lakbima.lk

විශේෂ කැබිනට් හමුවේදී ජනපතිගෙන් ඇමැතීන්ට දොස්

ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හා නිලධාරීන් සම්බන්ධයෙන් ඇමැතිවරුන් කරන ප්‍රකාශ මෙන්ම අපරාධ සිදුවීම් පිළිබඳව ‍පොලීසිය ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ කැබිනට් හමුවේදී ඊයේ (13) දැඩිව දෝෂාරෝපණය කර තිබේ.
ජනාධිපතිවරයා විසින් කැඳවූ මෙම විශේෂ කැබිනට් හමුව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (13) දහවල් පැවැත්වුණි.
තරුණයන් ඇතුළු එකළොස් දෙනෙකු අතුරුදන් කිරීම පිළිබඳව පවත්වන ලද පරීක්ෂණවලදී වරදකරුවන් වූ පුද්ගලයන්ට එරෙහිව තවමත් නඩු නොපැරවීම පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී දොස්පවරා තිබේ. වරදකරුවන් එළියේ සිටියදී සාක්ෂිකරුවන් වගඋත්තරකරුවන් කරගෙන ප්‍රශ්න කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී දෝෂාරෝපණය කර තිබේ.
ප්‍රථමයෙන් විය යුත්තේ වැරදිකරුවන්ට කඩිනමින් නඩු පැවැරවීම බවද ඒ මහතා පෙන්වා දී ඇත.
ත්‍රිවිධ හමුදා නිලධාරීන් යම් යම් චෝදනා සම්බන්ධයෙන් ‍පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තැබිමද ජනාධිපතිවරයා මෙහිදී හෙළා දැක තිබේ. ත්‍රිවිධ හමුදා නිලධාරියකු වූවත් කිසියම් වරදක් කර ඇත්නම් ඔවුන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් තමාගේ විරුද්ධත්වයක් නොමැති නමුත් නිකරුණේ එම නිලධාරීන් රඳවා තබා ගැනීමට තමා විරුද්ධ බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.
රජයේ කැබිනට් ඇමැතිවරයකු වන ෆීල්ඩ් මාර්ෂල් තනතුරද දරන සරත් ෆොන්සේකා මහතා යුද හමුදාව සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශද ජනාධිපතිවරයා විසින් දැඩිව හෙළාව දැක ඇත. වගකිව යුතු ඇමැතිවරයකු ලෙස සහ හිටපු යුද හමුදාපතිවරයකු හැටියට ඔහුට එලෙස හැසිරිය නොහැකි බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ. ජනාධිපතිවරයා විසින් සරත් ෆොන්සේකා මහතා පිළිබඳව දක්වන ලද සියලු අදහස් කැබිනට් හමුවට පැමිණ සිටි සියලු ඇමැතිවරු එකහෙළා අනුමත කරමින් කතා කර තිබේ.
කෙසේ වෙතත් මෙම විශේෂ කැබිනට් හමුවට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහභාගි වී නොමැත.
කැබිනට් මණ්ඩලය සතිපතා රැස්වී සාකච්ඡා කරන ඇතැම් තීන්දු තීරණ එදින පස්වරු වන විටම මාධ්‍ය වෙත වාර්තා වීම පිළිබඳවද ජනාධිපතිවරයා අසතුට පළකර තිබේ. කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම මත කැබිනට් තීන්දු ආරක්ෂා කළ යුතු බවද ජනාධිපතිවරයා සියලු ඇමැතිවරුන් වෙත පවසා තිබේ.
රටේ ජාතික ආරක්ෂාව මෙන්ම රජයේ සංවර්ධන කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති අතර හොරා දෙකකට ආසන්න කාලයක් මෙම විශේෂ කැබිනට් හමුව පවත්වා තිබේ.

පානුක රාජපක්ෂ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.