lakbima.lk

දේවගැතිට නින්ද යෑමෙන් වෑන්රිය ලොරියක ගැටෙයි

එළු ‍පොහොර තොගයක් ප්‍රවාහනය කළ ලොරි රථයක වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ මාරක රිය අනතුරකින් අනුරාධපුර ෆී්‍රමන් මාවතේ පිහිටි මෛත්‍රී ක්‍රිස්තුතුමාගේ දේවස්ථානය භාරව කටයුතු කළ දේවගැතිතුමා ස්වර්ගස්ත වී එතුමාගේ බිරිඳ මව හා දරුවන් තිදෙනා තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ ප්‍රතිකාර ලබන බව රථවාහන ‍පොලීසිය සඳහන් කළේය.
පෙරේදා (05) රාත්‍රී 10.40 පමණ අනුරාධපුර පාදෙණිය රාජධානී පිවිසුම් මාර්ගයේ ආලංකුලම හංදියට මඳක් දුරින් සිදුවූ මාරක රිය අනතුරෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසුව ස්වර්ගස්ථ වී ඇත්තේ අංක 61/2 උඩුගල පාර පේරාදෙණිය මහනුවර ලිපිනයේ ස්ථිර පදිංචි අනුරාධපුර ෆී්‍රමන් මාවත මෛත්‍රී ක්‍රිස්තු දේවස්ථානයේ (ගල් පල්ලිය) භාරකාර මාර්ක් ජෙන්සන් එඩ්වර්ඩ් (38) දේවගැතිවරයායි.
එම ලිපිනයේම පදිංචි දේවගැතිවරයාගේ බිරිඳ වූ (40) හැවිරිදි චාමිනී පූර්ණිමා අල්විස් මහත්මිය අනතුරෙන් පාද දෙකෙහිම අස්ථි බිඳී බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ ප්‍රතිකාර ලබයි.
වෑන් රථයේ පිටුපස ගමන් කළ දේවගැතිවරයාගේ හැටනව හැවිරිදි මව සුළු තුවාල ලබා රෝහ‍ලේ ප්‍රතිකාර ලබන අතර අනතුරෙන් දැඩි කම්පනයට ලක්වූ දේවගැතිවරයාගේ (10) හැවිරිදි පුත්‍රයා හා වයස අවුරුදු අටක් හා හතරක් වන දියණියන් දෙදෙනාත් රෝහ‍ලේ ප්‍රතිකාර ලබයි.
දේවගැතිවරයා කුරුණෑගල පිහිටි දේවස්ථානයක දේව මෙහෙයකට සහභාගි වී නැවතත් අනුරාධපුර නගරයට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවත් ඔහුට නින්ද යාම නිසා ප්‍රධාන මාර්ගයේ විරුද්ධ මංතීරුවේ අයිනේ නවතා තිබූ එළු ‍පොහොර ප්‍රවාහනය කළ ලොරි රථයේ වෑන් රථය මුහුණට මුහුණ ගැටී ඇති බවත් ‍පොලීසිය පවසයි. අනතුරෙන් දේවගැතිවරයා ගමන් කළ රථයේ ඉදිරිපස සුන්බුන් ගොඩක් බවට පත්වී තිබුණි.
ලොරි රථය හොරොව්‍පොතාන නගරයේ සිට කුරුණෑගල නගරයට එළු ‍පොහොර ප්‍රවාහනය කර තිබෙන බවත් එහි රියැදුරා රථය ප්‍රධාන මාර්ගයේ පදිකයන් ගමන් කරන කොටසේ නවතා නැවතුම් ලාම්පු (පාර්ක් ලයිට්) දල්වා අසල වූ ආපනශාලාවකින් රාත්‍රී ආහාර ගනිමින් සිට ඇති බවත් ‍පොලීසිය පවසයි.
දේවගැතිවරයා පැදවූ රථය අධික වේගයෙන් නගරය දෙසට ධාවනය වෙද්දී ඔහුට නින්ද ගොස් මාර්ගයේ අනික් පසින් නවතා තිබූ ලොරි රථයේ ගැටී වෑන් රථය නතර වී තිබූ බවත් වෑන් රථය පැදවූ දේවගැතිවරයා විසින් ඔහුගේ රථය අනතුර සිදුවීමට පෙර නවතා ගැනීමට තිරිංග ක්‍රියාත්මක කර නැති බවත් ‍පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණි.
සිදුවූ අනතුර සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලොරි රථයේ රියැදුරා වන අළුත්වත්ත කපුගොල්ලෑව හොරොව්‍පොතාන ලිපිනයේ පදිංචි කළුබංඩාගේ නිලන්ත කුමාර (47) මහතා, “ලොරිය ප්‍රධාන මාර්ගය අයිනේ නවත්තලා සංඥා ලාම්පු දල්වලා රාත්‍රී ආහාර ගන්න මමයි ගෝලයයි පාරේ අනිත් පැත්තේ තිබුණු ආපනශාලාවට ගියා. ගෝලයා කෑම කාලා බුලත් විටක් කන්න ඕනෑ කියලා එළියට එද්දිම ටිපර් රථයක ටයරයක් පුපුරනවා වගේ විශාල ශබ්දයක් ඇසුණා.
මම ගෝලයා කෑගහන ශබ්දයට එළියට එද්දී වෑන් රථයක් ලොරියේ මුහුණට මුහුණ හැපිලා ‍පොඩි පට්ටම් වෙලා තිබුණා. ගෝලයා කිව්වා ලොරියේ හැපුණු වෑන් රථයේ ඉස්සරහා හිටපු කාන්තාව වෑන් රථය ලොරියේ හැප්පෙන්න ඉස්සෙල්ලා මහ හයියෙන් මොනවද කියලා කෑගැහුවා කියලා. ඒත් එක්කම රථය හැපුණා කියලා කිව්වා. මම හිතන්නේ රියැදුරාට නින්ද ගිහිල්ලා ඉන්න ඇත්තේ.
එහි ඉදිරිපස අසුනේ රියැදුරා හා අනෙක් පස හිටපු කාන්තාව එහි සිරවෙලා හිටියේ. ඔවුන්ට සිහිය තිබුණේ නෑ. ශබ්දයත් සමග අසල්වාසීන් ඇවිල්ලා යකඩ ඉනිදාලා ඉස්සරහා හිරවෙලා හිටපු දෙන්නව විශාල උත්සාහයකින් පසුව එළියට ගත්තා. ඔවුන් මියගොස් සිටියේ නෑ. පැය භාගයක් විතර අපි මහන්සිවෙලා තමයි ඔවුන්ව පිටතට ගත්තේ.” යනුවෙන් ලොරියේ රියැදුරා පැවැසුවේය.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථය හා එහි රියැදුරා ‍පොලිස් බාරයට ගෙන තිබූ අතර මෝටර් රථ පරීක්ෂකවරයාට යොමු කර එහි තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර ඉදිරි නීතිමය කටයුතු සිදුකරන බව රථවාහන ‍පොලීසිය පැවැසුවේය.
අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක සේනක ප්‍රසන්න මහතාගේ උපදෙස් මත ‍පොලිස් කොස්තාපල්වරුන් වන 36942 එම්.ඒ. ලලිත් 47845 කුමාරතුංග යන නිලධාරීන් අනතුර පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

අනුරාධපුර බුද්ධික මහේෂ් විජේසූරිය

Comments  

0 #1 hira 2018-09-07 10:41
deviyan wahanse devagathwarayawa adu wayasinma suwargastha karala wage.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.