lakbima.lk

සජිත්-විමල් පාර්ලිමේන්තුවේදී ගැටෙති

නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු නිවාස හා ඉංජිනේරු සේවා ඇමැති විමල් වීරවංශ මහතා එකිනෙකාට අභියෝග කරගනිමින් කරගත් වචන හුවමාරුවක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ  උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
එකිනෙකාට දෙදෙනාම චෝදනා කර ගත් අතර එම චෝදනා ඔප්පු කළහැකිවුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බවට ද අභියෝග කර ගත්හ.
අමාත්‍යාංශ නිවේදන යටතේ සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳ කරුණු දැක්වූ අතර එහිදී විමල් වීරවංශ මහතා අමාත්‍යවරයාට ප්‍රශ්නයක් යොමු කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආධාරකරුවන් පිරිසකට කොන්ත්‍රාත් පදනම මත නිවාස සංවර්ධන අධිකාරියේ ශාඛාවල රඳවා තිබෙන බව කියමිනි. එම පිරිස නිශ්චිත කාර්යයක් නොමැතිව රඳවා තිබෙනවාදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය. එම කාරණය ප්‍රතික්ෂේප කළ ඇමැතිවරයා විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරය දරන සමයේ ඔහුගේ පවු‍ලේ ඥාතීන්ට නිවාස ලබාදුන් බව කියමින් නාම ‍ලේඛනයක් ඉදිරිපත් කළේය. ඊට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා කීවේ එම නම් සඳහන් කරන පුද්ගලයින් මේ වන විටත් එම නිවාසවල රැඳී සිටිනවා නම් තමා මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බවය. සජිත් ප්‍රේමදාස මහතා ඊට පිළිතුරු දෙමින් කීවේ තමා ඉදිරිපත් කළ සියලු තොරතුරු සත්‍ය බවත් එම තොරතුරු අසත්‍ය නම් තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවත්ය. රීති ප්‍රශ්න මතු කරමින් මේ ආකාරයට දෙදෙනා පිළිතුරු දී ගැනීමට යාම නිසා වචන හුවමාරුව සභාවේ උණුසුම් තත්ත්වයක් බවට පත් වූ අතර ඇතැම් චෝදනා හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන බව කථානායක කරු ජයසූරිය මහතා කීවේය.

ලසන්ත වීරකුලසූරිය, ප්‍රසාදිකා ජයවර්ධන

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.