපිටිය පනාමුර ප‍්‍රදේශයේ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන්නත් බලාපොරොත්තු වනවා.
රත්නපුරේ මේ වන විට ප‍්‍රධාන ප‍්‍රශ්නයක් තමයි මේ දුප්පත් ජනතාවට ගංගා ඇළදොළ වලින් මැණික් කූඩෙන් ගරන්න දෙන්නේ නෑ කියන එක. පොලීසියෙන් හා විශේෂ කාර්ය බළකායෙන් සිදුවන හිරිහැර ගැන මට නිතර තොරතුරු ලැබෙනවා. ඒ නිස ාමම මේ සතියෙම ජනතාවගේ ඒ අයිතිය ලබා දෙනවා. උදැල්ලයි කූඩයයි උපයෝගී කරගෙන පරිසර හානි සිදුනොකර මම අවසර ලබාදෙනවා. මම පොලීසියට මැණික් සංස්ථාවේ නිලධාරීන්ට විශේෂ කාර්ය බළකායට අනෙක් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට  උපදෙස් දෙනවා ඉදිරියේදී මේ අයට හිරිහැර බාදා නොකරන ලෙස.
අපි පසුගිය වසර තුනහමාර තුළදී විශාල වැඩකොටසක් කර තිබෙනවා. දේශපාලන විරුද්ධවාදීන් නොයෙක් විවේචන සිදුකරනවා. ඒක ප‍්‍රජාත්ත‍්‍රවාදයයි. කට තියෙන නිසා ඔහේ කියවනවා.  ඒක විරුද්ධ පක්ෂයේ රාජකාරියයි. විරුද්ධ පක්ෂයට තියෙන්නේ උද්ඝෝෂණ කරන්න, පෙළපාළි යන්න, අපි ඉන්නෙ රජයක් විදිහට වැඩ කරන්න. මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ලක්ෂණයක්. මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මම ශක්තිමත් කර තිබෙනවා. ඒ නිසා තමයි පසුගියදා මට රටවල් හතක සංවිධානයේ සභාපතිකම බාරදුන්නේ. අපි සමෘද්ධි දීමනාව වැඩිකළා, සිසුන් ලක්ෂ 40කට රක්ෂාවරණයක් දුන්නා මේ වගේ දෙයක් කිසිදු ආණ්ඩුවක් කර තිබුණේ්නෑ. වී මිල වැඩිකළා. රජයේ සේවකයන්ගේ පඩි වැඩිකළා,
අද අපිට කරන චෝදනාව තමයි අපි යූ.එන්.පී.එකත් එක්ක එකතුවෙලා කියන එක. අපි යූ.එන්.පී.එකත් එක්ත එකතුවුණේ මහින්ද රාජපක්ෂ මහත්තයට කරන්න බැරිවුණදේ කරන්න. අපි ඒක කළා.
අපි ජාත්‍යන්තරය ජයග‍්‍රහණය කළා. අපට තිබුණුු ජාත්‍යන්තර විරෝධතා ඉවත් කළා. අද ලෝකයේ හැම රටකින්ම ආධාර ගලාගෙන එනවා. මොරගහකන්දට රටවල් ගණනාවකින් සල්ලි හම්බ වෙනවා. මොරගහකන්ද යටතේ ඉදිවන වැව් 2400ටම සල්ලි සම්පූර්ණයෙන් ඇවිත් තිබෙනවා. මේ රටට ගැළපෙන්නේ ඔබින්නේ බණ්ඩාරනායක ප‍්‍රතිපත්තියි. දර්ශනයයි, මේ රටේ ප‍්‍රගතිශීලී දේශපාලනයකට අවශ්‍ය වන්නේ ප‍්‍රතිපත්ති හා දර්ශනයයි. අද ලොකුවට කතා කරන අයගේ ප‍්‍රතිපත්ති නෑ. දර්ශන නෑ. පුද්ගලයෝ වටා ඒකරාශී වන දේශපාලන ව්‍යපාරය තාවකාලිකයි අවිනිශ්චිතයි. රටකට අවශ්‍ය වන්නේ පුද්ගල ප‍්‍රතිපත්ති නොව දේශපාලන දර්ශනයයි. මෙරට ගොඩනගන්න මේ රටේ සංස්කෘතිය, ශිෂ්ටාචාරය අපේ උරුමයන් සියල්ලට වටිනාකමක් දුන්න ඉතිහාසයක් මේ රටේ තිබෙන්නේ. ඒ සඳහා ශ‍්‍රීල.නි.ප ප‍්‍රතිපත්තියි ගැළපෙන්නේ. ‍ඒ නිසා මේ රට ඉදිරියට ගෙනයන්න ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය ශක්තිය ලබාදෙන ලෙස ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”
මෙම නිවිතිගල ශ‍්‍රීල.නි.ප.බල මණ්ඩල රැස්වීම අමතා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විජිත් විජයමුනි සොයිසා යන මහත්වරුද නිවිතිගල ශ‍්‍රීලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක මියුරු භාෂිත ලියනගේ මහතාද අදහස් දැක් වූ අතර මෙම අවස්ථාවට ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක ඇතුළු‍ මැති ඇමැතිවරු පිරිසක්ද පළාත් මැති ඇමැතිවරු පිරිසක්ද විශාල ජනතාවක්ද එක්ව  සිටියහ.

සුනිල් පියතිලක - රත්නපුර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.