lakbima.lk

බැලුම්ගල ප්‍රශ්න කිරීම් ‍පොලීසියේ විමර්ශනයට

නෙත් එෆ්.එම්. ගුවන් විදුලි නාලිකාවේ බැලුම්ගල වැඩසටහනට තොරතුරු දුන්නේ යැයි කියන ශ්‍රාවක පිරිසක් ‍පොලීසියට කැඳවා ප්‍රශ්න කිරීමට කොල්ලුපිටිය ‍පොලීසිය කටයුතු කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති නන්දන මුණසිංහ මහතා විමර්ශනයක් ආරම්භ කර ඇත.

‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා කුඹුරක් ගොඩකරන ලදැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් විකාශය වූ මෙම වැඩසටහනින් පසුව නියෝජ්‍ය ඇමැතිවරයා නෙත් එෆ්.එම්. ආයතනයට තොරතුරු ලබාදුන් අය ගැන විමසූ නමුත් මූලාශ්‍ර හෙළිකර තිබුණේ නැත.

පසුව ඇමැතිවරයා එම නාලිකාවට එරෙහිව කොල්ලුපිටිය ‍පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි. ඒ අනුව කොල්ලුපිටිය ‍පොලීසිය බි වාර්තාවක් මගින් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් දන්වා තිබුණේ අපහාසය පිළිබඳවය. ඒ තුළින් ශ්‍රාවකයන්ගේ දුරකථන දත්ත ලබාගෙන ඔවුන්ව ‍පොලීසියට කැඳවා ප්‍රකාශ ලබාගෙන තිබුණි.

දණ්ඩ නීති සංග්‍රහයේ 480 වගන්තියේ අංක 12 පනතේ අඩංගුව තිබූ මෙම සාපරාධී අපහාසය කියන වචනය 2002 වර්ෂයේදී දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කර තිබියදී කොල්ලුපිටිය ‍පොලීසිය එසේ කරුණු දැක්වීම වරදක් බව ‍පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයකු කීය.

එබවින් මෙම විමර්ශනයේදී අපහාසය හැර වෙනත් අපරාධයක් අනාවරණය නොවන්නේ නම් වහාම එම ශ්‍රාවකයන්ට එරෙහිව කරන විමර්ශන නවත්වන ලෙසද ‍පොලිස්පතිවරයා නියෝග ලබාදී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

ශානිකා මාධවී පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.