lakbima.lk

උසස්පෙළ සිසුන්ට හමුදාවෙන් බස්

වැටුප් විෂමතාවක් මුල්කර ගනිමින් දුම්රිය රියැදුරු, දුම්රිය ස්ථානාධිපතිවරු, දුම්රිය නියාමකවරු ඇතුළු ප්‍රධාන දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් ක්‍රියාත්මක කර ඇති අඛණ්ඩ දුම්රිය වර්ජනය නිසා දහස් සංඛ්‍යාත කාර්යාල සේවිකාවන් ඇතුළු අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර (උසස් පෙළ) සඳහා පෙනී සිටින පාසල් සිසුන් විශාල පිරිසක් ඊයේ දිනයේද දැඩි අපහසුතාවට පත්වූහ.
අදාළ දුම්රිය වෘත්තීය සමිති විසින් පෙරේදා (8) පස්වරු 3 ට මෙම හදිසි වර්ජනය ආරම්භ කළේය.
දුම්රිය නොමැති නිසා කොළඹ කොටුව දුම්රිය ස්ථානය, මරදාන, ගම්පහ, ගාල්ල, මාතර, අනුරාධපුරය ඇතුළු දිවයිනේ සියලුම දුම්රිය ස්ථාන මගීන් නොමැතිව පාළුවට ගොස් තිබුණි.
දුම්රිය සේවා ක්‍රියාත්මක නොවූවත් කාර්යාල වෙත පැමිණෙන ජනතාව බස් රථ සඳහා පැමිණීම නිසා දිවයිනේ ප්‍රධාන බස් නැවතුම් ‍පොළවල්වල අධික ජනතාවක් දැකගත හැකිවිය. එම මගීන්ගේ ඉල්ලුමට බස් සේවා ප්‍රමාණවත් නොවූවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා විසින් ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගු කරමින් ජනතාව වෙත උපරිම සේවාවක් ලබාදීමට කටයුතු කර තිබුණි.
දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර භාවිත කර බස් රථවල නොමි‍ලේ ගමන් කිරීමටද ශ්‍රී ලංගම ඉඩ ලබාදී තිබුණි.
යුද හමුදාව සතු බස් රථද යොදා ගනිමින් උසස් පෙළ පාසල් සිසුන් ඉලක්ක කර විශේෂ බස් සේවාවක්ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් දිවයින පුරා ඊයේ (9) ක්‍රියාත්මක කර තිබුණි.
වර්ජනය පැවැතියත් දුම්රිය පාලන අධිකාරිය විසින් මහව, නුවර, පුත්තලම, අවිස්සාවේල්ල, රඹුක්කන ඇතුළු ප්‍රදේශ කිහිපයක් වෙත දුම්රිය 8 ක් ධාවනය කරවීමට ඊයේ (9) පස්වරුවේ සමත් විය. එම දුම්රියවල අධික මගීන් පිරිසක් ගමන් ගත්හ.
දුම්රිය වර්ජනය සැලවීමත් සමග දුම්රියේ ගමන් කරන බොහෝ කාර්යාල සේවක සේවිකාවන් රාජකාරියට නොගොස් නිවාඩු වාර්තා කර තිබූ බව රජයේ කාර්යාල ප්‍රකාශකයන්ගෙන් දැනගැනීමට ලැබුණි.
මේ අතර පාසල් නිවාඩු සමයේ දුම්රිය මගින් විනෝදගමන් යාමට සිටි ජනතාවද දැඩි අපහසුවට පත්ව ඇති අතර දුම්රිය සේවා භාවිත කරන විදේශිකයන්ද අපහසුතාවට පත්ව සිටිති.
දුම්රිය වර්ජනය අවසන් කිරීමට රජය පාර්ශ්වයෙන් සිය ඉල්ලීමට සාර්ථක ප්‍රතිචාරයක් ලබාදී නොමැති නිසා වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු මහතා පැවැසීය.

පානුක රාජපක්ෂ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.