lakbima.lk

නිවසේ ගින්නෙන් ගැබිනි වෛද්‍යවරිය මරුට

බොරලැස්ගමුව, බෙල්ලන්විල, සෝමරතන මාවතේ දෙමහල් නිවසක ඊයේ (6) හදිසියේ ඇතිවූ ගින්නකින් එහි පදිංචිව සිටි වෛද්‍යවරියක් මියගොස් වෛද්‍යවරයකු වූ ඇගේ සැමියා සහ කුඩා දරුවා අසාධ්‍ය තත්ත්වයෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව බොරලැස්ගමුව ‍පොලීසිය ප්‍රකාශ කරයි.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ හොරණ මූලික රෝහ‍ලේ හිටපු වෛද්‍යවරියක වූ විදර්ශි ඩයස් නමැති පස් මස් ගැබිනියකි.
ඇගේ සැමියා ශ්‍රී ජයවර්ධනපුර රෝහ‍ලේ අක්ෂි වෛද්‍යවරයකු ලෙස සේවය කරන අනුරංග ඩයස් (36) සහ ඔවුන්ගේ පුතණුවන් වූ වයස අවුරුදු හතරක (4) දරුවා කළුබෝවිල
ශික්ෂණ රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව එහි රෝහල් අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා පැවැසීය.
වෛද්‍යවරයා සහ දරුවා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ ඔවුන් සිහිසුන්ව සිටි බවද ඔහු ප්‍රකාශ කළේය. ගින්න ඇතිවන අවස්ථාවේ එම දෙමහල් නිවසේ වෛද්‍ය යුවළ හා ඔවුන්ගේ දරුවාට අමතරව වෛද්‍යවරයාගේ මව (65) එහි සිට ඇති අතර එම ගින්නෙන් ඇයට කිසිදු හානියක් සිදුව නැති බව ‍පොලීසිය පවසයි.මෙම ගින්න හේතුවෙන් එම නිවස දුමෙන් වැසී යන අවස්ථාවේදී වෛද්‍යවරයාගේ මව පහත මාලයේ සිට ඉහළ මාලයේ සිටි වෛද්‍ය පුතුට හා තම ‍ලේලියට ඉක්මනින් නිවසින් බැහැරට එන ලෙස දැන්වූ අවස්ථාවේ ඔවුන් මවටද ඉහළ මාලයට පැමිණෙන ලෙස දන්වා ඇතැයි ‍පොලිස් විමර්ශනවලදී හෙළිකරගෙන ඇත. බෙල්ලන්විල සෝමරතන මාවතේ දෙමහල් නිවසක් ගිනි ගන්නා බවට බොරලැස්ගමුව ‍පොලිස් ස්ථානාධිපතිවරයා දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවන ඒකකයට ඒ බව දන්වා සිය නිලධාරීන්ද සමග එම ස්ථානයට ගොස් අසල්වැසියන්ගේද සහයෙන් ගින්නට කොටුවී සිටි වෛද්‍යවරයා හා දරුවා බේරා ගැනීමට කටයුතු කර තිබුණි.
එහි පැමිණි ගිනි නිවන නිලධාරීන් හා ‍පොලිස් නිලධාරීන් එම දෙමහල් ගොඩනැගිල්‍ලේ වහල හරහා නිවසේ උඩුමහල පරීක්ෂා කිරීමේදී වෛද්‍ය යුවළ හා දරුවා නාන කාමරය තුළ හිරවී සිටිනු දැක ඇත.
ඒ අවස්ථාවේ ඔවුන් සිහිසුන්ව සිට ඇති අතර ගිනි නිවන නිලධාරීන් හා ‍පොලීසිය ඔවුන්ව වහා ඉන් ඉවතට ගෙන ඇති බවද ‍පොලීසිය කියයි. එම නිලධාරීන් ඔවුන්ව ඉන් ඉවතට ගන්නා අවස්ථාව වන විට ඔවුන් නාන කාමරයේ නාන ජල කරාමය විවෘත කර තිබූ බවද ‍පොලීසිය පවසයි.
මෙම ගින්න පහත මාලයේ සාලයෙන් ඇති වන්නට ඇති බව සැක කරන බවද ‍පොලීසිය පවසයි.
ගිනි හටගත් ආකාරය පිළිබඳව අනාවරණය නොවී ඇති අතර ‍පොලීසිය ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණ අරඹා ඇති බවද බොරලැස්ගමුව ‍පොලිස් ස්ථානාධිපතිවරයා පැවැසීය.
බස්නාහිර පළාත (දකුණ) භාර නියෝජ්‍ය ‍පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, සහකාර ‍පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත බොරලැස්ගමුව ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ප්‍රියංක සිල්වා, එහි අපරාධ අංශයේ ස්ථානාධිපති, උප ‍පොලිස් පරීක්ෂක අතුල ගම්ලත්, රථවාහන අංශයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක ජානක දිනේෂ් ජයරත්න, ‍පොලිස් සැරයන් (36763) සමන් යන මහත්වරුන් මෙහි වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

ආරියපාල වීදාගම, සමීර අබේසිංහ - බොරලැස්ගමුව

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.