lakbima.lk

අනුරාධපුර ප්‍රදේශ රැසකට නියඟයෙන් දැඩි බලපෑම්

වසර ගණනාවක සිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනකට හරිහමන් අහස් වැස්සක් වැටුණේ නැත. සුළු වැස්සක් ඇදහැලුණත් ඉන් නියඟය හමාරවූවා යැයි කිව නොහැක. යල සහ මහ දෙකන්නම අවස්ථා කිහිපයකදීම පාළුවිය. අහස් වැස්සෙන් කුඩා වැව්වලට එක්කාසු වූ දිය බිඳින් මහා බලා‍පොරොත්තු තබාගෙන වී වගාවන් කළ හා හේන් ගොවිතැන් කළ ගොවියන්ගේ බෝග වගාවන් කේඩෑරි වී විනාශයට පත් වූයේ ඔවුන්ගේ බලා‍පොරොත්තු සුනුවිසුනු කරමින්ය.
අනුරාධපුර දිස්ත්‍රික්කයට වසර තුනකට ආසන්න කාලයක් හරිහැටි වැස්ස නොලැබිමෙන් පවුල් 17,000 - 18,000ත් අතර පිරිසක් අන්ත අසරණ භාවයට පත් වී සිටිති. ඒ අතරින් මහවිලච්චිය තන්තිරිමලය ඔයාමඩුව, නොච්චියාගම, මැදවච්චිය, මිහින්තලය, කටහගස්දිගිලිය, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන, වාහල්කඩ, එප්පාවල, කැකිරාව, තඹුත්තේගම යන ප්‍රදේශයන් ප්‍රධාන තැනක් ගනී.
වී පමණක් නොව කළ ගොඩ ගොවිතැන් සියල්ලක් ජලය නොමැතිව සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය. බත් වෙනුවට කන්නට තිබූ මඤ්ඤාෙක්කා, වට්ටක්කා, කවුපි  මුං ඇට සියල්ලම විනාශ වී ගියේ අහිංසක ගොවි ජනතාවගේ පවුල් පිටින් හාමතේ තබමින්ය.
සැබැවින්ම අසරණයන්ට ඉතිරි වූයේ සිඳී ගිය වැව් රොන් බඩ අස්සේ වැටුණු නෙළුම් අලයකි. අමතට බෝගයක් ලෙස කීයක් හරි උපයා ගන්නට  වගා කළ කෙසෙල් වම්බටු, තල, කුරහන්, හේන් අක්කර සිය ගණනින් විනාශ වී ගොස්ය. ‍පොල් ගසකින් ගෙඩියක් කඩා ගන්නට තරම්වත් පලදාවක් නැති තරමට ඒවාත් විනාශයට පත් වී තිබුණි.
සෑම වසරකම ඇතිවන නියං තත්ත්වය හේතුවෙන් දැඩි ලෙසම පීඩාවට පත්වන්නේ මහවිලච්චිය ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාස යයි. මෙවරත් කෑමට අහාර පමණක් නොව බිමට පිරිසිදු පානීය ජලයක් නොමැතිව ඔවුහු දැඩි පීඩාවට පත් වී සිටිති.
මහවිලච්චිය ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ කිරල්පැටියාව, ජනසවිගම යාය තුන, කුකුල් කටුව,
බෝගස් හන්දිය, මන්නාරම් හන්දිය, මහවිලච්චිය, යාය 7-5 යාය හතර ගල් කොරිය හා තන්තිරිමලය තම්බියාව ඇතුළු ගම්මාන රැසක පදිංචිකරුවන් තුන්වේල තියා දිනකට එක වේලක්වත් කන්නට නොමැතිව සුසුම් හෙළමින් සිටිති.
ඇතැම් පවුල්වල අතදරුවන් හා බිළිඳුන්ට මව්කිරි ‍පොදක් දෙන්නට තරම්වත් මවට ශක්තියක් නොමැත. ඒ දරුවන්ගේ මවුවරුන්ද කුසට හරිහැටි ආහාරයක් නැති නිසාය.  බොහෝ නිවෙස්වල ළිප ගිනි දැල්වෙන්නේ කහට කෝප්පයක් වත්කර ගැනීමට සඳහා. වැව් ජලයෙන් ගොවිතැන් බතක් කරගෙන කාටත් අත නොපෑ ඔවුන් අද අන්ත අසරණය. මහවිලච්චිය වැවෙහි තවත් යම් ජල මට්ටමක් ඇතත් ඇත් දත්කල්ල සදාසරණ කුඩා විලච්චිය කුකුල් කටුව ජොලි වැව ආදී සියලුම වැව් පතුළටම සිඳී ගොසිනි.
අපි නියඟයෙන් පීඩා විඳින්නන් සොයා මහවිලච්චිය දෙසට ඇදෙද්දී ජලය සිඳීගොස් ‍පොළව ඉරිතලා ගිය වැවක කිසියම් කටයුත්තක නිරතවන පිරිසක් දුටුවෙමු. අපි ඒ දෙසට ඇදෙද්දී දුටුවේ කුඩා ළමුන් පිරිසක් දිය සිඳී ගිය වැවේ ‍පොළොව හාරමින් සෙල්ලම් කරනා අයුරකි. මොකද කරන්නේ පුතාලා. අපි නෙළුම් අල හොයනවා. නෙළුම් අල විකුණන්නද? නෑ අපි මේ දවස්වල දවල්ට රෑට කන්න අපි මේවා ගෙනිච්චම අම්මා තම්බලා ලුණු දාලා දෙනවා යනුවෙන් ඔවුහු පැවැසූහ.  
ඕවා කෑවහම ඇද්ද? කන්න වෙන දෙයක් හොයා ගන්න හරිම අමාරුයි. තාත්තාගේ හේන් ඔක්කොම පාළුවෙලා තියෙන්නේ යනුවෙන් එහි සිටි දරුවෝ පැවැසූහ.  එහි සිටි එක් දියණියක් මෙවැනි ආයාචනයක් කළාය. ෆොටෝ ගැහුවට කමක් නෑ මාමේ අපේ මූණු පේන්න පත්තරේ දාන්න එපා. ඉස්කෝ‍ලේ ඉන්න සමහර ළමයි දැක්කොත් අපට විහිළු කරයි. සැබැවින්ම නියඟයෙන් පීඩා විඳින පවුල් මේ දිනවල දිය සිඳී ගිය වැව්වලට බැස නෙළුම් අල සෙවීම සිදුකරන අයුරු මහවිලච්චියේ සුලබ දසුනකි.
නියඟය හේතුවෙන් බැටකන ජනතාව සම්බන්ධයෙන් අදහස් දැක් වූ මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ආර්.අනුර බණ්ඩාර මහතා  නියඟය නිසා මුළු ගොවිජන පදයම අන්ත අසරණ  භාවටය පත්වෙලා ඉන්නේ. වැව් සියල්ලම හිඳිලා. වතුර බිංදුවක් නෑ. කන්න ගන්න හාල් ඇටයක් නෑ ගේ දොරවල්වල. සමහරුන්ට හාල් කිලෝවක් කඩේකින් ගන්න වත්කමක් නෑ.  මම තීරණය කරා අනුරාධපුර නගරයට ඇවිල්ලා ව්‍යාපාරිකයන්ට කියලා ‍පොඩි ආධාරයක් ඉල්ල ගන්න
අඩුම තරමේ දවසක් හරි දෙකක් හරි මේ මිනිස්සුන්ට දරුවන්ට කන්න පුළුවන්නේ. අපි ආණ්ඩුවලට බැනලා විරෝධතාවයන් තිබ්බ කියලා වැඩක් නෑ. කවුරුහරි ධානපතියෙක් මේ මිනිස්සු ගැන අනුකම්පා කරලා කන්ඩ බොන්ඩ මොනවා හරි ටික්ක ලබා දුන්නොත් ගොඩක් පිං .සමහර දරුවන්ට පාසලකට යන්න ‍පොතක් පෑනක් ගන්න නෑ යනුවෙන් ඔහු පැවැසුවේය.
නියඟය කාලගුණයේ එක් අනිසි පැත්තකි. බඩ ගින්න හා පිපාසය තවත් පැත්තකි. මෙම ගොවි ජනපදයේ ගොවි පවුල් කිසිදා කිසිවෙකුගෙන් සිඟමන් යැද්දේද නැත. නමුත් අද වනවිට සියලුම බෝග වගාවන් විනාශ වී යාමෙන් ඔවුන් අන්ත අසරණ භාවයට  පත් වී සිටිති. ඔවුන් රටට බත සැපයූවේය. එහෙත් අද අන්ත අසරණය. ඔවුන්ට පිහිටක් වෙන්නට යමකු ඉදිරිපත් වෙන්නේ නම් සැබැවින්ම එය මහඟු පිනකි.

අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.