lakbima.lk

නැගෙනහිර ඇමරිකානු ජනපද වලට හදිසි තත්වයක්

සුළු වේලාවකට පෙර ඇමරිකාවේ නැගෙනහිර කලාපයේ ප්‍රාන්ත වන උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා හා වර්ජීනියා ප‍්‍රාන්ත වෙත දින නියමයකින් තොර ‘හදිසි තත්වයක්’ ප‍්‍රකාශ කර ඇත. ඒ බ‍්‍රහස්පතින්දා වන විට නැගෙනහිර වෙරළ කලාපය වෙත හමා ඒමට නියමිත 4 න වර්ගයේ කුණාටුවක් වන ‘ෆ්ලෝරන්ස් හරිකේනය‘ හේතුවෙනි. මෙය 5 වන මට්ටමක් දක්වා වර්ධනය වීමට ඇති හැකියාව ඉහළ බව 'ඇමරිකානු කාලගුණ විද්‍යා සංඟමය' ප්‍රකාශ කර ඇත.

මේ වන විටත් ඇමරිකානු නැගෙනහිර වෙරළබඩ තීරය වෙතින්  මිලියනයකට වඩා වැඩි පිරිසක් ඉවත් කර ඇත. කුණාටුව පැමිණීමට පෙරාතුව බඩු බාහිරාදිය මිලට ගන්නා මිනිසුන් හේතුවෙන් සුපිරි වෙලඳසැල් තුළ බඩු බාහිර හිඟයක් ද උද්ගත වී ඇත. නැගෙනහිර කලාපයේ සංගීත සංදර්ශන, උත්සව සියල්ල දින නියමයකින් තොරව කල් දමා ඇත. හරිකේන් තත්වයෙන් විය හැකි ජීවිත හානි අවම කිරීමට ඇමරිකානු ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටිති.

ෆ්ලෝරන්ස් සුළි කුණාටුවේ 'කේන්ද්‍රය' මේ වන විට පිහිටා ඇත්තේ බර්මියුඩාවට සැතපුම් 465 ක්  දකුණින් හා ෆියර් තුඩුවට සැතපුම් 1085 ක් නැගෙනහිරිනි. මෙම සතියේ බ‍්‍රහස්පතින්දා වන විට සු‍ළ‍ඟේ වේගය පැයට කිලෝ මීටර් 195 ක වේගයෙන් ගොඩබිමට හමා එනු ඇති බවට වාර්තා වේ. මෙම හරිකේනයේ බලපෑමෙන් හදිසි ගං වතුර, මුහුදු රළ මට්ටම ඉහළ යෑම හා සුළ‍‍‍ඟේ වේගය වැඩි වීම සිදු විය හැකි බවට අනාවරණය වී ඇත.

4 වැනි මට්ටමේ කුණාටුවක් කැරොලිනා ගොඩබිම වෙත හමා ඒමට නියමිත පළමු වතාව ද මෙයයි. කැරොලිනාවට බලපෑ ප‍්‍රබලම සුළි කුණාටුව වූයේ 1989 දී හමා ගිය ‘හියුගෝ කුණාටුව‘ වන අතර ඉන් ඇමරිකන් ඩොලර් බිලියන 7 ක හානියක් හා පුද්ගලයින් 49 ක ජීවිත හානි ද සිදු විය. ෆ්ලෝරන්ස් සුළි කුණාටුව හේතුවෙන් විය හැකි විනාශය තවමත් ගණනය කර නැත.

උත්පලා ප‍්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.