lakbima.lk

මෙන්ඩිස් සමාගමේ වවුචර් 102ක් විනාශ කරලා

පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගම විසින් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමට ලබාදුන් මුදල් තෙවන පාර්ශ්වයකට සැක සහිත ලෙස ලබාදීමට අදාළ වවුචර්පත් 102ක් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගේ උපදෙස් මත විනාශ කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී ඇතැයි ‍‍‍ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (13) කොටුව මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දුන්නාය.
මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාව සක්‍රියව පැවැති වකවානුවේදී පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගම විසින්  2017 නොවැම්බර් මස තෙවන පාර්ශ්වයකට ලබාදී ඇති එකී මුදල් චෙක්පත් බහුතරයක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්වී ඇතත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම විසින් ඒවා කුමන පාර්ශ්වයකට  නිකුත් කළේද යන්න අනාවරණය කරගැනීම සඳහා දීර්ඝ ලෙස විමර්ශන සිදුකරන බවද ‍‍‍ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණය ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය පරිගණක දන්ත පරීක්ෂා කිරීමට අධිකරණ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදී ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගමේ එහි වැඩබලන ප්‍රධාන නිලධාරියා ලෙස කටයුතු කරන සජිත් කළුපතිරණ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බාධාකර ඇති බවද ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.
ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ එකී නිලධාරියා එමගින් අධිකරණය කළ නියෝගය කඩකිරීමෙන් අධිකරණයට අපහාස කිරීමක් සිදුකර ඇතැයිද එහිදී පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් කරනා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධාකිරීමේ චෝදනා යටතේ එම නිලධාරියාට එරෙහිව පියවර ගැනීමේ හැකියාව පවතින බවද හෙතෙම අධිකරණයට පෙන්වා දුන්නේය.
පර්පචුවෙල් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් මහතා හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටද මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එහිදී නියෝග කළාය. ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලබාදුන් උපදෙස් අනුව එම ආයතනයේ ගිණුම් අංශයේ බොක්ස් පයිල තුළ තිබූ එම වවුචර්පත් විනාශ කිරීමට පියවර ගත් බවත් ඊට වෛකල්පිතව වෙනම පරිගණක උපයෝගි කරගනිමින් අලුත් තොරතුරු ඇතුළත් වවුචර් පත් සකස් ළ බවටත් ගිණුම් අංශය භාරව සිටි සුජිත් අල්විස් නමැත්තා ඇතුළු ප්‍රධාන පෙළේ නිලධාරීන් සිවුදෙනෙකු පා‍පොච්චාරණ ස්වරූපයේ ප්‍රකාශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇතැයිද අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.
මේ වන විට විදේශ ගමන් තහනම් කර ඇති පර්පචුවෙල් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන විශ්වමිත්‍ර ගුණවර්ධන හා රන්ජන් හුළුගල්ල යන දෙදෙනාට සැප්තැම්බර් 15 වැනිදා සිට සැප්තැම්බර් 25 වැනිදා දක්වා විදේශ ගතවීමටද මහේස්ත්‍රාත්වරිය අවසර ලබාදුන්නාය.
නීතිඥ අරවින්ද ගමගේ, ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත ජයවර්ධන, ලලිත අමරසේන, නිරංජන් අරුල්පුගාසම්, ජීවන්ත ජයතිලක, නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විත්තිය නියෝජනය කළ අතර ජනාධිපති නීතිඥ කෝලිත ධර්මවර්ධන මහතා ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම වෙනුවෙන් පෙනී සිටියේය.
රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ උදාර කරුණාතිලක, රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය ඇතුළු නීතිඥ මණ්ඩලයක් හා ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රිය ජයසුන්දර මහත්මිය සමග ‍‍‍ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වීය.

නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.