lakbima.lk

විශ්‍රාමිකයන්ගේ විවේචන යුද හමුදාව හෙළා දකී

රජය, ආරක්ෂක අමාත්‍යංශය හා යුද හමුදා නායකත්වය තමන්ගේ පුද්ගලික හා දේශපාලනික හේතූන් මත ජාතික ආරක්ෂාව ඈඳා ගනිමින් විවේචනය කිරීම සමස්ත යුද හමුදාවම තරයේ හෙළා දකින අතර රටේ බුද්ධිමත් ජනතාවගෙන් මෙවැනි අවස්ථාවාදීන්ට කන් නොදී තම රට ආරක්ෂා කර දුන් සහ රට නැවත යුද්ධයකට ගෙනයාමට ඉඩ නොදී වෘත්තීයමය හමුදාවක් වශයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා යුද හමුදාව කෙරෙහි තවදුරටත් තම විශ්වාසය තබාගන්නා ලෙස යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට දන්වා සිටියි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ වත්මන් ආරක්ෂක සූදානම පිළිබඳ යුද හමුදාව පැහැදිලි කරමින් මෙම විශේෂ නිවේදනය නිකුත් කර ඇත. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වසර 30 කට ආසන්නව පැවැති දරුණු යුද්ධය විජයග්‍රාහී ලෙස නිමාකර මේ වන විට වසර 9 ක් අවසන්ව ඇත. එම වසර 9 ක කාලසීමාව තුළ අත්දැකීම් සහිත යුද හමුදාපතිවරුන් සිව් දෙනකු යුද හමුදාවට අණදීම සිදුකර ඇති අතර ඔවුන් සියලු දෙනා විසින්ම යුද හමුදාවේ යුදමය සූදානම උසස් තත්ත්වයක තබාගැනීම සඳහා විවිධ අන්දමේ පුහුණු වැඩසටහන් හා අභ්‍යාස ආරම්භ කර ඇති අතර මේ වන විටද එම පුහුණු වැඩසටහන් හා අභ්‍යාස වඩා උසස් මට්ටමකට ගෙනඑමින් පවත්වාගෙන යනු ලැබේ. එමෙන්ම නව අභ්‍යාස සහ පුහුණු වැඩසටහන් හඳුන්වා දෙමින් යුද්ධයේදී ලත් අත්දැකීම් මෙන්ම නව තාක්ෂණික ක්‍රම භාවිත කරමින් යුද්ධයකට මුහුණදීම සඳහා අවැසි සියලුම ආකාරයේ පුහුණු වැඩසටහන් හා ප්‍රායෝගික පුහුණු අභ්‍යාස සියලුම නිලධාරීන් හා සෙසු නිලයින් හට අඛණ්ඩව ලබාදීමටද කටයුතු කර ඇත. එමෙන්ම අනෙකුත් කාලසීමාවන්වලින් ඔබ්බට යමින් රාජ්‍ය අනුග්‍රහය ඇතිව නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසකට විදේශ පුහුණුව ලබාදීමට අවැසි ක්‍රියාමාර්ග ගෙන ඇත. එමගින් ඔවුන් හට ජාත්‍යන්තර යුද ශිල්පය පිළිබඳව මනා දැනුමක් ලබාදීමට හැකිවී ඇත.

තවද, යුද හමුදා සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය යටතේ අඩු භට පිරිසකගෙන් යුත් බළඇණි සංඛ්‍යාත්මක වශයෙන් ශක්තිමත් කර ඇති අතර, එමගින් ඛණ්ඩ හා කණ්ඩායම් වශයෙන් නිසි ආකාරව සංවිධානය වී ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සියලුම බළඇණි පෙර සූදානමකින් යුතුව තැබිමට අවැසි ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙය යුද විශ්‍ලේෂකයන් යැයි හඳුන්වාගත් ඇතැම් පුද්ගලයන් විසින් කඳවුරු වසා දැමීමක් බවට අර්ථකථනය කර ඇත. මේ වන විට ආරක්ෂක සේනා මූලස්ථානය (යාපනය) බල ප්‍රදේශයෙහි සියලුම ඒකක සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය යටතේ ප්‍රතිසංවිධානය කර ඇති හෙයින්, එහිදී වසා ඇති යුදමය වශයෙන් වැදගත් වන කඳවුරු මොනවාද යන්න පෙන්වා දෙන ලෙස උක්ත හඳුන්වා ගත් යුද විශ්‍ලේෂකයන් හට යුද හමුදාව අභියෝග කර සිටී.

කෙසේ වුවද යුද්ධය නිමවන විට හා ඉන් අනතුරුව පැවැති කඳවුරු යුද්ධය නිමවී වසර ගණනක් ගතවන විට ඒ ඒ අවස්ථාවන්හි ඇති ආරක්ෂක තත්ත්වය විශ්‍ලේෂණය කිරීමෙන් අනතුරුව ක්ෂේත්‍ර අණ දෙන්නන්ගේද නිර්දේශ සැලකිල්ලට ගනිමින් වෙනස් කිරීමට කටයුතු කිරීම කිසිදු අයුරකින් වරදක් නොවන අතර ඒ අනුව සිටි හමුදාපතිවරුන් විසින් සමහරක් කඳවුරු ස්ථාන වෙනස් කිරීමට අවැසි පියවර ගෙන ඇත. ඉදිරියේදීද රටේ ඇතිවන ආරක්ෂක වාතාවරණයන්ට අනුකූලව අවැසි වුවහොත් එසේ තවදුරටත් ක්‍රියාකිරීමට සිදුවනු ඇත.

මෑතකදීද ඇතැම් විශ්‍රාමික හමුදා නිලධාරීන් විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ යුදමය සූදානම පිළිබඳව ඔවුන් සෑහීමකට පත් නොවන බැව් ප්‍රකාශ කර ඇති අතර වසර ගණනාවකට පසුව විශ්‍රාම ගොස් පිටත සිට යුද හමුදාවේ යුදමය ශක්තිය පිළිබඳව සමාලෝචනය කිරීමට කිසිවෙකුට නොහැකි අතර සදාචාරාත්මක අයිතියක්ද ඔවුන් වෙත නොමැත. එමෙන්ම අවශ්‍ය අවස්ථාවන්හිදී හිටපු යුද හමුදාපතිවරුන් මෙන්ම, අත්දැකීම් සහිත විශ්‍රාමික ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අදහස් හුවමාරු කරගනිමින් යුද හමුදාවේ ශක්තිය තවදුරටත් වර්ධනය කිරීමට යුද හමුදාව සෑමවිටම ක්‍රියාකර ඇති අතර ඉදිරියටත් එසේ කටයුතු කිරීමට කිසිදු අවස්ථාවක නොපසුබටවන බව තවදුරටත් දන්වා සිටිමි.

ශානිකා මාධවී පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.