lakbima.lk

බිරිඳ ඝාතනය කිරීමෙන් පසු සැමියා එල්ලී මැරෙන්න ගිහින්

හෝමාගම අතුරුගිරිය පාරේ 3 වන පටුමගෙහි නිවස තුළදී තම බිරිඳ ඝාතනය කර නිවස ඉදිරිපිට මාර්ගයේ දෙල් ගසක එල්ලී සිය දිවි හානි ගැනීමට තැත් කළ සැමියා ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන පෙරේදා (12දා) සවස හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හෝමාගම ‍පොලීසිය පවසයි.
මෙම අඹු සැමියන් දෙදෙනා අතර කාලයක සිට පැවිති බහින් බස්වීමක් දුරදිග ගොස් මෙලෙස සැමියා බිරිඳගේ ගෙල වයරයකින් ගැට ගසා සිරකර ඇයගේ හිසට කුඩා ලී වංගෙඩි මෝල් ගසකින් පහරදී ඝාතනය කරදමා සැකකරු සියදිවි නසා ගැනීමට තැත් කර ඇති බව සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවද ‍පොලීසිය පවසයි.
මෙම දෙදෙනාගේ අඩදබර සම්බන්ධයෙන් හෝමාගම ‍පොලීසියෙත් පැමිණිලි කිහිපයක් මීට පෙර විභාග කර සමථයකට පත්කර යැවීමට කටයුතු කර තිබූ බවද ‍පොලීසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සචිනි මධුවන්ති ජයකොඩි නමැති 30 හැවිරිදි දෙදරු මවක් වන අතර ඇය හෝමාගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ලිපිකාරිනියක ලෙස රැකියාව කර ඇත.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ 32 හැවිරිදි සැමියා වන යුද හමුදා සිවිල් සේවකයකු මෙලෙස දිවිනසා ගැනීමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන් දැක දෙල් ගසේ එල්ලීමට යොදා ගත් කඹය කපා දමා රෝහල්ගත කර ඇති අතර සැකකරු සැකපිට ‍පොලිස් අත්අඩංගුවට ගත් බවද ‍පොලීසිය පවසයි.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ ‍පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ හෝමාගම ‍පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පරීක්ෂණ පැවැත්වීය.
ඝාතනය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීම නියමිත අතර අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
 

හෝමාගම - නිසල් යොවිදු

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.