lakbima.lk

මත්පෙති සහ කුඩු ජාවාරමට සැක තිදෙනෙකු අත්අඩංගුවට

අධි වේදනා නාශක පෙති තොගයක් සහ හෙරොයින් සන්තකයේ තබාගෙන ජාවාරමේ නිරත වූ බවට සැකකරන තරුණයන් තිදෙනෙකු උතුරු මැද පළාත් භාර නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක පළාත් වැටලීම් ඒකකයේ නිලධාරීහු සැකපිට පෙරේදා (09දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
තරුණයන් තිදෙනෙකු අධිවේදනා නාශක මත්පෙති අලෙවිකරන බවට ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර ‍පොලිස් වසමේ සුදර්ශණ මාවත ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මත්පෙති 100ක් සහ හෙරොයින් පැකට්ටුවක් සන්තකයේ තබාගෙන සිටි 20 හැවිරිදි තරුණයා ‍පොලිස් අත්අඩංගුවට පත් වී තිබුණි.
ඔහුගෙන් ලබාගත් තොරතුරුවලට අනුව පහේ ඇළ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ සිදුකළ තවත් හදිසි වැටලීමකදී ‍පොලීසිය 18 හැවිරිදි  තරුණයෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කර තිබෙන අතර ඔහු සන්තකයේ තිබි අධි වේදනා නාශක මත් පෙති 50ක ප්‍රමාණයක් ‍පොලීසිය අත්අඩංගුවට පත් වී තිබුණි.
තවදුරටත් පහේ ඇළ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් පැකට් එකක් සමග 18 හැවිරිදි තරුණයෙකු ‍පොලිස් අත්අඩංගුවට පත් වී තිබුණි. තදින්ම මතට ඇබ්බැහිවී සිටින තරුණයන් තිදෙනා මෑත කාලයේදී මත්පෙති හා හෙරොයින් ජාවාරමට සම්බන්ධ වූවන් බව ‍පොලීසිය  පැවැසුවේය.
සැකකරුවන් මත් පෙත්තක් රුපියල් 30ක මුදලකට ලබාගෙන පාසල් සිසුන් හා මත්ලෝලීන් ඉලක්කකර රුපියල් 500ක පමණ මුදලට විකුණන බව ‍පොලීසිය තහවුරු කරගෙන තිබුණි. හෙරොයින් පැකට්ටුවක් රුපියල් 2000 සහ 2500 ට අලෙවි කරන බව ‍පොලීසිය පැවැසුවේය. මුලින්ම අත්අඩංගුවට ගත් සැකකරු පමණක් මීට පෙර අවස්ථාවකදී හෙරොයින්  සමග ‍පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙන බවත් ඔහු පසුගියදා හෙරොයින්  ග්‍රෑම් 106ක් සමග අත්අඩංගුවට ගත් එස්.එෆ්. ලොක්කාගේ ගෝලයෙකු වන සැකකරුගේ නිවසට යාබදව පදිංචිව සිටින්නෙකු බව ‍පොලීසිය පැවැසුවේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාම ඊයේ (10) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
උතුරු මැද පළාත භාර නියෝජ්‍ය ‍පොලිස්පති නීතිඥ එල්.පී.එස්.පී. සඳුන්ගහවත්ත මහතාගේ  උපදෙස් මත පළාත් වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගාල්ලගේ, ‍පොලිස් සැරයන් 20545, එදිරිසූරිය, ‍පොලිස් කොස්තාපල්වරුන් වන (32236) කීරවැල්ල, (4831) බණ්ඩාර, (56573) සමරකෝන්, (65023) දිසානායක, (48582) චන්ද්‍රසේන, (61406) නිෂාම් යන නිලධාරීහු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.